fbpx
14.8 C
New Zealand
Tuesday, May 14, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

කා/පෙ රණසිංහම් | ජෙගන් ගනේෂන් | ශ්‍රී ලංකාව

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

ලොව තිබෙන බැඳීම් අතරින් වඩාත් උසස් සහ පූජනිය බැඳීම ලෙස අඹු-සැමි සබඳතාවය හඳුන්වා දිය හැක. මේ සම්බන්ධයෙන් වන ආගමික ඉගැන්වීම් ද බොහෝය. මෙම සබඳතාවය සම්බන්ධයෙන් නිර්මාණ බිහි වූයේ අද, ඊයේ නම් නොවේ. යම රජුන් සමඟ සටන් කරන සිය සැමියාගේ ජීවිතය බේරාගත් සාවිත්‍ර සහ කිසිදු වරදක් නොකළ සැමියාට දඬුවම් කිරීම හේතුවෙන් මදුරෛ නගරය ගිනි තැබු කන්නගිගේ කතා මින් ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි. මෙවැනි වීර කාන්තා චරිත ලක්ෂයකට වඩා අධික ප්‍රමාණයක් ඔබ මා පය ගසා ඇති පොළොව දැක ඇතිවාට කිසිදු සැකයක් නොමැත. මෙරට තුළ පැවැති අරගලවලදී ද, සිවිල් යුද්ධයෙන් ද, දේශපාලනමය කාරණා හේතුවෙන් ද, විදේශ ගතවීම් හරහා ද අහිමි කරගත් සැමියා වෙනුවෙන් යුක්තිය ඉල්ලා රාජ්‍ය ආයතනවලටත් උසාවියටත් නිතර ගමන් කරන කාන්තාවන් ගැන අපි නිතරම අසා ඇත්තෙමු. කාන්තාවකට සිය සැමියා වෙනුවෙන් මෙතරම් දෙයක් කළ හැකි ද යන පැනය අප තුළ මතු කරනු ලබයි. සාහිත්‍ය කතාවල සිටින සාවිත්‍රි වැනි චරිත අප දෑස් ඉදිරියේ හොල්මන් කරනු ලබන්නේ එවිටය.

දේශපාලනඥයින් විසින් මැතිවරණ වේදිකාවල රට සංවර්ධනය කර ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් සලසා ඇතැයි වහසි බස් පැවසුව ද, එහි ඇති සත්‍යතාවය සම්බන්ධයෙන් දැන ගත හැකිවන්නේ දිනකට විදේශ රටකට සේවයට යන ප්‍රමාණය සම්බන්ධයෙන් සංගණනය කළ විටය. සිය පවුලේ ඇති අඟ හිඟකම්වලින් මිඳීමට විදේශ ගත වන කාන්තාවන් සහ පුරුෂයින් නිතරම මුහුණ දෙන වධහිංසා සම්බන්ධයෙන් ප්‍රවෘත්ති කොපමණ දැක ඇතත්, අපගේ දුප්පත්කමට ඇති එකම විසඳුම විදේශ ගත වීම පමණක් බව සිතන බොහෝ පිරිස් අප අතර සිටිති. මෙලෙස සිය පවුලේ අය වෙනුවෙන් විදේශ ගත වූ සැමියෙකුට අත් වූ අනුවේදීනය ඉරණමත් ඔහු යළි සිය රටට ගෙන්වා ගැනීමට බිරිඳක ගත් උත්සහායත් සම්බන්ධයෙන් කතා කළ චිත්‍රපටියක් ලෙස කා/පෙ රණසිංගම් හඳුන්වා දිය හැකිය. 

වැරදීමකින් හෝ වැසි වළාකුලක් පාවී නොඑන දුෂ්කර ගම්මානයක ජීවත් වන උපාධිදාරියෙකු වන රණසිංගම් එම ගම්මානයේම සිටින අරියනාච්චි නමැති තරුණියක සමඟ විවාහ වූයේය. එම ග්‍රාමයේ පැවැති ජල ගැටළුව වෙනුවෙන් රජයට විරුද්ධව විරෝධතා සංවිධානය කරමින් ජනතාව රැස් කරමින් සිටියේය. විවාහයෙන් අනතුරුව මේ සියල්ල කෙමෙන් කෙමෙන් වෙනස් විය. නිවසේ තිබෙන අඟ හිඟකම් සම්බන්ධයෙන් බිරිඳගේ ඇවිටිලි කිරීම මත විදේශගත වන රණසිංගම් එරට තුළ රජයට විරුද්ධව පැවැති විරෝධතාවයක් අතර පොලිස් වෙඩි පහරකින් මිය ගියේය. ඔහුගේ සිරුර යළි නිවෙසට ගෙන්වා ගැනීමට ඔහුගේ බිරිඳ වන අරියනාච්චි සටන් කළ ආකාරය ඉතා අලංකාරවත් අයුරින් අප ඉදිරියේ තැබීමට පී. විරුමාණ්ඩි සමත්ව සිටියේය.

ග්‍රාමීය ජනයා දෛනික ජීවිතයේ දී මුහුණ දෙන විශාල ගැටළුව නම් ජල ගැටළුවයි. එම ගම්මානයන් වටා ජල මූලාශ්‍ර කොපමණ ප්‍රමාණයන් පැවතිය ද ඉන් නිසි ප්‍රයෝජනයක් ගැනීමට එම වැසියන් සතුව වත්කමක් නොතිබුණි. ඔහුන්ගේ දරිද්‍රතාවය ප්‍රයෝජනයට ගනිමින් විවිධ බහුජාතික සමාගම ඉඩම් කොල්ලකෑමේ නිතර වෙමින් සිටින ආකාරයත් මෙම චිත්‍රපටියට හරහා හරවත් සාකච්ඡාවක් ඇති කිරීමට අධ්‍යක්ෂකවරයා සමත්ව වූවා යැයි පැවසීමට හැකිය. එමෙන්ම රටක රාජ්‍ය සේවයෙහි පවතින දුර්වලතා සම්බන්ධයෙන් ද තනාපතිවරුන් ලෙස කටයුතු කරන පිරිස් සිය ලාභය තකා ක්‍රියාකරන ආකාරය සම්බන්ධයෙන් ද මෙම චිත්‍රපටිය හරහා පුළුල් විග්‍රහයක් ලබා දී තිබුණා යැයි කීමට හැකිය.

එමෙන්ම වර්තමානයේ ජනමාධ්‍ය වෙත එල්ලවෙමින් තිබෙන විරෝධය සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් අධ්‍යක්ෂකවරයා යොමු කර තිබේ. සිය අවධානය දිනාගැනීමට වනයක් ගිනි තබන අරියනාච්චි හමුවේ දිසාපතිවරයා ප්‍රකාශ කළේ දේ හරහා ජනමාධ්‍යයෙහි ස්වභාවය සම්බන්ධයෙන් කෙටි විග්‍රහයක් කළේය. “මේ පුවත අමතක කරන්න කලින් තවත් විශේෂ පුවත් එයි ” යන ප්‍රකාශය සියලු මාධ්‍ය ආයතනවලට එල්ල වූ ප්‍රහාරයක් ලෙස දැක්විය හැකිය. අධ්‍යක්ෂකවරයා විසින් මෙම ප්‍රහාරය මාධ්‍ය ආයතන වෙත පමණක් එල්ල කළා යැයි කීමට නොහැකිය. එහිදී ඔහු විසින් ජනතාවට ද එම ප්‍රහාරය පෙරළා එල්ල කර තිබුණි. අරියනාච්චිගේ ක්‍රියාව සම්බන්ධයෙන් වන පුවතට අවධානය යොමු නොකළ ජනයා ශ්‍රී දේවිගේ මරණය සම්බන්ධයෙන් වන පුවතට දැඩි අවධානයක් යොමු කරන ආකාරයක් දැක්වෙන දර්ශනයක් තුළින් එම ප්‍රහාරය දියත් කළේය. ඉන් ඔහු අදහස් කරනු ලැබුවේ, ජනමාධ්‍ය ආයතනවලට දෝෂාරෝපණ කිරීමට පෙර තමන් වෙනස් විය යුතු බවයි.

ජනමාධ්‍යවලට වඩා  සමාජ මාධ්‍ය වෙත ජනයා දැඩි නැඹුරුවක් දක්වා ඇති කාලයක අපි මේ වන විට ජීවත් වෙමින් සිටිමු. ඒ සම්බන්ධයෙන් ද අධ්‍යක්ෂවරයාගේ අවධානය යොමුව තිබුණි. අමාත්‍යවරියක අරියනාච්චි සම්බන්ධයෙන් තබන ට්විටර් සටහන සමස්ත රට පුරා කතාබහකට ලක්වෙමින් තිබු අවස්ථාවක යළිත් පෙර සඳහන් කළ නිළියකගේ දේහය ඉන්දියාවට රැගෙන ඒම සම්බන්ධයෙන් වන පුවත ඉස්මතු වීමට පටන් ගෙන තිබුණි. ජනමාධ්‍ය ආයතනවලට සමාජ මාධ්‍ය ඔස්සේ විවේචන ඉදිරිපත් කරන අය හැසිරෙන්නෙත් එලෙසම නොවේද යන පැනය අධ්‍යක්ෂවරයා යළිත් වරක් පෙරළා සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ අසා තිබුණේය. කෙසේ වෙතත් පොදු ජනයාගෙන් වෙන්වූ තවත් පිරිසක් මෙලොව ජීවත් වෙමින් සිටින බව පැවසීමට ද අධ්‍යක්ෂවරයා අමතක කර තිබුණේ නැත. දිල්ලියෙහි දී අරියනාච්චිට හමුවන්නේ එවැනි චරිතයකි. එවැනි චරිත අප අතර ඉතා සීමිතය.

අරියනාච්චි සිය ප්‍රශ්නය ආණ්ඩුවේ ප්‍රධාන ස්ථර ත්‍රිත්වය වෙතම ගෙන ගියාය. අධිකරණයෙන් කිසිදු පිහිට නොලැබීම හේතුවෙන් සිය ප්‍රශ්නය ව්‍යවස්ථාදයකය වෙතත්, ඉන් කිසිදු පළ ප්‍රයෝජනයක් නොලැබීම හේතුවෙන් එම ප්‍රශ්නය විධායකය දක්වා රැගෙන ගියාය. විධායකයේ අණ පිළිපැඳීමට සූදානම්ව සිටින්නේ රාජ්‍ය නිලධාරීන්ය. ඔවුන් සිය වගකීම නිසි අයුරින් ඉටු කර තිබුණේ නම් ඇයට මෙතරම් දුරකට යාමේ අවශ්‍යතාවයක් ඇති නොවෙන්න ඉඩ තිබුණි. අධ්‍යක්ෂකවරයා විසින් ප්‍රශ්න කරනු ලැබුවේ පවතින මෙම ක්‍රමයේ ඇති දෝෂ කිහිපයයි. විශේෂයෙන්ම රටකට හඳුන්වා දෙන ක්‍රමයන් සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරයා ප්‍රශ්න කර තිබුණේය. එරට පවතින හැඳුනුම්පත් ක්‍රමයෙහි තිබෙන දෝෂය, සලාක පත් බෙදීමේ දී හටගෙන ඇති විෂමතාවය, එම හැඳුනුම්පත් හරහා සිදුවන වංචාවන් සම්බන්ධයෙන් ද අධ්‍යක්ෂකවරයාගේ අවධානය යොමුව තිබීම විශේෂත්වයකි. වෙනස් විය යුත්තේ ජනතාව පමණක් නොව පවතින ක්‍රමයත් වෙනස් විය යුතු බවට අධ්‍යක්ෂකවරයාගේ අවසන් නිගමනය විය.

කා/පෙ රණසිංගම් ලෙස මෙම චිත්‍රපටිය කෙටියෙන් හැඳින්වූවද එහි දීර්ඝ නාමය වූයේ කනවර් පෙයර් රණසිංගම් (සැමියාගේ නම රණසිංගම්) යන්නයි. චිත්‍රපටියේ ප්‍රධාන නළුවෙකු නොමැති තරම්ය. සම්පූර්ණ චිත්‍රපටියෙහි වගකීම ඓශ්වර්යා රාජේෂ් වෙත පැවරී තිබුණි. වර්තමාන දමිළ සිනමාවේ දී නිළියකට ප්‍රධාන ස්ථානය හිමි වන ආකාරයේ නිර්මාණ බිහිවීමේ ප්‍රවනතාවයක් දැකිය හැකිය. විශේෂයෙන්ම නළුවෙකුගේ සහයක් නොමැතිව තනිවම චිත්‍රපටියක් රැගෙන යා හැකි නිළියන් සිටින්නේ අතළොස්සකි. ඒ අතරට නුදුරේදීම ඓශ්වර්යා රාජේෂ් ද එකතු වනු ඇත. විජයසේදුපති ඇතුළු අනෙකුත් නළු නිළියන් සිය වගකීම නිසි අයුරින් ඉටු කර තිබුණි. මෙවැනි චිත්‍රපටියක සාර්ථකත්වයට සංගීතය ඉමහත් සේවයක් සපයයි. මෙහි සංගීත අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරනු ලැබු ජිබ්රාන් සිය හැකියාව යළිත් වරක් ඔප්පු කළේය. විශේෂයෙන්ම චිත්‍රපටියෙහි පළමු ගීතය වන “පරවෛගලා” ගීතය ඉතා අපූරුය. සිය දරු පවුල අමතක කර විදේශගතව සේවය කරන ජනයාගේ දුක එම ගීතය තුළ ඉතා අපූරු ලෙස ගැබ්ව තිබුණි. සැමියාගෙන් වෙන්ව සිටින බිරිඳගේ වේදනාව, දරුවෙකුගේ සෙනෙහස යන සියලු කරුණු එම ගීතය තුළින් පමණක් ආවරණය කර තිබු ආකරයක් දැකගත හැක විය. 

එමෙන්ම මෙම චිත්‍රපටිය සඳහා පාදක කරගෙන තිබුණේ සත්‍ය සිදුවීමකි. එම සිදුවීමට කිසිදු ආකාරයක බාධාවක් ඇති නොවන අයුරින් මෙහි පිටපත රචනා කිරීම සම්බන්ධයෙන් ප්‍රශංසා කළ යුතුමය. සත්‍ය සිදුවීම් ඇසුරෙන් නිර්මාණය වන චිත්‍රපටිවලට අධ්‍යක්ෂවරයා සිය අදහස් ඇතුළත් කිරීමට යාමේදී එහි පිටපත දුර්වල වන ආකාරයන් අප අනන්තවත් දැක ඇත. චිත්‍රපටිය අවසානයේ දී අදාළ සත්‍ය සිදුවීමට මුහුණ දුන් අය සම්බන්ධයෙන් වන විස්තර ඇතුළත් කර තිබීමත් ප්‍රශංසා කළ යුතුමය. විශේෂයෙන්ම රැකියා සඳහා විදේශ ගතව මිය යන පිරිස් සම්බන්ධයෙන් මෙලෙස හෝ චිත්‍රපටි නිර්මාණය කිරීම තුළින් ජනතාව තුළ යම් අවබෝධයක් ඇති කිරීමට කා/පෙ රණසිංගම් චිත්‍රපටි කණ්ඩායම ගත් උත්සහයට අප ආචාර කළ යුතුමය. 

By Jegan Ganeshan – Sri Lanka

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.