fbpx
12.5 C
New Zealand
Friday, May 3, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

පීතෘත්වය – 02 | පන්තක භාතිය සිරිවර්ධන | ශ්‍රී ලංකාව

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

උසස් රාජ්‍ය පරිපාලන නිලධාරියෙක් ලෙස සේවය කරන පාලිත තම රැකියා කටයුතු ඉතා වගකීමෙන් කරන පුද්ගලයෙකි. සොබා සෞන්දර්යය රස විඳීම  විනෝදාංශය කරගත් පාලිත තම පවුලේ උදවිය සමග ඉතා සතුටින් කාලය ගත කළේය. විශ්වවිද්‍යායේ  දී පාලිත ඇති කරගත් ආදර සම්බන්ධතාවයට සමුදුන්නේ ද දෙදෙනාගේම අවබෝධය සහ කැමැත්ත ඇතිවය. අද කතාව එතැන් සිට…

පරිපාලන විභාගය සමත්වී පාලිතට ලැබුන පළවන පත්වීම බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවටය. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ධූරයක් ලැබූ ඔහු බණ්ඩාරවෙල පදිංචියට ගියේය. එහිදී ඔහුට  කාර්යාලයේම සේවය කරන කෙනෙක්ගේ නිවසේ නවාතැන් ලැබින. එම පවුලට සිටියේ පාසල් යන වියේ සිටි පුතුන් දෙදෙනෙකි. එම නිසා පාලිතට විවේක කාලය ඔවුන් දෙදෙනා සමඟ සෙල්ලම් කිරීමට සිදු වීම ඔහුට මහත්සේ විනෝදයක් විය. සනීප පළාතක් වූ මෙහි ගෙවත්තේ විශාල තණකොළ පිටියකි. ඇඳීරි වැටෙන තුරු ඔවුන් සෙල්ලම් කරති. නමුත් කෙසේ හෝ දිනක ඔවුන්ගෙන් ගැලවී රවුම් ගහන්නට පාලිත අවස්ථාව සොයා ගනී. කාලය ගෙවෙත්ම පාලිත වැඩි වැඩියෙන් රවුම් ගසන්නට විය. බයිසිකලය වෙනුවට ඔහු අලුත් ස්කූටරයක් මිලදී ගත්තේය. ඔහු වැඩට යන්නෙ එන්නේ ස්කූටරයෙනි. කාර්යාල  වාහනයක් ඔහුට පාවිච්චි කිරීමට හැකි වුණත් පාලිත කිසි දිනක එසේ කළේ නැත. රාජකාරි වැඩකට පමණමය ඔහු නිල වාහනයක් පාවිච්චි කළේ.   

සතුටෙන් කාලය ගත කළ පාලිතගේ සිත තරුණියක් වෙත ඇදී යන්න වැඩි කලක් ගියේ නැත. එය සිදු වුණේ ඔහුගේ ගම වටා යන සවාරි හේතුවෙනි. කොහේ හෝ සුන්දර තැනකට යන පාලිත ස්කූටරය නවතා ගහක් යට හෝ ගලක් මත වාඩි වී අවට සිරි නරඹමින් කාලය ගත කරයි. බණ්ඩාරවෙල අවට බලන්න ඇති ස්ථාන සොයා ඒවා බලන්න යයි. යම් ඉතිහාසයක් ඇති, පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථාන බැලීමට පාලිත ප්‍රිය කළේය. ඔහුගේ සංචාරයන් තුළ දී සිතේ රැඳෙන නොයෙකුත් කරුණු පොතක සටහන් තැබීම ඔහු පුරුද්දක් කර ගත්තේය. 

දුප්පත් පෝසත් භේදයක් නැතිව පොදුවේ මිනිසුන්ගේ නොයෙකුත් ප්‍රශ්න ගැන මනා වැටහීමක් ලැබීමට පාලිතට මේ ගමන් උදව් විය. ඔහු ස්කූටරයෙන් යා හැකි හැම අස්සක මුල්ලකම ගියේය. නැතිනම් ස්කූටරය කොහේ හෝ නිවසක නතර කර කුඹුරු මැදින් ඇවිද්දේය. ඇළ දොල දිගේ ඇවිද්දේය. 

මඟ දී  හමුවෙන මිනිසුන් සමග සුහද කතා බහක නියැලීම ඔහුගේ පුරුද්දය. ඔවුන්ගේ ජීවන ගමන ගැන කතා බහ කිරීම පාලිතට තම පවුලේ අය සමඟ සිටීම මෙන් ප්‍රීතිය ගෙන ආවේය. මෙම ගමන් පාලිතට ගෙන දුන්නේ සැබෑ ආශ්වාදයක්මය. මිනිසුන් දිනපතා මුහුණ දෙන නා නා ප්‍රකාර ප්‍රශ්න ගැනත් ඔවුන්ගේ ජීවන පැවැත්ම ගැනත් පාලිත ඔවුන් සමඟ කතා බහ කළේය. තමන් ගැන විස්තර ද තමන් ඉගෙන ගත් දේ පිළිබඳව ද පාලිත ඔවුන් සමඟ කතාබහ කළේ සතුටෙනි. ඔහුගේ සමාජශීලිත්වය මෙසේ විය. නමුත් කාර්යාලයේ අය සමඟ කිට්ටු ඇසුරක් පාලිතට තිබුණේ නැත. කා සමඟත් සුහදව සිටින ඔහු ඔවුන් ආරධනා කරන උත්සවවලට සහභාගි වෙන්නේ කලාතුරකිනි. කලක් ගිය තැන මිතුරන් ඔහුට ‘සීතලයා’ යි නම පටබැන්දේ ආදරයටය.

මේ යන ගමනකදීය ඔහුට කාංචනාව මුණගැසෙන්නේ. එක් හැන්දෑවක පාලිත ගියේ ඇළ පාරක් සමඟ යන බොරලු පාරකය. පාර හැරී යන වංගුවක දී ඇළ පාර දිගටම යයි. එළවළු වගා කර ඇති පාත්ති යායක් එක් පෙළටය. ඔහුට ඕනෑ වුණේ එළවළු පාත්ති බැලීමට යාමටය. ඔහු මේ පාරේ මීට පෙර ගොස් තිබේ. නමුත් මෙම විශාල එළවළු වගාව බලන්නට යන්න වුණේ නැත. පාලිත ස්කූටරය නවතා යාමට නිවසක් සොයද්දී පාරට මායිම්ව තිබූ ගොවිපල ඔහු දැක්කේය. කුඩා වුණත් දැකුම්කළු නිවස පිහිටියේ පාරට තරමක් ඈතිනි. ලී ගේට්ටුව අසල සිට වටපිට බලන පාලිතට ගේ තුළ සිට ඔහුව දැක එළියට එන යුවතියව පෙනුනි. මල් වැටුනු ගවුමක් හැඳ සිටි ඇයගේ කොණ්ඩය පිට දිගේ ලිහිල්ව ඇත. අවුරුදු විස්සක පමණ වයස පෙනෙන තරුණිය සුන්දරය. පාලිත ඇය දෙස බලා සිටි කාලය වැඩි නිසාදෝ ඇයට සිනාවක් ගියේය. සිනාව පාලිතගේ සිත් ගත්තේය.

‘කාවද හොයන්නේ ?’ මිහිරි ලෙස තරුණිය ඇසුවාය. හිනාව තවමත් මුහුණේ රැඳී තිබේ. පාලිතට ලැජ්ජා සිතුනි. 

‘මං.. මේ..මට බයිසිකලේ ටිකකට මෙහේ දාල යන්න පුළුවන් ද ?’ 

පාලිතට කවදාවත් නැති ලෙස වචන පැටලෙයි. 

‘ඒ මොකටද ? අපි ඔයාව අඳුරන්නේ නෑනේ’ කෙල්ල කොලොප්පම් කරයි. කෙල්ලෝ මෙහෙමත් කතා කරනවද? පාලිතට හිතුනේ මේ කෙල්ල ගානට වැඩි බවයි.

‘ඉතින් මිනිස්සු දැන හඳුනාගන්න එපැයි ?’ පාලිත කියද්දී, ඇයගේ මව විය හැකි කාන්තාවක් එළියට ආවාය. පාලිත වහා ඇයට කාරණාව කීවේය. ඇය ඇතුළට එන ලෙස සන් කළාය. තරුණිය තවමත් හිනා වී ගත් ගමන්‍ ය. පාලිත ස්කූටරය ගහක් යට නවතා කාන්තාව දෙස බලා තමාව හඳුන්වා දුන්නේය.

‘අනේ මහත්තයා,මේ ළමයා ප්‍රශ්න අහ අහා හිටිය මිසක් මහත්තයාට ඇතුළට එන්න ඉඩ දුන්නේ නෑ නේද ?’ 

පාලිත කතාවට වැටුනේ තම ගමන අමතක කරමිනි. 

‘කෝ දැන් මේ බයික් එක නවත්තලා යන්න නේද ආවේ ?’ 

කෙල්ල ඇහුවේ පාලිතව ලැජ්ජාවට පත් කරමිනි.

‘මේ අපේ දුවගෙ හැටි එහෙම තමයි මහත්තයා ! එයාට ඉතින් විහිලුම තමයි.’ මව තම දුවට සැර කළාය. ලැජ්ජාවෙන් බේරෙන්න පාලිත ගමන ගියත් ඔහුගේ හිත එළවළු පාත්ති බැලීමට නොව අර තරුණිය ළඟය. ඉක්මනින් නැවත ආ පාලිතට උණුසුම් තේ කෝපපයක් ලැබුණි. තරුණිය ළඟ පාසලක ගුරුවරියක් බවත් නම කාංචනා බවත් පමණි දැන ගැනීමට ලැබුණේ. ඇයගේ පියා මව මෙන් කරුණාවන්ත නොවූවා පමණක් නොව ඔහුගේ රෙදි ගැලෙව්වේය. ඔහු පරිපාලනයට දොස් කීවේය. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් ජනතාව රස්තියාදු කරන බවත් ඔවුන් වැඩ කරන්නේ නැති බවත් කීවේය. ඔහුගේ වාග් ප්‍රහාරය නැවතුනේ ;

‘අනේ මේ ! ඔයා මොනවද මේ මහත්තයාට කියන්නේ ? මේ මහත්තයා පත්වෙලා ඇවිල්ල තියෙන්නෙ අලුතෙන්. මේ මහත්තයා මක් කරන්නද ?’ 

කියමින් ඔහුගේ බිරිඳ පාලිතව ගලවා ගත් පසුය. නමුත් පාලිතට ඔහුගෙන් තොරතුරු ගන්න සිතුනි. ඒත් මේ එයට වෙලාව නොවේ. නැවත මෙහේ එන්න එය පොටකි. පියා බණින විටත් කාංචනා සිනා සිසී සිටියාය. පාලිතගේ හිත ඇය වටා දැවටුනේය. 

ඊළඟ සතියේම දිනක ඔහු නැවත ඒ පැත්තේ ගොස් ගෙට ගොඩ විය. කාංචනා හිනා වී ගෙන ආවාය.

‘මේ මොකද? 

අදත් එළවළු පාත්ති බලන්න ද?’ 

ඇය ඇසුවේ මුකුළු කරමිනි.

‘නෑ ! අද මං ආවේ ඔයාගේ තාත්තා එදා කියපු දේවල් ගැන දැන ගන්න’ 

පාලිත සීරියස් පිට කීය.

‘ආ ! ඇත්තද ? ඉන්න එහෙනං මං තාත්තට එන්න කියන්න’ 

කියමින් ඇය උකුල පද්දමින් ගොවිපල දෙසට යන්නට හැරුනාය. 

‘මේ ! එපා , එපා ! පස්සේ බැරියැයි ! මං මේ…මේ. ආවේ වැඩියක්ම ඔයාව බලන්න’ පාලිත කියා ගත්තේය. කාංචනා නැවතී හැරී පාලිත දෙස බලා හෙලූ ඒ බැල්ම ඔහුට කවදාවත් අමතක කළ නොහැකි විය. එය එතරම්ම කාන්තිමත්‍ ආයාචනාත්මක බැල්මකි. එහි තිබූ ආදරය හඳුනා ගන්න බැරි තරමට සීතලයෙක් නොවේ පාලිත !

පාලිත සහ කාංචනා ආදරයෙන් බැදේවිද? තාත්තා පාලිතව ප්‍රතික්ෂේප කරයි ද ? ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න…

By Pantaka Bhatiya Siriwardhana – Sri Lanka

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.