පසුගියදා වියට්නාමයේ චාරිකාවකට ලංකාවේ ශාන්ති ට්‍රැවල්ස් සමාගම සමඟ සම්බන්ධ වූ මටත් රාණි කිරිමැටියාවටත් එහි ගත කළ කාලය අපුරු අත්දැකීමක් විය. වියට්නාමය තවත් ආසියාතික රටක් ලෙසට හිතේ සනිටුහන් වී තිබුණත් ඒ රටට ගිය විට ඒ හිතුවිල්ල සම්පුර්ණයෙන්ම වෙනස් වූ බව කිව යුතුය.
ගිණිකොණ දිග ආසියාවේ, නැගෙනහිර ඉන්දු චීන අර්ධද්වීපයේ පිහිටි උතුරින් චීනයටත්, වයඹින් ලාඕසයටත්, නිරිතදිගින් කාම්බෝජයටත්, නැගෙනහිරින් දකුණු චීන මුහුදටත් මායිම්ව වියට්නාමය පිහිටා ඇත. වියට්නාමය භූමි වර්ග කිලෝමීටර් 3000 ක් පමණ දිගකින් යුත් රටක් වන අතර 2026 දී රටේ ජනගහණය මිලියන 102 කි. එය ලෝකයේ වැඩිම ජනගහණයක් තිබෙන රටවල් අතරේ 16 වැනි තැන උසුලයි.
වෙරළබඩ තීරුව, රළු කඳුකර අභ්‍යන්තරය සහ ප්‍රධාන ඩෙල්ටා දෙකක් සහිත වියට්නාමය ඉතිහාසය පුරාම බොහෝ සංස්කෘතීන්ට නිවහනක් විය. අග්නිදිග ආසියාවේ එහි භූගෝලීය පිහිටීම නිසා වෙළඳ මධ්‍යස්ථානයක් මෙන්ම ආක්‍රමණ කේන්ද්‍රස්ථානයක් බවටද පත් වූ අතර අතීතයේ සිදුවූ යුදමය ක්රියාදාමයන්ගේ දුක්මුසු හා බිහිසුණු අත්දැකීම් ඔස්සේ වියට්නාමය පරිණාමය වී ඇත.
වියට්නාමයට පුරාණ නැගෙනහිර යුරේසියානු දඩයම්කරුවන් වසර 40,000කට පමණ පෙර පැමිණි අතර විශේෂයෙන් ඔස්ට්රෝආසියානු සහ ඔස්ට්රෝනීසියානු ජනයා දකුණු චීනයේ සිට අග්නිදිග ආසියාවට සංක්‍රමණය වීමත් සමඟ ඔවුන්ගේ වී වගා දැනුම, භාෂා සහ වියට්නාමයේ නූතන ජනගහනයේ ජානමය පදනමෙන් වැඩි කොටසක්ද වියට්නාමයට උරුම වී ඇත.
දීර්ඝ යුදමය ඉතිහාසයක් ඇති වියට්නාමය වර්තමාන තත්වයට ගෙන එන්නට වියට්නාම් ජනතාව විඳි දුක් ගැහැට නිමක් නැත. වියට්නාමයේ ඉතිහාසය හැඩගැසී ඇත්තේ වසර දහසක චීන ආධිපත්‍යය, ප්‍රංශ යටත් විජිතකරණය, ජපන් ආක්‍රමණය සහ විනාශකාරී ඇමරිකානු වියට්නාම් යුද්ධ වෙනුවෙන් කරන ලද අරගල ඔස්සේය.
යුද්ධ අවසන් වී එක රටක් ලෙසට එක්සත් වුණ උතුරු හා දකුණු වියට්නාමය, වර්තමානයේදී වියට්නාම සමාජවාදී සමුහාණ්ඩුව ලෙස හැඳින්වේ. වියට්නාමය කොමියුනිස්ට් පාලනයක් යටතේ දියුණු වෙමින් අද දවසේ පවතින නවීන වෙළඳපල ආර්ථිකයකට සංක්‍රමණය වී ඇත.

1976 වර්ෂයේදී සිදු වු උතුරු සහ දකුණු එකතුව සමඟින් හැනෝයි නගරය එම රටේ අගනුවර බවට පත් වී ඇත. මුළු සංචාරයේදී ආවරණය වූ අපේ ප්‍රධාන සංචාරක නගර තුන මෙසේ විය.
- උතුරු වියට්නාමය (North Vietnam): අගනුවර වන හැනෝයි (Hanoi)
- මධ්‍යම වියට්නාමය (Central Vietnam): උතුර සහ දකුණ යා කරන ප්‍රදේශය වන මෙහි හොයි ආන් (Hoi An) සහ ඩා නෑන්ග් (Da Nang) නගර ඇත.
3.දකුණු වියට්නාමය (South Vietnam): රටේ විශාලතම නගරය වන හෝ චි මිං (Ho Chi Minh)
හැනෝයි අගනුවර එරටේ ඓතිහාසික හදවත ලෙස හඳුන්වන අතර අතීතයේ එහි පටු, වංගු සහිත “වීදි 36” තිබුණ අතර අද දවසේ දකින්නට ඇත්තේ එයින් කිහිපයක් පමණි.
සෑම වීදියක්ම සාම්ප්‍රදායික වූ නිශ්චිත වෙළඳාම් (සිල්ක්, රිදී හෝ උණ බම්බු වැනි) කෙරෙන අතර කෑම කඩවලින් වීදි පිරී ඇත.
හො වෑන් හෝ ලේක් වෑන් මෙම හැනෝයි නගර මධ්‍යයේ ඇති මනරම් ප්රදේශයකි. 18 වන සියවසේ ඉදි කරන ලද එන්ගොක් සොන් පන්සල නැරඹීමට එහි ඇති රතු පාලම තරණය කරන සංචාරකයින්ට අලංකාර සංස්කෘතික ස්ථානය නැරඹිය හැකි අතර කොන්ෆියුසියස් වෙනුවෙන් කැප කර ඇති,11 වන සියවසේ පිහිටුවන ලද සාහිත්‍ය පන්සල් පුරාණ සංකීර්ණයද නැරඹිය හැකිය.
වැඩිම සංචාරක ආකර්ෂණයයක් දිනූ හැනෝයි නගරයේ ඇති විශිෂ්ටතම නිර්මාණය “තං ලෝන්ග් අධිරාජ්‍ය බලකොටුව”, වියට්නාමයේ වාර්තාගත ඉතිහාසයේ වසර 1,000 කට වැඩි කාලයක් නියෝජනය කරන යුනෙස්කෝ ලෝක උරුම අඩවියකි.

හැනෝයි නගරයේ ඇති හෝ චි මිං සොහොන් ගෙය, හිටපු වියට්නාම ජනාධිපතිවරයාගේ සංරක්ෂිත දේහය නැරඹිය හැකි දැවැන්ත ස්මාරකයකි. නූතන වියට්නාමයේ නිර්මාතෘ පියා ලෙස හැඳින්වෙන්නේ හෝ චි මිං ය. ඔහු ප්‍රංශ පාලනයෙන් සහ විදේශ මැදිහත්වීමෙන් වියට්නාමයේ නිදහස සඳහා සටන් කළ විප්ලවවාදී නායකයෙකි. ඔහු වියට්නාම් ගරිල්ලන් පුහුණු කොට ප්‍රංශ යුද්ධය ජය ගත් අතර උතුරු වියට්නාමයේ පළමු ජනාධිපතිවරයා වූ ඔහුව මහජනතාව විසින් “හෝ මාමා” ලෙස ආදරණීය ලෙස හැඳින්විය. මෙම ස්ථානයට නුදුරින් ඇති වියට්නාම් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලද නැරඹිය හැකිය. ජනාකීර්ණ සාප්පු මැදින් ගමන් කරන දුම්රියද මෙහි නැරඹියම යුතු ස්ථානයකි.
අපේ මීළඟ දිනයේ සංචාරක ස්ථානය වූයේ ලෝක ප්‍රසිද්ධ හැලෝන් බේ හෙවත් ලෝන්ග් බොක්ක ඊසානදිග වියට්නාමයේ යුනෙස්කෝ ලෝක උරුම අඩවියකි. මරකත ජලයෙන් මතු වූ උස හුණුගල් කඳු 2,000 කට ආසන්න ප්‍රමාණයක් සඳහා ප්‍රසිද්ධ මේ බොක්ක, වියට්නාම ජනප්රවාදයේ, රන්පැහැති මකරෙකු ඔවුන්ව ආක්‍රමණිකයන්ගෙන් බේරා ගැනීමට ගොඩ බැස්ස ස්ථානය ලෙස සලකයි. වචනයෙන් කිව නොහැකි තරමේ සුන්දරත්වයකින් පිරුණු, තද කොළ පැහැති මරකත ජලයේ කෲස් යාත්‍රාවක ගිය ගමන හා යාත්‍රාවේ ගත කළ රාත්‍රිය වියට්නාම් සංචාරයේ වැදගත්ම සිහිවටනයයි. Dinh Huong Island, Ga Choi Island, Dog Island, Sail Island පසු කරමින් ගිය මේ ගමනේදී Sun Sot Cave නැරඹීමට යාමද මෙම ගමනේ විශේෂත්වයයි. මේ කඳුවල බොහෝ ගුහා ඇති අතර යුද්ධවලදී එම ස්ථානවල ඔවුන් සැඟවී යුද්ධ කළ බවද කියති. සුන්දර කඳුකර නගරයක් වන සාපා (Sapa) ද මෙහි පිහිටා ඇත.
මීළඟ දිනයේදී අපි ගුවනින් මධ්‍යම වියට්නාමයේ DA NANG බලා ගියෙමු. එහිදී පැරණි චම්පා රාජධානියේ ලොව ප්‍රමුඛතම මූර්තිවල එකතුවක් ඇති Cham Museum හා කිලෝමීටර් 5ක් දිගට ඇති සුන්දර Non Nuoc Beach හා Marble Mountain වෙත ගියෙමු. හුණුගල් සහ කිරිගරුඬ කඳු මුදුන් පහකින් සමන්විත මේ කඳු පෘථිවිය, ජලය, ගින්න, වාතය සහ අවකාශය ලෙස නම් කර ඇත.
පසු දින විශ්මයජනක ගිනස් වාර්තා තැබූ මීටර් 5042 ක් දිගින් හා උසින් මීටර් 1292 වූ කේබල් කාර්වල Ba Na කඳු මුදුනට ගියෙමු. එහිදී අතීතයේ ගොඩ නංවා තිබු ප්‍රංශ ජාතිකයන්ගේ විස්මිත කොලනියත්, පැරණි ගොඩනැගිලිත් Da Nang නගරයේ සුන්දරත්වයත් කඳු මුදුනේ සිට විඳ ගත්තෙමු. මෙහි අපූර්වත්වය තිබුනේ Hand Bridge හෙවත් Golden Bridge නම් වූ පාලමේය.
මතු සම්බන්ධයි
ඉන්ද්‍රා දයාමණි කොළඹගේ – ඕක්ලන්ඩ්







