“සිරිල් උඹ නම් ගොඩ. කොල්ලො දෙන්නම ඉංජිනේරුවෝ. බාල කෙල්ලගෙ පී.එච්.ඩී එක ඉවර වෙලා මේ අවුරුද්දෙ බන්දල දුන්නම උඹට නිවන් ගියා වගේ.” එඩ්වඩ් බියර් වීදුරුව තොල ගාමින් කීවේ සිරිල්ගේ දරුවන් ගැන අගයමිනි. “අවුරුදු 40ක් දුක් විඳල ලබන මාසයේ විශ්‍රාම ගත්තම රට තොට ඇවිදලා ආගම දහමට නැඹුරුවෙලා ඉන්න තරම් සතුටක් අපිට වෙන කොහෙද? අපිටත් මැරෙන්න ඉස්සෙල්ලා නිදහසේ ඉන්න එපාය?” සිරිල් කතා කළේ මතු බලාපොරොත්තු ඇතිවය.
රාත්‍රි සාදය ඉවර වී ගෙදර යනවිට සිරිල් කටහඬ උස්සා කතා කළේය. “ඒ අතින් බලන කොට අපි වාසනාවන්තයි. අපේ දරුවො කීකරුයි. මහන්සිවෙලා ඉගෙන ගත්තා. ලොකු දෙන්නට අපි හොයල දුන්න ලේලිලාට දෙන්නම කැමැති වුණා. පොඩි කෙල්ල නං කවදාවත් කොල්ලෙක් දිහා බලන්නෙවත් නෑ. වීනීතව හැදුණා. ඒකිත් අපිට උඩින් යන්නේ නෑ” ” ඒ අතින් අපිට සතුටෙන් මැරෙන්න පුළුවන් කවදා හරි දවසක” සිරිල් තොල් මැතුරුවේ සතුටිනි.
අයියා ගෙදර පැමිණි දිනක මල්ලී රාත්‍රී කෑම කෑම මේසයේ දී කතා කළේ ය. ” මෙහෙමයි බැංකුවේ නීතියට අනුව බැංකුව නමට ඉඩම ඇපයට ගන්නවා . ණය ගන්න කෙනාගේ නමට ඉඩම තිබුණේ නැත්නම් ණය අනුමත වෙන්නෙ නෑ.” “ඉතිං මල්ලි නමට ඉඩම ලියමු” අයියා මල්ලිගේ කියමනට අලගු තැබීය. “නැතුව නැතුව. පුංචි අයියා මිස අපිට ගමේ ඉන්න බෑ. ගෙදර ලියල දැම්මම මේවා හරි පිළිවෙලක් වේවි” නංගී කතාව ස්ථිර කළාය. ” එහෙම බැහැ ළමයිනේ. අපි මැරිලා යනවා. උඹලට තියෙන දෙයක් සමසේ බෙදලා දෙන්න කියල තමයි තාත්තා ඊයෙත් මට කිව්වෙ,” අම්මා ඉස්සර වුවාය.
ලොකු ලේලිට දරුවන් ලැබීම ප්‍රමාද වුවද පොඩි ලේලිය ඊට පෙර දුවක් ප්‍රසූත කළාය. දෙමව්පියන්ට වඩා දරුවා හුරතල් කරන්නේ සීයාය. ආච්චිට දරුවා නෑවීම, කැවීම, නිදි කිරීම වැනි දවසෙම ඉමක් කොනක් නැති වැඩ කටයුතුය. අම්මා තාත්තා ගෙදර එන්නේ හවස හයත් පසු වූ විටය. තෙහෙට්ටුවට ඇඳට වැටෙන ඔවුනට අත දරුවා ආච්චි ගෙනත් දෙන්නේ නිදා ගන්න කිට්ටුවය. ලොකු ලේලිට දරුවකු ලැබීමට ඔවුන් නොකළ වෛද්‍ය ක්‍රමයක් ලංකාවේ ඉතුරු වූයේ නැත. අන්තිමට බෝධි පූජා, බාරහාර කළේ අම්මාගේ කැප වීමෙනි. ඉතා වෙහෙසකාරී කාලයකට පසු ඇය දරුවකු ගැබ් ගත්බව දැන ගත් විට පවුලේ කාටත් දැනුණේ ඉහේ මලක් පිපුනා ලෙසය. අම්මා ලොකු ලේලිගෙ නිවසේ නවතින්නට ගියේ සිරිල්ගේ බලවත් වද කිරීමත් සමගය. ” නෝනා, ඔයා ගිහින් ලොකු ලේලිව බලා ගන්න. බොහොම අමාරුවෙන් අපිට ලැබුණු වාසනාව. මම බලා ගන්නම් පුංචි මිනිබිරී පොඩ්ඩ” ඔහු ඉල්ලා සිටියේ ය. “ඒක තමයි. මැණික නැතුව ඉන්න තමයි මට බැරි” ආච්චි මිණිබිරිය තුරුල්කර ගත්තාය.
පොඩි දුව රැකියාවක් ලැබී ඕස්ට්‍රේලියාවේ පදිංචියට යනවිට ඇයට අවුරුදු 38 කි. ඇය ඕස්ට්‍රේලියානු ජාතිකයකු කසාද බැන්දේ දෙමව්පිය ආශිර්වාදය ද නොමැතිවය. නමුත් සිරිල් තම එකම දියණිය ගැන වෛරයකින් පසුවූයේ නැත. ” පතාගෙන ආපු විධියට තමයි ඔව්ව වෙන්නෙ. කෙල්ල ඉතිං නරක දෙයක් කර ගන්නෙ නෑ.” ” ඒක ඇත්ත. දැන් ඉතිං මොනව කරන්නද? දරුවා කැමතිනං එච්චරයි. අපි තව ටික කාලයයි නෙව.” බිරිඳ ද එකඟ වුවාය. දුවට පළමු දරුවා ලැබෙන්න ආසන්න වනවිට අම්මාටත් තාත්තාටත් ඕස්ට්‍රේලියාවට එන ලෙස දියණිය ආයාචනය කළාය.
එයට ලොකු ලේලි හා පොඩි ලේලි යන දෙදෙනාම තදින් විරුද්ධ විය. “අම්මලාට පිස්සුද. අපි කොහොමද වැඩට යන්නේ? අනික දරුවා ආත්තම්මා නැතිව ඉන්නෙ නෑ. මතකද වෙසක් පෝයට සිල් ගන්න ගිහිල්ලා ළමයට සාංකාව හැදුනා. මව්පියන්ට අකීකරු වෙච්ච ගෑනි. ඒව තනියෙන් කර ගන්න එකයි ඇත්තේ” ලොකු ලේලි තරහින් කියවා ගෙන යනවිට ලොකු පුතා හිස වැනුවේ ය. පොඩි පුතාගේ ලේලි එම ආරංචියෙන් මාරාවේශ විය. “ඒයි, ඔයගෙ තාත්තට පිස්සු ද? මොන විකාර ගමනක් ද ඒක. දරුවො දෙන්නා ඉස්කෝලෙ එක්ක යන්නෙ තාත්තා. ගෙදර ළමයි තනියෙන් දාල යන්න බෑ කියලා තාත්ත දන්නෙ නැද්ද? අපි තමයි එදා ඉඳලම තාත්තගෙ ලෙඩ දුක් බලා ගත්තෙ. අනික අම්මා යන එක හරි. ඒත් තාත්තා මොකට ද යන්නෙ. අපිත් රට දාල යන්න තිබුණේ. නංගී මොනවද කළේ? තාත්තා දුන්න අල්ලපු වැටේ තිබිච්ච රබර් ඉඩමත් පිට මිනිහෙකුට විකුණ ගත්තා. මට නං පේන්න බෑ ඒකි. තාත්තටත් ලජ්ජාවක් නෑ.” නමුත් පොඩි පුතා නිශ්ශබ්ද විය.
දිනක් දුව තාත්තාට ඕස්ට්‍රේලියාවේ සිට දුරකථනයෙන් කතා කළේ වේදනාවෙනි. “මම පවුලේ එකම දුව. මොන දෙමව්පියොද පළවෙනි දරුවා ලැබෙන්න ඉන්න දුව ළඟට එන්න බෑ කියන්නෙ? පුංචි අයියට ගෙයයි වත්තයි ලියලා දුන්නා. ලොකු අයියට පාර අයිනෙ වටිනම කුරුඳු ඉඩම දුන්නා. තිබිච්ච එකම කඩ කාමරයත් විකුණලා සල්ලි දුන්නා. ඒ ගොල්ලන්ගේ විවාහ ඔක්කොම තාත්තා කළා. මම අවුරුදු 38 ක් වෙනකම්ම කවුරුත් මම ගැන හෙව්වෙ නෑ. ඒත් මම බැන්ද එක ගැන එක එක අඩපාලි කියනවා නෑනලායි අයියලායි. එදා ඉඳලම අම්මා, තාත්තා අපේ අයියලාගෙ වැඩකාරයෝ වගේ. අඩු ගණනේ වෙසක් පෝයටවත් සිල් ගන්න ඉඩක් දුන්නද? නෑ. ඒ ගොල්ලෝ දරුවන් ගෙදර තියලා රට වටේ රවුං ගැහැව්වා. අම්මට තාත්තට අඩු ගණනේ ලෝකෙ බලන්න රටකට යන්න විවේකයක් ගන්නවත් අයිතියක් නැද්ද? තාත්තා නෙව ඉස්සර ඇහැව්වෙ මම පුංචි කාලෙ “දුව ලොකු වුණාම අම්මයි තාත්තයි පිටරට සවාරියක් එක්ක යනව නේද” කියලා. දෙමව්පියන්ගේ එහෙම ආශාවක් ගැනවත් පිට ලේලිලාට කැක්කුමක් නෑ. ඒ යක්ෂණියන්ගෙ තියෙන්නෙ අපේ ලේ නෙවෙයි, ඒකයි” ඇයගේ ටෙලිෆෝනය විසන්ධි වුයේ ඇඬීමත් සමගය.
“එහෙනං ඉතිං ඔයාවත් දුව ළඟට යන්න. ඒක අපේ යුතුකම. මම මාරුවෙන් මාරුවටවත් පවුල් දෙකේම ළමයි බලා ගන්නම්. ඒත් මගේ හන්දි අමාරුව තමයි ප්‍රශ්නේ .දැන් එන්න එන්නම වේදනාව වැඩි යි,” කියමින් සිරිල් බිරිඳට විසඳුමක් දුන්නේය. අම්මා ඕස්ට්‍රේලියාවට පැමිණෙන විට හොඳටම සීතලය. සති දෙක තුනක් යනවිට එම දේශගුණය ඇයට ඇල්ලුවේම නැත. ලංකාවේ අවුරුදු ගණනාවක් ඇදුම රෝගයට බෙහෙත් ගත්තද ඇය නිට්ටාවටම සනීප වූයේ නැත. අම්මා එක් තද සීතල රැයෙක හොඳටම අසාධ්‍ය වී මෙල්බන් රෝහලට ඇතුල් කර සුළු වේලාවකින් ඇය අවසන් හුස්ම හෙලුවාය. සිරිල්ට පිළිකාවක් බව සොයා ගන්නා විටත් කල් පසුවී ගොස්ය. ඔහුගේ බිරිඳ මැරෙන තෙක් ඇය සැපයක් වින්ඳේ නැත. ඒ ගැන සිරිල්ගේ සිතට වේදනාවක් දැනුන ද ඇයගේ ආදාහනය වන දිනයේ දී පවා සිරිල් සිටියේ රෝහලේ නේවාසිකව දැඩි සත්කාර ඒකකයකය. නමුත් තවමත් හොඳ සිහියෙන් සිටි සිරිල්ගේ දෑස තෙත්වූයේ තම දරුවන් මුණුපුරන් සිහිපත් වීම නිසා මිස තමාගේ අවසානය ගැන නොවේ.
දයා ප්‍රතාපසිංහ – ඕක්ලන්ඩ්







