ඉරානයේ සිට ගාසා තීරයටද, යුක්‍රේනයේ සිට ලෙබනනයටද, ලෝකය යුද්ධයෙන් වෙලී ගොසිනි. බොහෝ රටවල් සමග ට්‍රම්ප් තවමත් තීරු බදු යුද්ධයකය. නමුත් මේ සියලු අවුල් ජාලා මැද, මාස කිහිපයකට පෙර තවත් පාපන්දු ලෝක කුසලානයක් පැවැත්විණි. මෙහි විශේෂත්වය වූයේ, ලෝක භූ-දේශපාලනයේ ප්‍රධාන කොටස්කරුවකු වන ඇමරිකාව, තම අසල්වාසී කැනඩාව හා මෙක්සිකෝව සමඟ එක්ව එහි සත්කාරක රටක් ලෙස පෙනී සිටීමය.
පාපන්දු පිටියේ භූ-දේශපාලනය.
බොහෝ විට ක්‍රීඩා තරඟ බාහිර ලෝකයේ සිදුවීම්වලින් ජනතාවගේ අවධානය කෙටි කලකට හෝ වෙනතකට යොමුවන, ලෝකය එකට එක් කරන විනෝදාත්මක අවස්ථාවන් වේ. එහෙත් අනෙකුත් ගෝලීය ක්‍රීඩා උත්සව මෙන්ම මෙම ලෝක කුසලානයද භූ-දේශපාලනික ගැටුම්වලින් නිදහස් නොවීය. ජාත්‍යන්තර පාපන්දු ඉතිහාසයටද මෙය අලුත් දෙයක් නොවේ. උදාහරණයක් ලෙස, 1982 ෆෝක්ලන්ඩ් යුද්ධයේ අඳුරු මතක ආර්ජන්ටිනාව හා එංගලන්තය අතර තරඟ පවතින සෑම විටම යළි මතුවේ. මෙම තරඟාවලියේද එය නැවතත් දක්නට ලැබුණේ, අර්ධ අවසන් පූර්ව තරඟයේදී එංගලන්තය පරාජය කළ ආර්ජන්ටිනාවේ ක්‍රීඩකයන් “මල්විනාස් (ෆෝක්ලන්ඩ් දූපත්) අයිති ආර්ජන්ටිනාවටය” යනුවෙන් ස්පාඤ්ඤ භාෂාවෙන් ලියූ බැනරයක් ප්‍රදර්ශනය කිරීමෙන්ය.
කෙසේවෙතත්, පාපන්දු පිටියේ ප්‍රතිවාදීතාවන් බාහිර ලෝකයේ දේශපාලන සම්බන්ධතා වලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්ය. විටෙක දේශපාලන වශයෙන් මිත්‍ර රටවල් පවා පාපන්දු පිටියේදී දැඩි ප්‍රතිවාදීන් බවට පත්වේ. උදාහරණයක් ලෙස ජර්මනිය සහ එංගලන්තය, ජර්මනිය සහ නෙදර්ලන්තය වැනි කණ්ඩායම් අතර පවතින ඉපැරණි පාපන්දු එදිරිවාදිකම් ඔවුන් එකිනෙකා හමුවන සෑම අවස්ථාවකදීම යළි මතු වේ.
සත්කාරකයාට සත්කාර දැක්වූ FIFA
යුක්‍රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් රුසියාවේ සාමාජිකත්වය අත්හිටුවුවද, ඉරානයට ප්‍රහාර දියත් කරන ඇමරිකාවට ලෝක කුසලානයේ සත්කාරකත්වය දැරීම සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් මතු නොවීය. මෙය පාපන්දු රසිකයන් අතර දැඩි විවේචනයට ලක්වූ කරුණක් විය. FIFA සභාපති ජියානි ඉන්ෆන්ටිනෝ සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පවතින සමීප මිත්‍රත්වය, ඉන් ඔබ්බට යමින් FIFA සාම සම්මානයක් පවා ට්‍රම්ප්ට පිරිනැමීමෙන් මෙම විවේචන තවත් උත්සන්න විය.
තරඟාවලිය ආරම්භ වීමටත් පෙර එය ආන්දෝලනයන් රැසකින් පිරී තිබුණි. අප්‍රිකාවේ හොඳම විනිසුරුවරයා ලෙස සම්මාන ලැබූ සෝමාලියානු විනිසුරු ඕමාර් ආර්ටාන්ට රාජ්‍යතාන්ත්‍රික වීසා බලපත්‍රයක් තිබියදීත් ඇමරිකාවට ඇතුළු වීමට අවසර නොලැබිණි. ඉරාන ක්‍රීඩකයන්ට ඇමරිකාවේ තරඟ කිරීමට ඉඩ දුන්නද, තරඟයක් අවසන් වී පැය 24ක් ඇතුළත රටින් පිටවන ලෙස නියෝග කෙරුණි. එබැවින් මෙක්සිකෝව ඔවුන්ට අනගි ආගන්තුක සත්කාර සහිතව නවාතැන් පහසුකම් ලබා දුන්නේය.
මෙවැනි පීඩාවන් මධ්‍යයේ වුවද ඉරාන කණ්ඩායම සියලුම තරඟ ජය පරාජයෙන් තොරව නිමා කර ගැනීමට සමත් විය. ඔවුන් පිළිමලුන් පිටු දැකීමේ (Knockout) වටයට සුදුසුකම් ලැබීමට ඉතා ආසන්න වූ නමුත් අනෙකුත් කණ්ඩායම් වඩා හොඳ ප්‍රතිඵල ලබා ගැනීම හේතුවෙන් එම අවස්ථාව ගිලිහී ගියේය.
ඇමරිකානු ආගන්තුක සත්කාර
ක්‍රීඩකයන්ට එරෙහි හිරිහැර එතැනින් නතර නොවීය. ඉරාකයේ අයිමෙන් හුසේන්ව ඇමරිකාවට ඇතුළු වීමට පෙර පැය 10ක් රඳවා තබා ගැණිනි. Knockout වටයට පවා සුදුසුකම් ලැබූ ඊජිප්තු ක්‍රීඩකයන්ට තම රසිකයන් සමඟ සෙල්ෆි ඡායාරූප ගැනීම පවා පොලිසිය විසින් අවහිර කෙරිණි.
මෙම අඩන්තේට්ටම් ක්‍රීඩකයන්ට පමණක් සීමා නොවීය. යුරෝපීය රසිකයන්ට ආගන්තුක සත්කාර ලැබුණද, අප්‍රිකානු රසිකයන්ට එසේ නොවීය. ආර්ජන්ටිනාව සහ ඊජිප්තුව අතර පැවති Knockout තරඟයකදී, ක්‍රීඩාංගණයට ඇතුළු වීමට පෙර පරීක්ෂා කරනු ලැබුවේ ඊජිප්තු රසිකයන්ව පමණක් වීම විශේෂ සිදුවීමකි.
“ලුමුම්බා වේයා” (“ලුමුම්බා ජීවත්වෙයි”) යන්න මෙම ලෝක කුසලානයේ සිත්ගන්නාසුළු අංගයක් විය. එය කොංගෝ ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ රසිකයකු වන මිශෙල් එම්බොලඩීන්ගා විසින් සිදුකළ උපහාරයකි. ලුමුම්බා වේයා යනු බෙල්ජියානු අධිරාජ්‍යයෙන් කොංගෝව නිදහස් කොට පසුව ඒකාධිපති මොබුටු සෙසේ සේකෝ විසින් ඝාතනය වූ පැට්‍රිස් ලුමුම්බාගේ චරිතය නිරූපණය කිරීමකි. මිශෙල්, තම කණ්ඩායම ක්‍රීඩා කරන සෑම තරඟයකම විනාඩි 90ම නිශ්චලව සිටිමින් ලුමුම්බාගේ ප්‍රසිද්ධ ප්‍රතිමාවක් අනුකරණය කරයි. මෙක්සිකෝවේ පැවති තරඟවලට ඔහු සහභාගී වූවත්, ඇමරිකාවට ඇතුළු වීමට ඔහුට අවසර නොලැබුණි.
විනිසුරු වියවුල්
මෙවැනි අසාධාරණකම්වලට අමතරව, විනිසුරුවන් ආර්ජන්ටිනාව, එංගලන්තය සහ පෘතුගාලය වැනි සුපිරි කණ්ඩායම්වලට වාසිදායක ලෙස කටයුතු කළ බවටද රසිකයන් චෝදනා නැගූහ. විශේෂයෙන්ම ආර්ජන්ටිනාව සම්බන්ධයෙන් මෙවැනි චෝදනා බහුල වූ අතර, FIFA ආයතනය දූෂිත බවට පවතින විවේචන මින් තවත් තීව්‍ර විය.
මින් ඉතාමත් අශෝභනම සිදුවීමක් වූයේ ඇමරිකානු ක්‍රීඩක ෆොලරින් බැලොගන්ට ලබා දුන් රතු කාඩ්පතක් අවලංගු කිරීම සඳහා ට්‍රම්ප් සෘජුව මැදිහත් වීමයි. බොස්නියා-හර්සගොවිනා කණ්ඩායමට එරෙහි knockout තරඟයේදී බැලොගන්ට රතු කාඩ් පතක් නිකුත් වූ අතර, FIFA නීතිරීති වලට අනුව ඉන් ඔහුට මීළඟ තරඟය වාරණය විය යුතුය. නමුත් ට්‍රම්ප් විසින්ම පිළිගත් පරිදි, තමන් විසින් ඉන්ෆන්ටිනෝට දුරකථනයෙන් කතා කොට එම තීරණය ගැන සලකා බලන ලෙස පවසා ඇත. පසුව විනිසුරු තීරණය වෙනස් කිරීමෙන් බැලොගන්ට මීළඟ තරඟයටද ක්‍රීඩා කිරීමට හැකි විය. FIFA විසින් මෙය සාධාරණීකරණය කළේ රතු කාඩ් තීරණයක් අවලංගු කිරීමට ඉඩ සලසන 27 වන වගන්තියක් එහිදී ක්‍රියාත්මක කළ බව පවසමිනි. නමුත්, කර්මය පල දීමක් මෙන් ඇමරිකාව මීළඟ තරඟයේදී බෙල්ජියමට ගෝල 4–1ක් ලෙස අන්ත පරාජය වී තරඟාවලියෙන් ඉවත් විය.
අවසන් මහා ගැටුම
මෙම සියලු නාටකවලින් පසු ස්පාඤ්ඤය සහ ආර්ජන්ටිනාව අවසන් මහා තරඟයට සම්ප්‍රාප්ත විය. තරඟාවලියට පෙර සිටම ඉරාන ප්‍රහාරයන්ට සහයෝගය නොදැක්වීම නිසා ස්පාඤ්ඤය සමග ට්‍රම්ප් සිටියේ දැඩි විරසකයකිනි. එමෙන්ම නව-ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති ප්‍රගුණ කරන ආර්ජන්ටිනාවේ ජනාධිපති හවියෙර් මිලේයිට ට්‍රම්ප් දක්වන ඇල්මද සලකා බලන විට, ඔහු සහයෝගය දුන්නේ කුමන කණ්ඩායමට යන්න නොරහසකි.
මිලේයිගේ ඊශ්‍රායල හිතවාදී ස්ථාවරය, ආර්ජන්ටිනාවේ පැවති විදේශ ප්‍රතිපත්තිවලට පටහැනි වුවද, එය ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රශංසාවට ලක් වී ඇත. එම නිසා තමා ආර්ජන්ටිනා කණ්ඩායමට සහයෝගය දක්වන බව ඔහු ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළේය. මේ හේතුවෙන් ලොව පුරා ආදරයට පාත්‍ර පාපන්දු කණ්ඩායමක් වූ ආර්ජන්ටිනාවට බොහෝ රසිකයන්ගේ සහය අහිමි වූවාද විය හැක.
අවසානයේ තරඟයේ අවසන් විසිල් හඬත් සමඟ, ස්පාඤ්ඤය ලෝක පාපන්දු කිරුළ හිමි කරගත්තේය. පරාජිත ආර්ජන්ටිනාවේ ක්‍රීඩකයන් ස්පාඤ්ඤ ක්‍රීඩකයන් සමඟ ගැටුම් ඇති කරගත් අතර, එමඟින් ලෝක පාපන්දු රසිකයන් අතර ආර්ජන්ටිනාව කෙරෙහි තිබූ ප්‍රසාදයට තවත් හානි විය.
ලොව සුන්දරතම ක්‍රීඩාව
කෙසේවෙතත්, මෙම ලෝක කුසලානය සම්පූර්ණයෙන්ම දේශපාලනික අලකලංචි වලින් පමණක් කැළැල් වූ තරඟාවලියක් ලෙස හැඳින්වීම අසාධාරණය. බොහෝ පාපන්දු රසිකයන්ට අනුව මෙය ඉතා රසවත් හා තරඟකාරී තරඟාවලියක් විය. වෙනත් ඕනෑම ක්‍රීඩාවක් මෙන්ම, පාපන්දුද ආන්දෝලන, දූෂණ සහ දේශපාලනයෙන් තොර නොවේ. එසේ තිබියදීත් එය තවදුරටත් ලොව ජනප්‍රියතම හා සුන්දරතම ක්‍රීඩාව ලෙස සෑම රසිකයෙකුගේම හදවත් තුළ රඳා පවතිනු ඇත.






