වියට්නාමයේ මෙම රන් පාලම, දැවැන්ත ගල් අත් දෙකකින් ආධාරකයක් ලෙස නිර්මාණය කර ඇති අතර එය බා නා කඳුකරයේ සොබා දහම සමඟ ආඩම්බරයෙන් නැගී සිටින මීටර් 150 දිගැති ගෘහනිර්මාණ ආශ්චර්යයකි. වියට්නාමයේ සංචාරක දැන්වීම්වල ඇති රන්පාලම උඩ ඇති දැවැන්ත ගල් අත් දෙක සංචාරකයින් එරටට ආකර්ෂණය කොට ගනියි. මේ අපුර්ව ස්ථානවල සුන්දර මතකය හිත රඳවා ගෙන පසුදිනයේදී අප Da Nang සිට Ho Chi Minh නගරය දක්වා ගුවනින් ගමන් කළෙමු.
පළමු දිනයේදී අප වියට්නාම් යුද්ධයේදී ඇමරිකානු ප්‍රහාරවලින් කලාපය ආරක්ෂා කිරීම සඳහා වියට්නාම ගරිල්ලන් විසින් ඉදිකරන ලද ඇදහිය නොහැකි භූගත ජාලයක් වන කු චි උමං මාර්ගය බැලීමට ගියෙමු. ඔවුන් සටන් අතරතුර සැඟවුණු ස්ථාන ලෙස මෙන්ම සන්නිවේදන, සැපයුම් මාර්ග, රෝහල්, ආහාර සහ ආයුධ ගබඩා සහ උතුරු වියට්නාම සටන්කරුවන් ගණනාවක් සඳහා වාසස්ථාන ලෙසද භාවිතා කළ මෙම ස්ථානය නැරඹීම විශ්මයජනක අත්දැකීමක් විය. ඇමරිකානු හමුදාවන් පරාජය කිරීමට පාවිච්චි කළ ඒ වියට්නාම් උමං පද්ධති තුළට යාමට, උමං මාර්ගය තුළ බඩගාගෙන යාමට, එකල තිබූ ඔවුන්ගේ රෝහලට, මුළුතැන්ගෙයට හා යුද අභ්‍යාස කළ ස්ථානයන්ටත් යාමට අපට හැකි විය. ලෝකයේ වෙනත් රටක දැකිය නොහැකි තරමේ විස්මිත යුද උපක්‍රමයක් වූ එය අපට මහත් වූ අත්දකීමක් විය.
වැඩිම ජනගහනයක් ඇති හෝචිංමි නගරය අති සුඛෝපභෝගි නිවාස සංකීර්ණ, Britexco Financial Tower ලෑන්ඩ් මාර්ක් ටවර් ගොඩනැගිලි වැනි අහස උසට නැගුණු සාප්පු සංකීර්ණවලින් පිරී ඇත. මෙම නගරය පෙර හැඳින්වූයේ සයිගොන් නගරය ලෙසිනි.වියට්නාමයේ නිදහස වෙනුවෙන් සටන් කළ ඔවුන්ගේ ගැලවුම්කාර හෝචිංමිට ගෞරවයක් ලෙස සයිගොන් නගරය “හෝචිමිං නගරය” ලෙසට වෙනස් කර ඇත. වියට්නාමයේ “නොනිදන නගරය” ලෙස නම් කරන මෙම නගරයේ සෑම ගොඩනැගිල්ලකම වියට්නාම් කොඩිය දකින්නට ලැබීම විශේෂයකි. 1890 වර්ෂයේ ඉපදී 1969 මිය ගිය චිංමි ගේ පිළිරුව නගර මධ්‍යයේ ස්ථාපනය කොට ඇත. ඔහු වියට්නාම් විප්ලයේ පියා මෙන්ම, 1930දී එරට කොමිනියුස්ට් පක්ෂය පිහිටවූ නායකයාය.

ඇමරිකා එක්සත් ජනපදය වියට්නාමය ආක්‍රමණය කිරීමෙන් සිවිල් වැසියන්ට ඇති වූ බලපෑම වියට්නාම දෘෂ්ටිකෝණයකින් ප්‍රදර්ශනය කිරීම සඳහා කැපවී ඇති තේමාත්මක ප්‍රදර්ශන කුටි අටක් තුළ කෞතුක වස්තු 20,000 කට අධික සංඛ්‍යාවක් ඇති කෞතුකාගාරය මේ නගරයේ ඇති විශේෂ ස්ථානයකි.එමෙන්ම ප්‍රංශ ජාතිකයින් ගොඩ නැගූ Notre Dame Cathedral of Saigon,Reunification Palace, Thien Hau Pagoda සහ Unicorn Island හි බෝට්ටු සවාරි වැනි ආකර්ෂණීය ස්ථාන නැරඹීමට හැකි විය.
වසර ගණනාවක් තිස්සේ බාහිර ආක්‍රමණ මෙන්ම රට අභ්‍යන්තරයේද ඇති වූ යුද්ධ නිසා ඝණ කැලෑවල, ගුහාවල, භූගත උමං තුළ හා මුහුද අවට ගුහාවල සටන් වදිමින්, කුසට අහරක් නැතිව ජීවත් වූ, දුක් විඳි ජනතාවක් වූ ඔවුන් තුළ තිබූ ආත්ම ධෛර්යය විශ්වාස කළ නොහැකි තරම්ය. ඔවුන්ගේ අතීතය විදහා පාන කෞතුගාර වෙත යන සංචාරකයින්ට වියට්නාම් වැසියන් ගැන ඇති වන්නේ ඉමහත් ගෞරවයකි.
කොමිනියුස්ට්වාදි රටක් වන වියට්නාමය අනිකුත් එවැනි රටවලට වඩා වෙනස් වී ඇත්තේ ඔවුන්ගේ නවීන වෙළෙඳපල ආර්ථික රටාවෙනි. ඔවුන්ගේ ජාතික ආදායමින් වැඩි කොටසක් සංචාරක ව්‍යාපාරයෙන් උපයා ගන්නා අතර සංචාරකයින් කෙරෙහි දක්වන ඔවුන්ගේ ආචාරශීලී, මිත්‍රශීලි සුහදබවද එම කර්මාන්තයේ දියුණුවට හේතු වී ඇත. තම රටට මහත් සේ ආදරය කරන ඔවුන්, තම කොමියුනිස්ට් නායකයින්ට මහත් සේ ගෞරව කරති. දේශපාලන වශයෙන් ඔවුන්ට අනෙක් සමාජවාදී රටවලට මෙන් නිදහසක් නැතත් ඉතා විනයාකූල පිරිසක් ලෙසට ඔවුන් කොමියුනිස්ට් පාලනයට නතුව ජීවත් වෙන්නේ, එරට එදා සිටි නායකයින් යුද්ධවලින් තම රට බේරා ගන්නට ගත් උත්සාහය ඔවුන් අත්දුටු නිසා විය හැකිය.

දිගු යුද්ධ කාලවලදී රට තුළ කෘෂිකර්මාන්තයත්, අනෙකුත් කර්මාන්තත් සියල්ල බිඳ වැටී දැඩි ආර්ථික අවපාතයයකටත්, දේශපාලන පසුබෑමකටත් ලක් වූ රටවැසියන්ට, ඔවුන්ගේ කොමියුනිස්ට් නායකයින් රට ගොඩනැංවීමට වෙළෙඳපල ආර්ථිකයකට යාම ඔවුන් අනුමත කර එයට සහයෝගය දැක්වීය.
ඉතා දියුණු බටහිර රටකටත් වඩා ඉහළ ආර්ථික සංවර්ධනයක් ලබා ගෙන සිටියත්, ඔවුන්ට ඇත්තේ ඉතා සරල ජීවන රටාවකි. තවද මා දැනගත් පරිදි මේ රටේ ජනතාව අතීතයේදී වැඩි දෙනා බෞද්ධයින් වුවත්, පසුකලක ප්‍රංශ බලපෑම මත කතෝලික ආගම ඇදහුවත්, විශ්මයජනක දෙය වන්නේ ජනගහනයෙන් 85% ක් දෙනාට අද දවසේ කිසිදු ආගමක් නැති අතර වැඩි දෙනෙක් පුරාණ විශ්වාස හෝ ඇදහැලිවලට යොමු වී සිටීන බවයි.
වියට්නාම් වැසියන් තමන්ගේ ඉතිහාසය ගැන මෙන්ම, තමන්ගේ නායකයින් ගැනත්, රටවැසියන් ගැනත් කතා කරන්නේ අභිමානයකිනි. අපේ සංචාරය පුරාවට නගර තුනකදී එක් වුණ සංචාරක මඟපෙන්වන්නන්ගෙන් මම එය හොඳින්ම වටහා ගත්තෙමි. වියට්නාමයට නීත්‍යානුකූල විරුද්ධ පක්ෂයක් නොමැත. රට තනිකරම වියට්නාම් කොමියුනිස්ට් පක්ෂය (CPV) විසින් පාලනය කරනු ලබන අතර එය ඒක-පක්ෂ කොමියුනිස්ට් රාජ්‍යයකි. එම රටේ නීතියට අනුව වෙනත් කිසිදු දේශපාලන පක්ෂයකට රට තුළ විවෘතව පිහිටුවීමට හෝ ක්‍රියාත්මක වීමට අවසර නැත.
ද්‍රරිද්‍රතාවයේ පතුලටම ගොස් එහි වේදනාව හඳුනා ගැනීමත් ඉතා දියුණු ප්‍රංශ හා ඇමරිකාව වැනි බලවත් රටවල් යුදමය වශයෙන් පරාජය කිරීමෙන් ලද ජයග්‍රහණය තුළින් ලැබූ අභිමානයත්, වසර දහස් ගණනක් තිස්සේ විවිධ ජාතීන් සමඟ මිශ්‍රවී ලබා ගත් භාෂා හා සංස්කෘතික ඥනයත් මෙන්ම රටක් ලෙසට වැසියන්ගේ එකමුතුකමත් වියට්නාමයේ දියුණුවේ රහස ලෙස මම දකිමි.
ඉන්ද්‍රා දයාමණී කොළඹගේ – ඕක්ලන්ඩ්







