ආනයන මත තමා පැනවූ අනෝන්‍ය තීරු බදු ක්‍රියාත්මක වීම ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකානු ජනාධිපතිවරයා තෙමසකට කල් දමා ඇත. බොහෝ රටවල ඉල්ලීම මත මෙසේ කළ බව ඔහු පවසන අතර අමෙරිකාවේ කොටස් වෙළඳපල කඩා වැටීම, ඇපකර මත වෙළඳපොළින් ණය ගැනීමේ දී රජයට අවාසි සහගත තත්ත්වයක් මතුවීම හා සෑම ප්‍රාන්තයකම වූ විරෝධතා වැනි වර්ධනයන් මෙසේ කිරීමට හේතු වූ බව විචාරකයෝ පවසති. තෙමසක කාලයකින් පසු මතුවිය හැකි තත්ත්වය තවමත් අවිනිශ්චිතය.
නවසීලන්තය

ඇමෙරිකාවට යැවෙන නවසීලන්ත භාණ්ඩ 10% ක මූලික තීරු බදද්දකට හසුවේ. අග්‍රාමාත්‍ය ක්‍රිස්ට්‍රෝපර් ලක්ස්ටන් පැවසුවේ අනෙක් රටවලට සාපේක්ෂකව නවසීලන්ත තත්ත්වය යහපත් නමුත් වඩාත් වැදගත් වන්නේ ලෝක ආර්ථිකයට අත්වන ඉරණම ගැන සැලකිලිමත් වියයුතු වීම බවය. ‘තීරු බදු නිසි ක්‍රියා මාර්ගය නොවේ,’ අග්‍රාමාත්‍ය ලක්ස්ටන් පවසයි.
චීන ප්‍රතිචාරය
දැනටචීන භාණ්ඩ මත අමෙරිකානු තීරු බදු 145% කි. අමෙරිකන් භාණ්ඩ මත 125% ක තීරු බදු අයකරන චීනය ඇතැම් අමෙරිකානු භාණ්ඩ ආනයනය, හොලිවුඩ් චිත්‍රපට පෙන්වීම, අමෙරිකාවට අත්‍යවශ්‍යම අමුද්‍රව්‍ය හා ඛණිජ ද්‍රව්‍ය යැවීම නතර කළේය. අමෙරිකානු සමාගම් කිහිපයක් අසාදු ලේඛන ගත කළේය. චීනය සතු ඩොලර් බිලියන 760 ක චීන ඇපකර විකුණන බවට ද පුවත් පළවේ. එසේ වුවහොත් අමෙරිකානු ඩොලරය අධිකව පහත වැටෙනු ඇත. අමෙරිකාවට විරුද්ධව ලෝක වෙළඳ සංවිධානයට පැමිණිලි කළ චීනය, ‘ආකල්ප වෙනස් කර පැමිණෙන සාකච්ඡාවකට විවෘත බවත්,’ පවසයි.
මේ අතරම චීනය තම වෙළඳපල සකස්කර ගනිමින් සිටියි. වියට්නාමය, කාම්බෝජය, බංග්ලාදේශය, නේපාලය හා මාලදිවයින මෙන්ම ශ්‍රී ලංකාව ද චීන ණය, ආයෝජන හා වාණිජ්‍යය අතින් මිත්‍ර රටවල්ය. තීරු බදු ආරවුලට මුහුණ දීමට චීනය යුරෝපා සංගමයට හා ඉන්දියාවට ද ආරාධනය කර ඇත.
චීනය හා ඉන්දියාව.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඊට ධනාත්මක අදහස් පළ කර ඇත. මෙම පෙළගැස්ම ගැන ‘දශක ගණනක් රාජ්‍යතාන්ත්‍රික භාවයකට කළ නොහැකි වූ දෙයක් ට්‍රම්ප් ගේ තීරුබදුවලින් කර ඇතැයි,’ මාධ්‍යවල පලවීය. ‘අමෙරිකාව විසින් චීනයට විරුද්ධව මෙහෙයවනු ලබන්නට වඩා ඉන්දියාව විශාල වැඩිය,’ යි අමෙරිකානු ආර්ථික විද්‍යාඥයෙකු වන ජෙෆ්රි සැච්ස් ඉන්දියාව ගැන පැවසීය. ‘විරෝධතා තිබුණ ද ලෝක ජනගහණයෙන් 40%ක් වන ඉන්දියාවට හා චීනයට වඩාත් යහපත් ලෝකයක් වෙනුවෙන් එකට වැඩ කළ හැක,’ යි ඔහු පවසයි. ‘අප ඇත්තුන් හා මකරුන් එකට නැටවිය යුතුය,’ යි චීන විදේශ අමාත්‍ය වැන්ග් යී පැවසුවේ මේ කාරණය ය.
සාකච්ඡා.
අවිනිශ්චිතතා මැද දැනට පෙනී යන්නේ අමෙරිකාව තමා ඇති කළ වියවුලෙන් ඉවත් වීමට මංසොයන බවය. භාණ්ඩාගාර ලේකම් ලෙස නම් වී සිටින ස්කොට් බෙසන්ට් ‘අමෙරිකාව සමග විශාල වෙළඳ පරතරයක් ඇති රටවල් ඉක්මනින් සාකච්ඡා මේසයට එනු ඇතැයි,’ පැවසීය. ‘යහපත් යෝජනා සමග සාකච්ඡාවට පැමිණෙතොත් අපට හොද එකඟතාවයකට පත්විය හැකියැයි ,’ ඔහු කීවේය. ‘චීනය සාකච්ඡාවට එන්නේ නම් ජනාධිපති සිතිය නොහැකි තරම් සතුටු වනු ඇතැයි,’ ධවල මන්දිර ප්‍රවෘත්ති ලේකම් කැරොලින් ලීවිට් පැවසුවාය. ඒ අතර, මේ වෙළඳ ගැටුමට හේතුව චීනය නොව පැරණි පාලකයන්ගේ වැරදි බවට ට්‍රම්ප් චෝදනා කළේ ය.
‘කිසිවක් නැතත් ට්‍රම්ප් ලෝකය අවුල් කරන්නෙකියි,’ යි ඔහුගේ දෙවැනි ආගමනයත් සමගම බොහෝ දෙනා කීහ. දේශපාලන හා පුද්ගලික රුචි අරුචිකම මත ආර්ථික හා වාණිජමය කරුණුවලට බලපාන සාධකයක් මෙහෙයවීම මගින් අමෙරිකානු ආර්ථිකයටම ට්‍රිලියන ගණනක හානියක් කරමින් ට්‍රම්ප් මෙය දැනට ඉටු කර ඇත. ‘මෙය ලෝකය අවුල් කරන්නාගේ නොසැලකිලිමත් බව පිළිබද අත්හදා බැලීමකි,’ යි නිව්යෝක් ටයිම්ස් ලිපියක පළ වීය.
ශ්‍රී ලංකාව.

තවමත් සිංහල දමිළ අලුත් අවුරුදු උත්සව මානසිකත්වයක සිටින ශ්‍රී ලංකාවට ද මෙම ගැටළුවලට මුහුණ දීමට සිදුව ඇත. අමෙරිකාවේ මුළු ආනයනයෙන් ශ්‍රී ලංකාව සපයන්නේ 1% ට අඩු ප්‍රතිශතයකි. එහෙත් ඒ ප්‍රමාණය ශ්‍රී ලංකා අපනයෙන් 23% කි. රටෙහි ඇඟලුම් නිෂ්පාදන අපනයනයෙන් 65%කි. මෙසේ ඇමෙරිකාවට අලෙවි වන භාණ්ඩ මත පැනවුණ 44%ක තීරුබදු සංශෝධනය වීම රටේ ආර්ථික-පැවැත්මට අත්‍යවශ්‍යය.
ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුව මූලිකත්වයෙන් ඇති කරගත් ආර්ථික ඉලක්ක කරා ළඟා වීමට ඇත. උපලේඛනය කළ දේශීය විදේශීය ණය වාරික ගෙවිය යුතුය. එමෙන්ම ඇඟලුම් නිෂ්පාදන අංශයේ සේවය කරන 350,000 ආසන්න සේවක පිරිස හා එම නිෂ්පාදන ආශ්‍රයෙන් වක්‍රව සේවා නියුක්ත දසලක්ෂයකගේ පමණ ආදායම් තත්ත්වයන් අවිනිශ්චිතවනු ඇත.

මෙසේ ට්‍රම්ප්ගේ තීරුබදු සුනාමියෙන් පසු ආසියා හා දකුණු ආසියා කලාපීය රටවල් සමග එක් වන හා මිතුරු වන චීනයේ අලුත් උපායමාර්ගික පෙලගැස්මක් සිදුවෙමින් පවතී. ලංකාවේ විශාල ආයෝජනවලට සහාය වී තමා ලබා දුන් ණය උපලේඛනය කිරීමටද එකඟ වුණ චීනය සමග මිත්‍රශීලී රටක් ලෙස ඉදිරියටත් සිටීමට ශ්‍රී ලංකාවට සිදුවේ. දැන් කලාපීය බලවතා වන ඉන්දියාව සමග වඩාත් සුහදව කටයුතු කිරීමේ අවශ්‍යතායත් මතුව ඇති අතර මෑතකදී අත්සන් කළ අවබෝධතා ගිවිසුම් මගින් මේ බැඳීම ලේඛනගත කෙරුණි. ට්‍රම්ප්ගේ තිරුබදුවලට මුහුණ දීමට චීනය හා ඉන්දියාව එක් වුවහොත් ශ්‍රී ලංකාවේ ඉන්දු-චීන සම්බන්ධතාවය පහසු වනු ඇත. ඒ මිත්‍රශීලිත්වය මෙවරද සාක්ෂාත් නොවුණහොත් එකිනෙකට ප්‍රතිවිරුද්ධ අරමුණු හා උපායමාර්ග ඇති පසමිතුරන් දෙදෙනෙකු හා සුහදව කටයුතු කිරීමේ අසීරු අත්දැකීමකට ශ්‍රී ලංකාව මුහුණ පානු ඇත.

මෙවැනි අවිනිශ්චිත හා ව්‍යාකූල අවස්ථාවක මෑතකදී පැවැත්වුණ සර්වපාක්ෂික සමුළුවට සහභාගි වී විපක්ෂය දැක්වූ දායකත්වය පැසසිය යුතුය.’ (අන්තර්ජාතික) වෙළඳාම වෙනුවෙන් බිත්ති නොව පාලම් සැදීමේ ප්‍රවේශය ගැන අපි එකඟ වුණෙමු,’ යි සමුළුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය්‍ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේ ය.
-ශ්‍රී ලංකන්ස්-






