මලක මෙලෙක,ගහක වරුණ
කෙනකුගේ විදිහ,සිද්ධියක අරුමය
කවියක අරුත,කතාවක රසය
මට කියලා දුන්නේ මගේ අම්මා. ජීවිතය විඳින්න මට ඉගැන්නුවේ මගේ අම්මා. වැටෙන්නේ නැතුව ඉන්න එක නෙමේ ජීවිතය වැටෙන හැම විටම නැගිටින එක තමා ජීවිතය කියලා කියා දුන්නේ මගේ අම්මා.
ලද දෙයින් සතුටු වෙන්න,ලැබුණු දේ බෙදා ගන්න
කෙනෙකුට සවන් දෙන්න,හැකි අයුරින් උදව් කරන්න
මට කියලා දුන්නේ මගේ අම්මා. ඇය කියා දුන් ජීවිත පාඩම් සමඟ මම වැටුනු හැමවිටම නැගිට්ටා. එහි ප්‍රතිඵලයක් විදිහට මං අද ජීවත් වෙන්නේ ඇයට වඩා සැතපුම් දහස් ගණනක් දුරින්. හිතෙන හැම විටම ඇය ගාවට යන්න දැන් මට බැහැ. වෙනදා වගේ ඇයත් සමග තාත්තට හොරෙන් රහස් දේවල් සැලසුම් කරන්න බැහැ. ඉස්සර මගේ හිතේ තියෙන දේ ඇය අඳුනගෙන මුල් වැකිය මම කියන කොට ඉතිරි ටික ඇය කියලා සම්පූර්ණ කළා. ඒත් දැන් ඇයට ඊට වචන නැහැ. කෙටියෙන් කිව්වොත් ඇයට මාව මතක නැහැ.
”කවුද අර ගෑනු මනුස්සයා. එහෙට දුවනවා මෙහෙට දුවනවා, අස්කරනවා පෙට්ටිවලට දානවා. තිබ්බ තැන් වෙනස් කරනවා. කවුද එයාට මේවා කරන්න කිව්වේ?
මගේ පුතාගේ අත අල්ලගෙන අම්මා ඇහුවේ ඔහුගෙන් මං කවුද කියලා?
මගේ පුතා ඉතා ඉවසිලිවන්තව ඇයට මං කවුද කියලා කියා දෙන අතරේ මට දහසක් දේවල් හිතුනා.
ඇත්තටම මෙවන් තත්ත්වයකට හේතුව කුමක් වෙන්න ඇද්ද? අදටත් ඉතාම ආදරෙන් ඇය තාත්තා සමග එකම වහලක් යට ජීවත් වෙනවා. ඔවුන් දෙපළ දැන හැඳිනගෙන අවුරුදු හැට දෙකක්, කසාද බැඳලා අවුරුදු පනහක්. දෙදෙනාගේ වයස් අවුරුදු අසූවක්.
තාත්තා සතුටු වුණා සමාජයට බරක් නැති දරුවො දෙන්නෙක් ලොවට දායාද කළා කියලා. නමුත් අම්මා දුක් වුණා දරුවෝ දෙන්නගෙම විවාහ අසාර්ථක වුණා කියලා. දොළොස් අවුරුද්දක ආදර අන්දරයකින් යුග දිවියට ඇතුල් වුණු ඔවුන් දෙපළගේ කැදැල්ලට මං එකතුවෙන්නේ වැඩිමහල් දියණිය ලෙස, මල්ලි අපට එකතු වෙන්න තවත් අවුරුදු පහකට පසුව. අම්මා තාත්තා දෙන්නා රජයේ රැකියාවල නියුතු වුණු අය අතර රාත්‍රී ආහාරයෙන් පසු අම්මා අප දෙදෙනා වටකරගෙන ඇගේ පාසල් අවදිය, කුඩා කාලය, විශ්වවිද්‍යාලය ජීවිතය, ඇගේත් තාත්තාගේත් ආදර අන්දරය වැනි කතන්දර රැසක් කිව්වා. ඒවා අහන් ඉන්න මටත් මල්ලිටත් කවදාවත් නිදිමතක් දැනිලා නැහැ. ඒ කතා අවසානයේ හැමදාම මට හිතන්න යමක් ඇය ඉතිරි කළා.
පොතපත කියවීමට මාව හුරු කළේ අම්මා. තෑගි සඳහා මට ලැබුණේ කියවීමට පොත්. ඔවුන් දෙදෙනා ආදරේ කරන කාලේ හුවමාරු කරගත් පොත් ගෙදර රාක්කවල පිරිලා තිබුණ. මං මගේ අලුතින් ගත් පොත් ඒ රාක්කවලට එකතු කළා.
අදටත් පොත් රාක්කවලින් පිරුණු ඒ කාමරය ගෙදර තනියෙන් ඉන්නවා. මල්ලි පොත් කියෙව්වේ නැති වුණාට මගේ පොත් ගෙනිහින් යාළු ගැහැනු ළමයින්ට දුන්නේ ඔහු කියවන්නෙ එසේ මෙසේ පොත් නොවන බව පෙන්වන්න. ඔහු කළේ පොත් කියවනවට වඩා පොත් පෙරලපු එක.
මල්ලි විදේශගත වුණේ වැඩිදුර අධ්‍යාපනය සඳහා. අම්මා දුක් වුණා ඔහුගේ තාරුණ්‍යය අම්මට දකින්න නොලැබෙන එකට. මං විදේශගත වුණේ මගේ එකම පුතු සමග දික්කසාදේ සමග. තාත්තා කිව්වේ අම්මටයි ඔහුටයි වඩා කාලයක් ජීවත් වෙන්න අපිට පුළුවන්. දරුවත් බලාගෙන අලුත් ජීවිතයක් පටන් ගන්න කියලා.
අවුරුදු දෙකකට වරක් අපි හැමෝම එකතු වුණා. තාත්තා ළඟ හිටියට අම්මට අපිව නැති වුණා. අපිට අම්මා නැති වුණා. අවුරුදු හයක් පුරා කැතකුණු අතගාමින් හැදුව එකම මුණුපුරා ඇයට හැමදාම දකින්නට නොලැබුණා. මුණුපුරාට මෙන් හරි හරියට මිනිබිරියට ඈ සමඟ කතා කරන්න බැරිකම නිසා ඇයත් සමග කතාව ඉතාම අඩු වුණා.
මාත් එක්ක ලස්සනට ඇඳගෙන ගමන් බිමන් යන්න නැති වුණා. හොඳ සින්දුවක් එහෙම අහලා ඒක අපිත් එක්ක රස විඳින්න අම්මට නැති වුණා. සාහිත්‍ය මාසෙට සම්මාන ලබන පොත් මිලට ගත්තත් ඒ සඳහා ඇගේ විචාරය වෙනදා වගේ අහන්න කෙනෙක් ගෙදර නැති වුණා. හැමදාම හැම වෙලේම සෙවනැල්ල වගේ තාත්තා හිටියත් ඇයට අපිව නැති වුණා. ඇය ජීවිතය දුන් ඇගේ දරු මුණුපුරන් ඇයට නැති වුණා.
ඉතින් මතකය නැති වීම අරුමයක් නොවෙයි කියලා මට හිතුනා.
කම්මුල් දිගේ පහළට එන කඳුලු වැල් පිට අත්ලෙන් පිහදා ගත්ත මං අම්මගේ ඇදුම් අල්මාරිය නැවත සකස් කරමින් උන් කාර්යය නැවත පටන් ගත්තා.
By Niluka Surangi Welathanthiri – Palmerston North