හමාස්- ඊශ්‍රායෙල් ගැටුම ලෝක ආර්ථිකයට බලපාන තුන් ආකාරයක් ගැන අදහස් පහළ වී ඇත. ගාසා තීරයට පමණක් සීමා වූ යුද්ධය එකකි. එවැන්නක දී හමාස් සංවිධානය ඉරාන සහාය ලබා ගනිමින් ඊශ්‍රාලයට පහර දෙනු ඇත. ඊට දඬුවම් කිරීමක් ලෙස ඉරාන තෙල් සැපයුමට අමෙරිකානු සම්බාධක තව දුරටත් වර්ධනය කළහොත් සවුදි අරාබිය හා එක්සත් එමීර් රාජ්‍ය ඒ අඩුව පුරවනු ඇත. භූමියේ විනාශ වන මිනිස් ජීවිත හා භෞතික සම්පත් මැද උග්‍රවන මානුෂිකමය ගැටළු හැරුණු විට ලෝක ආර්ථිකයට වන බලපෑම දරුණු නොවේයැයි අදහස් කෙරේ.
දෙවැනි ආකාරය ඉරානය, වක්‍රව ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් හා සිරියන් සන්නද්ධ කාණ්ඩ මාර්ගයෙන් ඊශ්‍රායලයට පහර දීමය. තෙල් මිල මධ්‍යම මට්ටමකින් ඉහළ යා හැකි අතර කෝවිඩ් වසංගතයේ බලපෑමට හසු වූ බොහෝ රටවල් මහත් පරිශ්‍රමයකින් පාලනය කරගෙන ආ භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම වැනි ප්‍රශ්න නැවතත් තීව්‍ර වනු ඇත.
ඉරානය හා ඊශ්‍රායලය කෙලින්ම සටනට අවතීර්ණ විම තෙවැනි ආකාරයයි. සුන්නි-ෂීයා භේදය කවරක් වුව කලාපීය මුස්ලිම් රටවල් ඊශ්‍රායලය හා තවදුරටත් පසමිතුරු වනු ඇත. අමෙරිකාව හා එහි මිත්‍ර යුරෝපීය රටවල් ඊශ්‍රායලයටත් චීනය හා රුසියාව ඉරානයටත් සහාය දක්වනු ඇත. ටෙහෙරානය, සිරියාව, ඉරාකය, යේමනය හා බහරේන්වල සිටින තම යුදෙව් විරෝධී සමස්ථ ජාලයම ක්‍රියාත්මක කර ඊශ්‍රායලයට පහර දීමට පෙළඹෙනු ඇත. මෙය තම න්‍යෂ්ටික භාවිතය සාධාරණීකරණය කිරීමට ඉරානයට අවස්ථාවක් ද වනු ඇත. සවුදි අරාබිය හා එක්සත් එමීර් රාජ්‍යයේ තෙල් ප්‍රවාහන මාර්ග වසා දැමීමට ඉරානයට හැකියාව ඇත. ගල්ෆ් කලාපය ලෝක තෙල් සැපයුමෙන් පහෙන් එකකට දැනට දායක වන බැවින් කලාපයේ යුද පරිසරයක වර්ධනය තෙල් මිලට දැඩි බලපෑමක් එල්ල කරනු ඇත. තෙල් මිල ඉහළ යාමත් සමගම භාණ්ඩ හා සේවාවල මිල සීඝ්‍රව ඉහළ යනු ඇත. ලෝක ආර්ථිකය දැඩි පීඩනයකට ලක්වනු ඇත.
ආර්ථික ප්‍රතිඵල.
කවර මට්ටමකින් වුව ගැටුම පවතින කාලය අනුව අයහපත් ආර්ථික ප්‍රතිඵල ගොඩගැසෙනු ඇත. වසංගතයෙන් උරුම වූ ණයගැති භාවය, විදේශ සංචිත හිඟකම, භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම, විරැකියාව හා දේශපාලන අසමතුලිතතාවයන්ගෙන් ගොඩ ඒමට මහත් පරිශ්‍රමයක් ගන්නා දියුණුවෙමින් පවතින රටවල් නැවත ගැටළු රාශිකයට ඇදවැටෙනු ඇත.
වඩාත් අයහපත් ප්‍රතිඵලය වන්නේ යුක්රේන – රුසියා ගැටුමත් සමගම බලවත් රටවල් ‘මිතුරන් සමග පමණක්’ ගනුදෙනු කිරීමේ ප්‍රතිපත්තිය දිගටම අනුගමනය කරන්නට යාමය. අමෙරිකාව හා මිත්‍ර පාක්ෂික යුරෝපය හා අනෙකුත් රටවල් එකකටත් ඉරානය, රුසියාව හා චීනය තවත් එකකටත් ලෙස දේශපාලන හා ආර්ථිකව දෙපිලකට කැඩී යාමය. ඉහත සදහන් ආර්ථික ගැටළුවලින් දැනටමත් පීඩනය වී ඇති දියුණු වෙමින් පවතින රටවලට තම අමුද්‍රව්‍ය විකිණිමට හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කර ගැනීම වැනි දේ අසීරු වනු ඇත.
නවසීලන්තය.
නවසීලන්තය වුව ඊශ්‍රායෙල්-හමාස් යුද වාතාවරණයක දී ඉහතකී ආර්ථීක පීඩනයන්ගෙන් නිදහස් නොවේ. ‘රටෙහි 2024 දළ ජාතික නිෂ්පාදන වර්ධනය 1.2% කට ඇස්තමේන්තු කර ඇත. අඩු රැකියා වර්ධනය හා ඉහළ පොලී අනුපාතය නිසා පාරිභෝජන වියදම දුර්වල වී ඇත. ඉහළ පොලී අනුපාතය හා අලෙවි අවිනිශ්චිතතාවය දේපල කර්මාන්තයේ ආයෝජන අධෛර්යමත් කර ඇත. ආර්ථිකයේ අඩු ක්‍රියාකාරිත්වය නිසා විරැකියාව වැඩි වීමකට ඉඩකඩ ඇත. මිල ඉහළ යාම මහ බැංකුවේ ඉලක්ක සංඛ්‍යාවලට වඩා ඉහළය. ඉහළ යන වැටුප් නිසා සීමාකාරි මූල්‍ය ප්‍රතිපත්තීන් ගෙන යා යුතුව ඇත. රාජ්‍ය ණය අධිකව ඉහළ නැග ඇත.’(OECD. Vol1 2023). එමෙන්ම, ‘සියල්ල අවුල් ජාලයකැයි, වරක් නව අගමැති ක්‍රිස්ටෝපර් ලක්සන් අද නවසීලන්ත ආර්ථිකය ගැන පැවසීය. කෙසේ වෙතත් ඔහු 2027 දී ඩොලර් බිලියන 2.1 ක අතිරික්ත අයවැය ඉලක්කයක් කරා යා යුතුව ඇත. ආර්ථික විද්‍යාඥ ජේ.එම්.කේන්ස්ගේ වචන අනුව ගතහොත් නවසීලන්තය වසංගත හා යුක්රේන යුද්ධය වැනි අනපේක්ෂිත ගැටළුවලට මුහුණ දී තාවකාලිකව ලෙඩ වුණ ශක්තිමත් නිරෝගී වූ පුද්ගලයෙකි. එහෙත් ශ්‍රී ලංකාව සියලුම අපල උපද්‍රවවලට නිතරම ගොදුරු වන සදාකාලික රෝගියෙකි.
ශ්‍රී ලංකාව.
වසංගතයෙන් පසු අති දුෂ්කර කාලයක් ගත කළ ශ්‍රී ලංකාව, අපගේ පෙර කලාපවල සදහන් කළ පරිදි මිල ඉහළ යාම් (උද්ධමනය) සාර්ථකව අඩුකර ඇත. සංචාරකයින් ආකර්ෂණය කර ගනිමින් සිටී. ආර්ථිකය පාලනය කළ හැකි මාර්ගයකයට යොමු වී ඇතැයි පවසන ලෝක බැංකුව ණය ප්‍රතිව්‍යුහකරණය , බදු ක්‍රමය හා රාජ්‍ය ව්‍යවසායකයන්හි ව්‍යුහාත්මක වෙනස්කම්වල අවශ්‍යතාවය අවධාරණය කරයි. (WB/SL Dev. Update 2023) ව්‍යාපාර හා පුද්ගල අයබදු අය කිරීමේ විධිමත් පිළිවෙලක් නොමැති බැවින් හිඟ වන රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට රජයට භාණ්ඩ හා සේවාවලින් බදු ගැනිමට සිදුවේ. ඒ මගින් වන භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම වැඩි ජන කොටසක් පිඩනයට ලක් කරයි.
දෙවැනිව, ‘රජයේ කාර්යය පසුතල නිර්මාණය කිරීම මිස ව්‍යාපාර කිරිම නොවේ,’ යන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතනවල නියමයන් වේ. මේ අනුව ව්‍යවසායය, කර්මාන්ත, බැංකු හා අධ්‍යාපනය සදහා පුද්ගලික ආයෝජන දිරිමත් කර රජය ඉවත් විය යුතුව ඇත. සියලුම දේ දේශපාලන කෝණයකින් බලන සමාජයක මෙය වඩාත් දුෂ්කර කර වන්නේ හමාස් ඊශ්‍රායෙල් යුද්ධය වැනි අනපේක්ෂිත පිඩනයන් මගින් රෝගී ආර්ථිකය තව දුරටත් අයහපත් වන විට සියල්ලන්ම දේශපාලන වැරදි නිසා වන්නේ යැයි නිර්වචනය වීම නිසාය.