දුරකතන පණිවිඩයත් සමග මා පුටුව පස්සට කර නැගිටින සද්දයට දෝ විමසීම් කවුන්ටරයේ සිටි රේණුකා මගේ කාමරයට එබිකම් කළාය.
‘සුබසිංහට එන්න කියන්න කාර් එක අරන්. දිසා ඇමති තුමා රැස්වීමට ඇවිත් බලා ඉන්නවා’ මම කීවෙමි. සුබසිංහ මට ලබා දී සිටි රියැදුරාය.
රේණුකා ඇඳුම පාදා දෙපා සාදා මිහිකත නලවා ගමන යන තෙක් නොඉවසූ මම කැන්ටීන් කාමරයට දුව ගියෙමි. කාර්‍යමණ්ඩලයේ තවත් සාමාජිකාවියන් පස් දෙනෙකු වට කර ගෙන පවත්වමින් සිටි සුබසිංහගේ බර කතාව එක වරම නතර වීය. අනිත් අය මුව අතකින් වසා සිනාව තද කරගෙන හෙමින් සැරේ කැන්ටීන් කාමරයෙන් රූටා යනවා මම තේරුම් ගතිමි.
කිසිත් සිදු නොවුණා මෙන් සුබසිංහ කච්චේරිය දක්වා කාරය එළවා යාම ඇරඹීය.
‘මොකක්ද සුබසිංහ කරන්නෙ මිස්ලගෙ වැඩ පාළු කරගෙන කතාවට අල්ලගෙන?’ අතරමග දී මම දොස් කීවෙමි. ‘ඔය නෝනලට වැඩ ඉවර කරලා, ළමයි ඩේ කෙයාර්වලින් ගන්න තියනවා. කඩෙන් බඩු ගෙනියන්න තියනවා. ගෙදර ගිහින් මහත්තය එනකොට උයලා පිහලා බලා ඉන්නත් වෙනවා’
‘නැ සර්’ ඔහු වෙනදා මෙන්ම සැහැල්ලුවට සිනාසුණේය.
‘මොක්කද ඔයා කිව්වේ, අර මිස්ලා නිකම් බය වෙලා කටවල් වහ ගෙන පැනලා ගියේ?’ මම ඇසුවෙමි.
‘නෑ සර්. මම පොඩි ප්‍රශ්නයක් ඇහුවා’
‘ප්‍රශ්නයක්?’
‘ඔව්. මම කිව්වා මිස්ලා තවම බැඳල නෑ කියලා හිතා ගන්න. එතකොට අද මිස්ලා බැඳල ඉන්න මහත්තයම ඇවිත් යෝජනාවක් කළොත් මිස්ලා කැමති වෙනවද ? ඕකයි මම ඇහුවෙ’
‘ඒක මහෞෂධ පණ්ඩිතයන්ගෙ කාලෙ තිබුණා කියන ස්ත්‍රී ප්‍රශ්නයක් නෙව. ඉතිං?’
‘කාටවත් උත්තර දෙන්න බෑ. ගොළු වෙලා මූණට මූණ බලා ගන්නවා’ සුබසිංහ කණ්ණාඩියෙන් මා දෙස බැලුවේය.
‘ඒක හරි, මගේ නෝනටත් ඕකට නම් උත්තර නෑ.’ මම කාරයෙන් බැස රත්නපුර කච්චේරි රැස්වීම් ශාලාවට දිව්වෙමි.
*** *** ***
සේවා ස්ථානයේදී ඔබ ලැබූ ඇත්දැකීම් සිහිකරන කතා පාඨකයන් හා බෙදා ගැනිමට අපි ද කැමැත්තෙමු.
By B. Karasinghe Arachchi – Auckland