හරින්ද්‍රනාත් අරන්දරගේ ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්රයේ දශක හතරකට අධික කාලයක් පුරා කටයුතු කළ ලේඛකයෙකු, ගීත රචකයෙකු, මාධ්‍යවේදියෙකු, සංස්කාරකයෙකු, මුද්‍රණ ශිල්පියෙකු සහ පොත් කවර නිර්මාණකරුවෙකි. වර්තමානයේ නවසීලන්තයේ වෙසෙන ඔහු, එරට සිංහල ලේඛකයන් හා කලාකරුවන් එක් කරමින් සාහිත්‍ය හා කලා කටයුතු ප්‍රවර්ධනය කිරීමේ මෙහෙවරකද නිරත වෙයි.
ඔබ මේ සාහිත්‍යකරණයට පිවිසෙන්නේ මීට පංසාලිස් වසකට පමණ ඉහත1979 වගේ අවුරුද්දක. මේ සාහිත්‍ය ගමන ආරම්භ කරේ ඔබ ශ්‍රී ලංකාවේ අහස යට දැන් ඔබ ඉන්නේ නවසීලන්තයේ අහස යට. ඒ ගමන ගැන මුලින්ම මතක් කළොත් කොහොමද?
මගේ සාහිත්‍ය ගමන ආරම්භ වෙන්නේ 1979 ජගත් ළමා වර්ෂයේදී. ඒ කාලේ මම තවම පාසල් ශිෂ්‍යයෙක්. එම අවුරුද්දේ අතින්ම පිටු අසූවක පමණ පොතක් ලිව්වා. කෙටි කතා, කවි සහ විවිධ නිර්මාණ ඇතුළත් ඒ පොත මුලින්ම “අලුත් ලොවට” ලෙස නම් කළත් පසුව “නව ලොවට” බවට පත් වුණා. අදටත් ඒ අත්පිටපත මගේ ළඟ ආරක්ෂිතව තියෙනවා.
මම ලියන දේවල් නිතරම කෝන්ගස්දෙනියේ ආනන්ද හාමුදුරුවන්ට පෙන්වන්න පුරුදු වෙලා හිටියා. හාමුදුරුවන්ගේ දිරිගැන්වීම නිසාම පොත මුද්‍රණය කරන්න අදහසක් ඇති වුණා. “අලුත් ලොවට” වෙනුවට “නව ලොවට” කියලා නම වෙනස් කළෙත්, පොතේ කවරය ඇඳලා දුන්නෙත් හාමුදුරුවන්මයි.
ඒ කාලයේ ජයන්ති වීරසේකර මාවතේ පිහිටි මුද්‍රණාලයකට යන්න එන්න අවස්ථාව ලැබුණා. එතැන ජනදින සහ ජනසතිය පුවත්පත් මුද්‍රණය කළ අතර, මහින්ද අබේසුන්දර සහ කරුණාරත්න අමරසිංහ වැනි ප්‍රවීණ මාධ්‍යවේදීන්ගේ වැඩ කටයුතු සමීපව දැකගන්නත් මට හැකි වුණා. මුදල් නොතිබුණත් දැන්වීම් එකතු කරගෙන ළමා වර්ෂය වෙනුවෙන් “නව ලොවට” මුද්‍රණය කළා.
පොත එළිදැක්වූ පසු එය අරගෙන මම ලේක් හවුස් ආයතනයට ගියා. සරසවිය පුවත්පතේ ධර්මදාස බොතේජු මහතාගේ මග පෙන්වීම අනුව පසුව සෝමවීර සේනානායක මහත්මයාට පොත භාර දුන්නා. ඒ වගේම මිහිර පුවත්පතටත් පිටපත් දුන්නා.
ඉන් පස්සේ මම දිගටම මිහිර පුවත්පතට ලිපි, කවි සහ ළමා නිර්මාණ ලියන්න පටන් ගත්තා. නිව්ටන් පින්නදූව මහතා ඇතුළු පිරිස සමඟ වැඩ කරමින් පත්තර පිටු සැලසුම් කිරීමේ සිට ප්‍රකාශන කටයුතු දක්වා බොහෝ දේ ඉගෙනගන්න අවස්ථාව ලැබුණා. විශ්වවිද්‍යාලයට යන තුරුම නිදහස් ලේඛකයෙකු ලෙස ලියමින් සිටියා.
ඇත්තටම මගේ ලේඛන කලාවත්, පුවත්පත් කලාවත්, ප්‍රකාශන කටයුතු පිළිබඳ දැනුමත් හැඩ ගැසුණේ ලේක් හවුස් පරිසරය සහ ඒ අවධියේ ඇසුරු කළ ප්රවීණයන්ගේ මඟපෙන්වීම තුළයි.
ඉතින් ඔබ මේ 70 දශකයේ දරුවෙක් ඉන්පසු 80 දශක යෞවනයෙක් බවට පත්වෙනවා. එතනදි ඔබ ලියනවා යෞවන සම්මානයක් දිනාගන්න කතාවක් 1984දී.
“හිතුවක්කාරයා” නවකතාවේ ආරම්භය ඇත්තටම ආනන්ද විද්‍යාලයේ ඉගෙනගත් කාලය දක්වා දිව යන එකක්. “නව ලොවට” පොතෙන් පස්සේ අපේ පන්තියේ ළමයින්ගේ කවි, කෙටි කතා සහ වෙනත් නිර්මාණ එකතු කරලා සඟරා හැදුවා. ඒ වගේ නිර්මාණාත්මක පරිසරයක් තුළ තමයි ලිවීමේ පුරුද්ද සහ ආසාව තවදුරටත් ගොඩනැගුණේ.
විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණාට පස්සෙත් මම ලේක් හවුස් ආයතනය සමඟ සම්බන්ධකම් පවත්වාගෙන ගියා. ඒ අතරතුර 1983 පමණ වන විට “හිතුවක්කාරයා” ලියන්න පටන් ගත්තා. නවකතාව සම්පූර්ණ කළ පසු එය යෞවන සාහිත්‍ය සම්මාන තරගයට ඉදිරිපත් කළා.
ඒ අවුරුද්දේ එම කෘතියට හොඳම යෞවන නවකතාව සඳහා සම්මානය හිමි වුණා. ජගත් ළමා වර්ෂයේදී “නව ලොවට” සමඟ ආරම්භ වූ මගේ ලේඛන ගමන, වසර කිහිපයකට පසුව “හිතුවක්කාරයා” නවකතාව හරහා යෞවන සාහිත්‍ය සම්මානයකින් පිළිගැනීමක් ලැබෙන තැනට පැමිණියා. ඒ ජයග්‍රහණය මගේ ලේඛන ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් බවට පත් වුණා.
සුනාමි ළමා පොත් ව්‍යාපෘතියේ ජයග්රහණයෙන් පසුව, ශ්‍රී ලංකාවේ දරුවන් වෙනුවෙන් ලියූ ඔබ නවසීලන්තයේ සිට අවතේරවා වැනි කෘති බිහි කරනවා. ළමා සාහිත්‍යයේ මේ ගමන සහ එම කෘති පිළිබඳව අපට පැහැදිලි කළොත්?
“අවතේරෝවා” පොත ලිව්වේම නවසීලන්තය ගැන ලංකාවේ ළමයින්ට කියන්නයි. “අවතේරෝවා” කියන නමත් තෝරාගත්තේ ඒක ලංකාවේ දරුවන්ට එතරම් හුරුපුරුදු නමක් නොවන නිසා. නවසීලන්තය කියන්නේ මොන වගේ රටක්ද, එහි ඉතිහාසය සහ සුවිශේෂතා මොනවාද කියන කාරණා ළමා පාඨකයන්ට හඳුන්වා දීම තමයි එහි අරමුණ වුණේ.
ඒ වනවිටත් මම ළමා සාහිත්‍ය කෘති රැසක් ලියා තිබුණා. 2050 නමින් ලියූ ළමා කෘතිය ජාතික පුස්තකාල මණ්ඩලයේ සුනාමි ළමා පොත් ව්‍යාපෘතිය යටතේ මුද්‍රණය සඳහා තෝරාගත් කෘති පහ අතරට ඇතුළත් වුණා. ඊට අමතරව 2000 දශකයේදී ළමා පාඨකයන් වෙනුවෙන් තවත් කෘති කිහිපයක් ලියූ අතර, මිහිර පුවත්පතේ පළ වූ “ඉස්සර දවසක විස්කම් පෑවෝ” ලිපි මාලාවේ කතා එකතු කර පසුව ළමා පොත් මාලාවක් ලෙසත් ප්‍රකාශයට පත් කළා.
ඒ කාලය තුළ ලියූ 2050, හිමගිර තරණය වැනි ළමා කෘති පාසල් ළමා පුස්තකාල සඳහා අනුමත වූ පොත් අතරට ඇතුළත් වුණා. ළමා සාහිත්‍ය කෘති ලියන අතරම මම ළමා සහ අධ්‍යාපනික ප්‍රකාශන ආයතනයක්ද පවත්වාගෙන ගියා. නිවසේ කුඩා මුද්‍රණාලයක් තිබුණා, බොරැල්ලේ කාර්යාලයක සිට පුවත්පත් සහ ප්‍රකාශන කටයුතු සිදු කළා.
මගේ පළමු රැකියාව වූයේ සනස පුවත්පතේ කතුවරයා ලෙස කටයුතු කිරීමයි. සම්පත් සමුපකාර ව්‍යාපාරය වෙනුවෙන් ආරම්භ කළ එම පුවත්පතට “සනස” යන නම යෝජනා කළේත්, එහි ශීර්ෂ නිර්මාණය සඳහා දායක වුණේත් මමයි. ඒක ඇත්තටම ඇඳලා තිබන්නේ මගේ මිත්‍ර ඒ කාලේ ලංකාදීප පුවත්පතේ වැඩ කළ ඉන්ද්‍රනාථ තේනුවර.
ඔබ ලේඛකයෙකු පමණක් නොව රාජ්‍ය සම්මානලාභී පොත් කවර නිර්මාණකරුවෙකුත්. කේ. ජයතිලක, මහාචාර්ය විමල් ජී. බලගල්ල, ඒ. වී. සුරවීර සහ සෙනෙවිපිටිය වැනි ප්රවීණයන්ගේ කෘති සඳහා කවර නිර්මාණය කරමින් ලේඛකයාගේ අදහස දෘශ්‍යමය රූපයකට පරිවර්තනය කළා.
පොතක් තෝරාගැනීමේදී කවරය ඉතා වැදගත් සාධකයක්. ඒ අභියෝගය ඔබ ජයගත්තේ කොහොමද?
ඇත්තටම පොත් ලිවීම, මුද්‍රණය සහ පොත් කවර නිර්මාණය කියන දේවල් තුනම මගේ ජීවිතයේ එකට ගමන් කළ දේවල්. මම මුද්‍රණ කලාව ඉගෙනගත්තේ අච්චු අකුරු යුගයේ. අකුරු එකින් එක අමුණලා පිටු සැකසූ ඒ කාලයේදී අකුරු කේස්වල පිහිටීම පවා මට කටපාඩම් වෙලා තිබුණා.
පසුව මුද්‍රණ ශිල්පය ඩෙස්ක්ටොප් පබ්ලිෂින් යුගයට මාරු වුණා. පරිගණක සැලසුම්, පිටු නිර්මාණය සහ ග්‍රැෆික් කලාව සමඟ මමත් දෘශ්‍ය නිර්මාණකරණයට යොමු වුණා. මම නිර්මාණය කළ පොත් කවර බොහොමයක් ග්‍රැෆික් සංකල්ප මත පදනම් වූ ඒවා.
එවැනි කවර නිර්මාණ අවස්ථා ඔබට ලැබුණේ කොහොමද?
පුවත්පත් කලාවෙන් ටිකක් ඈත් වෙලා ටයිප්සෙටින් සහ සැලසුම් කටයුතු කරගෙන යන කාලයේදී තමයි ඒ අවස්ථා වැඩිපුර ලැබුණේ. ඒ සඳහා විශාල සහයෝගයක් ලැබුණේ මහාචාර්ය රත්නසිරි අරංගල මහතාගෙන්. ඔහු හරහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ ලේඛකයන් රැසක් හඳුනාගන්න ලැබුණා. ඒ නිසා පොත්, සඟරා සහ විවිධ ප්‍රකාශන සඳහා කවර නිර්මාණය කිරීමට අවස්ථාව ලැබුණා.
මුද්‍රණ ශිල්පියෙකු සහ ප්‍රකාශකයෙකු ලෙසත් ඔබගේ දායකත්වය සැලකිය යුතුයි නේද?
ඔව්. සුනිල් මාධව ප්‍රේමතිලකගේ “හඬනු මැන නිදහස” කෘතියේ පළමු මුද්‍රණය කළේ මගේ මුද්‍රණාලයෙන්. ඒ වගේම මහාචාර්ය ආරියරත්න ඇතුගලගේ සමීප රූප කෘතියත් මගේ මුද්‍රණාලයෙන් ප්‍රකාශයට පත් වුණා. ඒ කාලයේ ලේඛකයන් විශාල පිරිසකගේ කෘති මුද්‍රණය කිරීමට සහ ප්රකාශනයට එක්වීමට මට අවස්ථාව ලැබුණා.
ඉන් පසුව 2006 දී ඔබ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවට සම්බන්ධ වෙනවා.
ඔව්. ඒ වනවිට මම පුවත්පත් කලාව, මුද්‍රණය, වෙබ් නිර්මාණ, ග්‍රැෆික් කලාව සහ ඡායාරූපකරණය යන ක්ෂේත්රවල අත්දැකීම් රැසක් ලබාගෙන තිබුණා. ඒ නිසා 2006 වසරේදී රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ සිංහල සංස්කාරකවරයා ලෙස කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. අනුෂ පැල්පිට මහතාගේත්, මහාචාර්ය රත්නසිරි අරංගල මහතාගේත් සහයෝගය එහිදී මට විශාල ශක්තියක් වුණා.
ඔබ ගීත රචකයෙකු, නාට්‍ය රචකයෙකු සහ සංස්කාරකයෙකු ලෙසත් කටයුතු කළා. ඒ ගමන ආරම්භ වුණේ කොහොමද?
මගේ මුල් කාලීන ගීත එකතු කර පහන් තරුව පෙරුම්පුරා නමින් ගීත සංග්‍රහයක් පළ කළා. අනූව දශකයේ මුල් භාගයේදී රංජිත් හේවා විතාන ගමගේ සහ පසුව කැනඩාවේ පදිංචි චන්දන ලියනගේ වැනි මිතුරන් සමඟ, විශාරද ලීලානන්ද රත්නායක සර්ගේ ගෝලයන් ලෙස කල්‍යාණි සංගීත පරිෂද් කණ්ඩායම එක්කරගෙන මාරුතය ගීතය නමින් ප්රසංගයක්ද කළා.
ඊට කලින් විශ්වවිද්‍යාල කාලයේදී දණ්ඩන කඳුර නමින් ඒකාංග නාට්‍යයක් ලියලා තිබුණා. එහි විනිශ්චය මණ්ඩලයේ සුගතපාල ද සිල්වා, සුනන්ද මහේන්ද්‍ර සහ කරුණාරත්න අමරසිංහ වැනි ප්‍රවීණයන් හිටියා. එම තරගයේදී අශෝක හඳගමගේ නාට්‍යයත් සමඟ මගේ නාට්‍යයට හොඳම රචනය සඳහා සම්මානය හිමි වුණා.
විශ්වවිද්‍යාලයේ පැවැති කලා උළෙලකදී මම ලියූ ගීත කිහිපයක් තෝරා ගැනීමත් සමඟ ගීත රචනය පිළිබඳ මට විශ්වාසයක් ඇති වුණා.
ලංකාවේ විවිධ සාහිත්‍ය හා කලා කටයුතු කළ ඔබ පසුව නවසීලන්තයට පැමිණියා. එහිදීත් ඔබ නතර වුණේ නැහැ.
ඔව්. නවසීලන්තයට ආවට පස්සේ මගේ කවි, ගීත සහ ලියපු නිර්මාණ ගොඩක් තවමත් මා ළඟ තිබුණා. ඒ අතරින් විශේෂයෙන්ම කැලණිය විශ්වවිද්‍යාලයේ පැරණි මිතුරු ජාලය හරහා ලියන අය විශාල පිරිසක් හමුවුණා.
ඒ හරහා මුලින්ම සරසවි කවිසරණිය බිහි වුණා. ඊට පස්සේ ආනන්දය කවිසරණිය සහ නවසීලන්තයේ අහසයට කවිසරණිය කෘති එළිදැක්වුණා. පළමු වෙළුමට ලැබුණු ප්‍රතිචාරය නිසා ඉතා කෙටි කාලයකින් දෙවැනි වෙළුමත් කරන්න හැකි වුණා. ඕක්ලන්ඩ්, වෙලින්ටන්, ක්‍රයිස්ට්චර්ච් ඇතුළු නගරවල විසිරී සිටින ලේඛකයන් සහ කවියන් ඒ සඳහා එක් වුණා.
දෙවැනි වෙළුමට ලැබුණු සහභාගීත්වය පළමු වෙළුමට වඩා දෙගුණයකටත් වැඩියි. ඒ නිසා තුන්වැනි වෙළුමත් අනිවාර්යයෙන්ම එළිදැක්වීමට සැලසුම් කරලා තියෙනවා.
ඒ එක්කම නවසීලන්ත සිංහල සාහිත්‍ය හා කලා සංසදය පිහිටුවන්නත් අපි කටයුතු කළා. අරමුණ වන්නේ කවි, කෙටි කතා, ගීත, දෘශ්‍ය කලාව සහ වෙනත් නිර්මාණ ක්ෂේත්රවල නිරත සියලු දෙනාට පොදු වේදිකාවක් නිර්මාණය කිරීමයි. ඒ වගේම නවසීලන්තයේ අහසයට කෙටි කතා සංග්‍රහයක් එළිදැක්වීමටත් මේ වනවිට සැලසුම් කරලා තියෙනවා.
අවසාන වශයෙන්, නිර්මාණකරුවෙක් වෙන්න කැමති නව පරපුරට ඔබ දෙන පණිවිඩය මොකක්ද?
ඇත්තටම හොඳ නිර්මාණකරුවෙක් වෙන්න නම් මුලින්ම කියවන්න ඕනේ. අද මට හමුවෙන හොඳ ලේඛකයින් අතර වෛද්‍යවරු, ඉංජිනේරුවරු සහ වෙනත් ක්ෂේත්රවල අය ඉන්නවා. ඔවුන් කලාව හදාරපු අය නොවුණත් හොඳට ලියනවා. ඒකට හේතුව කියවීම සහ අඛණ්ඩ අභ්‍යාසය.
නිර්මාණකරුවෙක් නිතරම ලියන්න ඕනේ. මම අදත් ගීතයක් ලිව්වොත් පසුව ඒක සංස්කරණය කරනවා, වෙනස් කරනවා. ඒ වගේම ජීවිතයේ අත්දැකීම් එකතු කරගන්න ඕනේ. රටේදී, විදේශයේදී, මිනිසුන් අතරින් ලබන අත්දැකීම් තමයි හොඳ නිර්මාණවලට පදනම වෙන්නේ.
ඒවට අමතරව තමන්ගේම ශෛලියක් ගොඩනගාගන්න ඕනේ. නිතර ලියමින්, කියවමින් සහ ජීවිතය නිරීක්ෂණය කරමින් ඉන්නකොට ඒ ශෛලිය ඉබේම ගොඩනැගෙනවා. මම අදටත් නිර්මාණකරණය නතර කරලා නැහැ. කඳවුරක සේවනය නවකතාවේ දෙවැනි කොටස ලියමින් ඉන්නවා. ඒ වගේම ගීත, කවි සහ වෙනත් කෘති රැසක් තවමත් සැලසුම් අතර තියෙනවා.
සෞම්‍යා තිසේරා – ඕක්ලන්ඩ්







