පාලිතත් කාංචනාත් ආදරයෙන් වෙලුනේ ඉතා ඉක්මනිනි. දැඩි ලෙසය. ඇයට වයස විසි පහකි. ඇය ගුරුවරියක් සේ කටයුතු කරන්නේ සතුටිනි. ඇයට බාල සොහොයුරන් දෙදෙනෙක් සිටිති. ඔවුහු දුප්පත් නොවුණත් එතරම් පොහොසතුන්ද නොවූහ. වැදගත් ලෙස ප්‍රදේශයේ ජීවත් වෙති. තාත්තා නම් මරුමුස් ය. ඉතා දැඩි නීති කාරයෙකි. සමසමාජ පාක්ෂිකයෙකි. ඔහු එළවලු, පළතුරු, මල් වගා කරයි. ඊට අමතරව කිරි දෙන්නු පට්ටියකි. කය වෙහෙසා වැඩ කරන්නෙකි. ආදායම් උපයන්නට මහන්සි වීමෙන් වයසට වඩා ඇදී ගිය පෙනුමකි. නමුත් රටතොට ගැන දැනුම ඇත. පාලිතත් සමඟ දේශපාලනය ගැන කතා කළත් පාලිත කරන්නේ අසා සිටීම පමණය. ඔහු පාලිතට එතරම් අකමැත්තක් නැති වුණත් ගෙදර එන යන එකට කැමති නැත. වැඩි කල් නොගොස්ම ඔහු එය පාලිතගේ මූණටම කියන්න කාරණා සිද්ධ විය.
තම පියාගේ අකමැත්ත ගණන් නොගත් කාංචනා පාලිතගේ ඇසුර පැතුවාය. ඇය කෙලිලොල් ලෙස තවම කාලය ගත කරන තැනැත්තියකි. ගුරුවරියක් ලෙස කටයුතු කළ පමණින් ඇය එතරම් වෙනස් නොවුණාය. ඇය පාසලේ ඉගැන්වීම් කටයුතු කළේද තම ළමුන් සමඟ විහිලු තහලු කරමිනි. එබැවින් ළමෝ ඇයට ආදරය කළහ. ඉගැන්වීම් කටයුතු ද ඇය නිසි ලෙස කළාය. නමුත් ඇය ළමුන්ට අනවශ්‍ය බරක් පැටෙව්වේ නැත. අනිත් ගුරුවරියන් නම් ඇයගේ ක්‍රමයට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත.
පාලිතගේ තැන්පත්, විනීත, කරුණාවන්ත ගති ස්වභාවයට කාංචනා කැමති වූවා ය. ඔහු සමඟ කතා කරන විට, ඔහු කතා කරන්නේ වැදගත් දේය. ඇයගේ දැනුමද වැඩි වේ. ඇය නොයෙකුත් දේ ඔහුගෙන් අසයි. අධ්‍යාපන ක්‍රමය ගැන ද කළ යුතු සාධනීය වෙනස්කම් ගැන ද ඔහුට හොඳ කියැවීමක් තිබුණි. එවැනි දේ ගැන ඇය ඔහු සමඟ සාකච්ඡා කළේ සතුටෙනි. නමුත් ඇය බොහෝ විට ඔහුට විහිලු කරයි. කුමක් හෝ කියා ඔහුත් සමඟ සිනාසෙයි. ඔහු ඇය දෙස බලා සිටින්නේ ආදරයෙනි.
ඇයට පෙම්කරන තරුණයෙක් ගමේ සිටින බව ඇය ඔහුට කීවේ ටික කලකට පසුය. එයට ඔහු මදක් සසල විය. ඇය ඔහුට පෙම් නොකරන බව කී විට ඔහුගේ හිතට තරමක් පහසුවක් දැනින.
‘එයා අපේ ගෙදර එනවා, යනවා.මං එයත් එක්ක කතා කරනවා. සුමේධ හරි හොඳයි. කිසි දෙයක් සීරියස් ගන්නේ නෑ. හැබැයි හම්බ කරන්න මහන්සි වෙනවා, සල්ලි ටිකක් තියෙනවා. ඒත් මං එයාව කසාද බඳින්න කැමති නෑ පාලිත,’ කාංචනා දුක්මුසු මුහුණින් කීවාය.
‘ඉතින් ඔයා කැමති නැත්නං ඇයි සුමේධ ඔයා පස්සේ එන්නේ?’ පාලිත ඇසුවේ නොරිස්සුම් සහගතවය.
‘ආ! ඊරිසියා හිතුන නේද ? හොඳ වැඩේ,’ කාංචනා ඔහුව කොනිත්තා සිනාසෙයි. පාලිතට ලැජ්ජා සිතුනේය.
‘අනේ, අනේ. බලන්නකෝ මෙයාගේ මූණ රතු වුණ හැටි. පව් මගේ අහිංසක කොල්ලා,’ කියා කාංචනා පාලිතගේ මූණ ඉම්බාය. පාලිත ඇයගේ මේ විසේකාර වැඩට කැමැතිය.
‘මේකයි අනේ, අපේ තාත්තා කැමැති එයාටනේ. එයා ඔයාට කැමති නෑ, මොනවා වෙලාද මං දන්නෑ,’
‘එතකොට අම්මා ?’
‘අම්මා ඔයාට කැමතියි. ඔයාගේ පට්ටමට වැඩියත්ම’ කියා කාංචනා කට ඇද කළාය. පාලිත ඇය දෙස බලා සිටියේ කල්පනාකාරීවය. ඔහුගේ සීරියස් පෙනුමට ඇය බය වුණාය.
‘අයියෝ ! මොකද අනේ ඔයා ඔච්චර හිතන්නේ ? ගණන් ගන්නේ නැතුව ඉන්නකෝ.’ කාංචනා තොදොල් වුණාය.
‘හිතන්නේ නැතුව බෑනේ කාංචනා, අපි ආශ්‍රය කරන්නේ කසාද බඳින්නනේ.එහෙම නේද?’
‘ඔව් අනේ,ඒත් තාත්තා කැමති නැතුව මොකවත් කරන්න බෑ. අපි කොහොම හරි එයාගේ කැමැත්ත ගමු.’
‘හ්ම්ම්.. අනේ මන්දා.’ පාලිතගේ හිතට හරි මදිය. මෙහි යම් පටලැවිල්ලක් ඇත. පාලිත පටලැවිලිවලට කැමති නැත. ගැටුම්වලට කැමතිම නැත. ඔහුට කාංචනාගේ ගෙදර යෑමත් එපා විය.
කාංචනාගේ ඇවිටිල්ල නිසාම පාලිත ඇයව බැලීමට ඇයගේ ගෙදර ගියේ එතරම් සතුටෙන් නොවේ. එම නිසාම ඔවුන් දෙදෙනා එලියේදී මුණගැසුනි. දෙන්නා එක්ක කොහේ හෝ ඇවිදින්නට යයි. කාංචනා ගෙදර ආවිට පියා බැණ වැදුනත් ඇය එතරම් ගණන් ගත්තේ නැත. පියා ඇයට ගොඩක් ආදරය බව ඇය දනී. ඇය ඉවසා සිටියේ පියා කවදා හෝ පාලිතට කැමැත්ත දෙන තෙක් ය.
කාංචනාත් පාලිතත් සති අන්තයේ කොහේ හෝ යනි. කාංචනා ගෙදරට බොරුවක් කියන්නේ පුහුණු සම්මන්ත්‍රණයක් හෝ යම් කිසිවක් තියෙනවා කියාය. පාලිතගේ සති අන්තයේ ගමේ යෑමද අඩු විය. නමුත් කිසි විටක ඔහු තමාගේ රැකියාවේ කටයුතු අතපසු නොකළේය. වැඩියත්ම කාංචනාගේ උනන්දුව සහ උවමනාව මත ඔවුන් දෙදෙනා එකතු වූ අවස්ථා තිබිණි. මුලින් පාලිත විරුද්ධ වුණත් කාංචනාගේ පෙරැත්තය නිසා ඔහු කැමති විය. පසුව පාලිත ද එයට ලොල්වී දෙදෙනා කොහේ හෝ ඈතක පිහිටි හෝටලයකට ගොස් දවසම ප්‍රීති වූහ. කවදා හෝ කාංචනාව තමාට ලැබෙන බවට විස්වාසය පාලිතට ඇති විය. දෙදෙනාම සිටියේ සතුටෙනි.
මේ දෙදෙනාගේ සම්බන්ධය තව දුරටත් නොයිවසූ සුමේධ දෙකින් එකක් විය යුතු බව කාංචනාගේ පියාට බල කරන්නට විය. අම්මාට ද කළ හැකි දෙයක් නොවීය. සුමේධගේ කිය යුතු වරදක් නැත. තීරණය ගන්නේ තාත්තාය. ඔහු කාංචනාට සැරෙන් අවවාද කළේය.
‘උඹට යහපතක් වෙන්නේ සුමේධව බැන්දොත්. ඔය මිනිහගේ පට්ටමෙන් වැඩක් නෑ. ඕකුන් වෙනස් වෙනවා. ඕකුන්ට පොඩි මිනිහගේ දුක තේරෙන්නේ නෑ. අපිත් එක්ක මේ ගමේ එදා ඉඳන් හිටි කොල්ලා ඊට වැඩිය හොඳයි. ඌ පොළවේ පය ගහලා ඉන්න එකෙක්. ඌ දස්සයා. සීතල කාමරවල ඉන්න ලොක්කෝ වගේ නෙවෙයි.’ කාංචනාගේ පියාගේ අවවාදය එය විය.
‘අනේ තාත්තේ, පාලිත එහෙම කෙනෙක් නෙවෙයි. හොඳට පොළොවේ පය ගහලා ඉන්න කෙනෙක්. මං එයාව හොඳට අඳුනනවා.’ කාංචනා කීවාය. තාත්තා කියන දේට ඇයට හිනාය.
‘එහෙමද ? කියහන් බලන්න ඌට ඉන්න යාලුවෝ කවුද කියලා ? කවුරු හරි මිනිහෙක්ව ආශ්‍රය කරනවද කියලා කියපන්. මං හොයලා බැලුවා, මේ මිනිහ නෙවෙයි කිසි කෙනෙක්ගේ ගෙදරක උත්සවයකටවත් යන්නේ. අඩියක් ගහන්නේ නෑ නිකමටවත්. මොකටද බං එහෙම එවුන්. බීගෙන දඟලන්න නෙවෙයි මං කියන්නේ, නොබොන එකා මහ කපටියා.’
‘එතකොට තාත්තා කියන්නේ සුමේධ වගේ යාලුවෝ පිරිවරා ගෙන බිබී විනෝද වෙන එකාද මිනිහා කියලා. එයා මොනවද ඉගෙන ගෙන තියෙන්නේ ? පාලිත මේ ගමේ මිනිස්සු ගැන දන්නවා තාත්තා නොදන්නවාට. එයාට රටේ ලෝකේ ගැන හොඳ දැනුමක් තියෙනවා.’ කාංචනා කඳුළු අතරින් කීවාය. මව කිසිත් නොකියා පුටුවක් උඩ වාඩි වී මේ සංවාදය අසා සිටී.
‘අනේ ලබ්බ. යකෝ, සුමේධ කොල්ලට උපාධි නැති වුණාට ඌ මේ ගම ගැන දන්නේ ඉවෙන්, ඉවෙන්. අමුතුවෙන් ඇවිදලා ඉගෙන ගන්න දෙයක් නෑ. අපේ වගාවල් ගැන, අපි විඳින දුක සැප දෙකම ගැන ඌ දන්නේ උපාධි අරගෙන නෙවෙයි. උඹ මට කියපන් ඌව කසාද බැඳලා උඹට කොහේවත් ගෙදරකට නොගොහින් ඉන්න පුලුවන්ද ? කාවවත් ආශ්‍රය කරන්නේ නැතුව ඉන්න පුලුවන් ද? මං උඹ ගැන හොඳට දන්නවානේ. උඹට හරි යන්නේ සුමේධ වගේ විනෝදෙන් සැහැල්ලුවෙන් ඉන්න අපේ මිනිහෙක් බං.’ එතනින් කතාව සමාප්ත විය. කාංචනාට තම පියා පාලිත ගැන කියූ සමහර කරුණු සැබෑ බව පිළිගන්නට වන බව තේරුනාය. ඒත් !
By Pantaka Bhatiya Siriwardhana – Sri Lanka