fbpx
15.1 C
New Zealand
Wednesday, November 11, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

වික්ෂිප්ත නායකයින් හා ගෝලීය බලතුලනය

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

මෙම වසර ආරම්භ වූයේ ගෝලීය වේදිකාවේ විශාල කලබගෑනි හා අස්ථිරතාවයන් මැදය. සමහර සිදුවීම්වලින් පවතින ගෝලීය පක්ෂපාතීත්වයන්ගේ වෙනස්වීම් සිදු වූවාදෝයි සංඥා නගන්නට විය.

වෙනිසියුලාව

වසර ආරම්භයත් සමඟම එක්සත් ජනපදය විසින් වෙනිසියුලාවට එරෙහිව දියත් කළ මෙහෙයුමක් හරහා එහි නායක නිකලස් මදුරෝව අත්අඩංගුවට ගැනුණි. ඔහුට එරෙහි චෝදනාව වූයේ ඇමරිකාවට මත්ද්‍රව්‍ය සපයන බවයි. එහෙත් මදුරෝව අත්අඩංගුවට ගත් පසු ඉක්මනින්ම මෙම චෝදනාවන් යටපත් වී ට්‍රම්ප් විසින් වෙනිසියුලානු තෙල් ඇමරිකානු පාලනයට යටත්  විය යුතු බව කියනා සටන් පාඨයකට හැරුණි.

ට්‍රම්ප් සහ ඇමරිකානු තෙල් සමාගම් ප්‍රමුඛයන් අතර පැවති සාකච්ඡාවල දී හෙළිවූයේ 2019 දී ට්‍රම්ප් විසින් වෙනිසියුලාවට එරෙහිව සම්බාධක දැඩි කිරීමත් සමඟ Haliburton වැනි සමාගම් වෙනිසියුලාව හැර ගිය බවය. මෙය ජනප්‍රිය අර්ථකථනය වූ මදුරෝ ඇමරිකානු තෙල් සමාගම් තම රටින් නෙරපූ බව ප්‍රතික්ෂේප කරන්නකි.

මෙම සියලු නාටක අතර වෙනිසියුලා රජය සැබෑවටම පෙරලුනේද නැත. මදුරෝ අත්අඩංගුවට ගත් පසු තම උප ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගුවේස් ජනපති ලෙස දිවුරුම් දුනි. එක්සත් ජනපදයගේ ඊළඟ පියවර කුමක්ද යන්න තවමත් අපැහැදිලිය. විශාල හමුදා ප්‍රහාරයක තර්ජන මෙන්ම රුසියාව, චීනය හා ඉරානය සමඟ තෙල් වෙළඳ සබඳතා නැවැත්වීම වැනි විශ්මයජනක ඉල්ලීම් ද මේ අතර වේ.

කෙසේ වෙතත් වෙනිසියුලානු තෙල් තවමත් එහි රජය යටතේම පවතින අතර තෙල් සමාගම් ප්‍රමුඛයන් ට්‍රම්ප්ගෙන් බලාපොරොත්තු වන්නේ එය නොවේ. ඔවුන්ට අවශ්‍ය වන්නේ වෙනිසියුලානු තෙල් සම්පූර්ණයෙන්ම තම පාලනය යටතට ගැනීමයි.

ඉරානය

ඉරානයට ද  2026 වසරආරම්භ වූයේ රජයට එරෙහිව මහජන විරෝධතා මැදය. ඇමරිකානු සම්බාධක හේතුවෙන් කඩා වැටුණු ආර්ථිකයෙන් බැට කන ජනතාව වීදි බසින්නට වූහ. බටහිර මාධ්‍ය පවසන්නේ රජය විසින් මෙම විරෝධතා දැඩි ලෙස මර්ධනය කළ බවය. නමුත් ඉරාන බලධාරීන් පවසන්නේ CIA හා මොසාඩ් සංවිධාන විරෝධතා පිටුපස සිටි බවය.

මෙය හුදු චෝදනාවක් ලෙස පෙනුන ද හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝගේ නව වසර පැතුමෙන් ද මොසාඩ් සංවිධානයේ සමාජ මාධ්‍ය පණිවිඩවලින් ද විරෝධතාකරුවන් උද්යෝගයමත් කරමින් මොසාඩ් ක්‍රියාකාරීන් තමන් අතරේ සිටිනා බව සඳහන් විය. මෙය ඉරාන බලධාරීන්ගෙ චෝදනා තහවුරු වීමක් වැනිය. එමෙන්ම සමාජ මාධ්‍යවල ක්‍රියාකාරී ස්වාධීන මාධ්‍යවේදීහු විසින් ඉරාන පොලිස් නිලධාරීන්හට වෙඩි වදින දර්ශන පවා සංසරණය කළහ. මෙනිසා එම විරෝධතාකරුවන් හට යම් පිරිසක් ආයුධ සැපයූ බවට සැක කිරීම සාධාරණය.

ට්‍රම්ප් ඉරානයට එරෙහි ප්‍රහාරයක් ගැන යුහුසුළු වුවද පසුව සෞදි අරාබිය, ඊජිප්තුව, කටාර් සහ ඕමානය වැනි මැද පෙරදිග සගයන්ගේ පෙරැත්ත මත මඳක් පසු බෑවේය. මේ වන විට ඉරාන විරෝධතා සන්සුන් වී ඇති නමුත් ට්‍රම්ප්ගේ තර්ජනවල අවසානයක් නැත. ඇමරිකානු  ගුවන් යානා ප්‍රවාහන  වර්ගයේ නැවක් මේ වන විට ඉරානයට ළඟා වී ඇති අතර තවත් නාවික හමුදා යාත්‍රා මග එන බවට ට්‍රම්ප් තර්ජනය කරයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සෞදි අරාබිය වැනි සම්ප්‍රදායික ඇමරිකානු සගයන් පවා ඉරානයට එරෙහි ඇමරිකානු ආක්‍රමණයකට සහය නොදෙන බව දැනටම ප්‍රකාශ කර ඇත. ට්‍රම්ප් ඉරානයෙන් කරන ඉල්ලීම නම් න්‍යෂ්ටික අවිහරණ ගිවිසුමකට එකඟ වීමය. මෙහි පරස්පරය නම් ට්‍රම්ප් බලයට ඒමට පෙර ඇමරිකාව, ඉරානය හා ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය අතර එවැනි වැඩසටහනක් ක්‍රියාත්මකව තිබීමය. ඉන් ඉවත් වෙමින් එය බිඳ දමන ලද්දේ ට්‍රම්ප් විසින්මය. දැන් ඔහු විසින්ම ඉරානයට නැවත සාකච්ඡා මේසයට පැමිණෙන ලෙස බලකරමින් සිටියි.

ග්‍රීන්ලන්තය

ට්‍රම්ප්ගේ තවත් නාටකයක් යුරෝපයේ ද දිග හැරෙමින් පවතී. දැනට ග්‍රීන්ලන්තය ඩෙන්මාර්කයට අයත් ප්‍රදේශයක් වන අතර ඩෙන්මාර්කය NATO සාමාජිකයෙක්ද වේ. එහෙත් එක්සත් ජනපදය හොඳින් හෝ නරකින් ග්‍රීන්ලන්තය තමා සතු කර ගැනීමට උත්සාහ කරයි. මෙම තර්ජනය බටහිර යුරෝපයේ ඇමරිකානු සගයන්ව වික්ෂිප්ත කොට ඇත.

ට්‍රම්ප් පවසන්නේ චීනය සහ රුසියාව ග්‍රීන්ලන්තය වට කර ඇති නිසා ආරක්ෂක පියවරක් ලෙස එය ඇමරිකාවට අයත් විය යුතු බවය. මෙය සත්‍ය නොවන අතර ඩෙන්මාර්කය දැනටමත් NATO සාමාජිකයෙක් බැවින් ඇමරිකාවට NATO ව්‍යුහය යටතේම ආරක්ෂාව වැඩි කළ හැක. නමුත් ට්‍රම්ප්ගේ සැබෑ අරමුණ ග්‍රීන්ලන්තයේ ඇති ‘Rare Earth’ ඛනිජ ලබා ගැනීම බව පෙනේ.

ලෝක ආර්ථික සංසදය හා නව මිතුදම්.

ගතවූ වසරේ G20 සමුළුවේ ප්‍රකාශ වූ අදහසම ලෝක ආර්ථික සංසදයේද රැව් දුන්නේය. එනම් බටහිර ලෝකය ගෝලීය දකුණේ නැගීම පිළිගනිමින් ඇමරිකාව විසින් තමාට දුන් නායකත්වය ගැන ප්‍රශ්න කිරීමට පටන් ගෙන සිටීමය. ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රොන් සහ කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නිගේ ප්‍රකාශයන් මෙය තවදුරටත් තහවුරු කළේය.

යුරෝපා සංගමය ඉන්දියාව සමඟ නව වෙළඳ ගිවිසුම් වෙත යාම හා කැනඩාව චීනය සමඟ සම්බන්ධතා ශක්තිමත් කරගැනීම මෙම සම්මේලනයේදී සනිටුහන් වූ විශේෂ කරුණුය. මේ වන විට ඇමරිකාව තම සගයන්ටත් සතුරන්ටත් එක සේ තර්ජන කරමින් වික්ෂිප්ත වූ නායකත්වයක් පෙන්වන විට බටහිර ලෝකය චීනය සහ ඉන්දියාව වැනි රටවල් සමග  වඩා සාමකාමී සම්බන්ධතා ගොඩ නැගීමට උත්සාහ දැරීම අරුමයක් නොවේ.

ශ්‍රී ලංකාවට සහ නවසීලන්තයට වන බලපෑම 

ට්‍රම්ප් ඉරානය සමඟ වෙළඳාම් කරන සියලු රටවලට තර්ජනය කොට ඇත. ශ්‍රී ලංකාව දැනට වෙනිසියුලාවෙන් හෝ ඉරානයෙන් තෙල් ආනයනය නොකරන බැවින් ශ්‍රී ලංකාවට මින් විශේෂ බලපෑමක් නොවිය හැක. ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්ති ද අස්ථිර බැවින් බොහෝ ආර්ථිකමය වශයෙන් ශක්තිමත් රටවල් එම තර්ජන දැන් ගණන් නොගන්නා තරම්ය.

නවසීලන්තයද ගෝලීය දකුණේ නැගීම වටහාගෙන ඇති බවක් පෙනේ. පසුගිය වසරේ ඉන්දියාව සමඟ එළැඹි වෙළඳ ගිවිසුම එයට උදාහරණයකි. මෙම නව ගෝලීය පෙරළිය ශ්‍රී ලංකා නායකයන් විසින් ද ශ්‍රී ලංකාව සිටිය යුතු ස්ථානය තීරණය කළ යුතුය. ලෝක ආර්ථික සංසදයේදී කාර්නි පැවසූ අන්දමට. ‘අප කෑම මේසය වටා හිඳ නොගත්තොත් අප ඉතුරු වන්නේ මෙනුවේය’ (if we’re not at the table, we’re on the menu).

Photo credit: Lara Jameson & jerjer

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.