ගීතයේ කවියේ මාලිනිය වූ ඇය යමුනා මාලනී පෙරේරා ය. අපේ සිත් සන්තානයේ ආදරයෙන් ලැගුම් ගත් කවි, ගීත රාශියක් ඇගේ සුරතින් ලියැවී ඇත. කවියට ගීතයට පමණක් සීමා නොවී ග්‍රන්ථකරණයේ ද තම නම සනිටුහන් කර ඇති ඇය ශ්‍රී ලංකාවේ සිටින විශිෂ්ට සාහිත්‍යධාරණියකි.
කිවිඳියක් ගේය පද රචිකාවියක් වූ ඔබගේ ළමා කාලය ගැන දැනගන්න කැමතියි.
මම ඉපදුනේ දකුණු පළාතේ අගනුවර වන ගාල්ලේ. මම ඉගෙන ගත්තේ ගාල්ලේ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ බාලාංශයේ සිට අපොස උසස් පෙළ සමත් වන තුරු. මගේ තාත්තා එවකට දකුණු පළාතේ ප්‍රධාන රක්ෂණ සංවිධායකවරයා. ඒ වගේම ඔහු කීර්තිමත් සමාජ සේවකයකු ලෙස නම් දරා සිටියා. අම්මා ගෘහණියක් වගේම හොඳ යහපත් ආදරණීය බිරිඳක්, මවක්. දරු පස්දෙනෙකුගෙන් යුත් පවුලේ මම දෙවනියා. ළමා කාලය ඉතාම සුන්දරයි. අපේ ගමත් ඒ වගේම සුන්දර තැනක්. වෙල් යායවල් ලස්සන ගෙවතු වගේම සුන්දර වටපිටාවක්. අපේ ගෙදර පිහිටියේ කුඩා කඳු ගැටයක් උඩ.
ඔබගේ සෞන්දර්ය චාරිකාවට පවුලෙන් ලැබුණු උත්තේජනය කොහොමද?
ළමා කාලයේ සිටම මම පත පොත කියවීමට ඇබ්බැහි වුණා. එය මට තාත්තගෙන් ලැබුණු ආදර්ශයක් වෙන්න ඇති. විවේක වෙලාවල තාත්තා නිතරම පොත් කියෙව්වා. ඉංග්‍රීසි පොත් වගේම සිංහල පරිවර්තන පොත්. අත්තම්මාත් විවේක වෙලාවල නිතරම සද්ධර්මාලංකාරය වැනි බණ පොත් හඬ නගා කියවනවා මම දුටුවා.
මම ලිවීමට පෙළඹුණේ කුඩා කාලයේ පටන්මයි. ඒ මට යමක් නොලියා ඉන්න බැරි තරමේ ලොකු පිපාසාවක් ඇතිවීම උඩ. හිතට ගලාගෙන එන සිතුවිලි වගේ දේවල් කොළවල කුරුටු ගෑම පුරුද්දක් වුණා. මේ ගැන මම ලියපු ‘ඉත සිතින්ම’ නම් යොවුන් නවකතාවේ මම ලියා තිබෙනවා. ඒ පොත 2013 දී රාජ්‍ය සාහිත්‍ය සම්මාන උත්සවය වගේම ගොඩගේ සාහිත්‍ය සම්මාන උත්සවයේ දී නිර්දේශිත කෘතියක් වුණා. පාඨකයින් බොහොම ආදරයෙන් වැළඳ ගත් කතාවක්. ඒක දැනට පස්වැනි මුද්‍රණයත් නිකුත් වෙලා. නමුත් මගේ ඒ ලියන වැඩවලට නම් තාත්තගෙන් එච්චර අනුබලයක් ලැබුණේ නෑ. ඔහුගේ ලොකු බයක් තිබුණා මම කලාවට ගිහින් ඉගෙනීම කඩාකප්පල් කර ගනීවි කියලා (ඒක කාලේ තිබ්බ සම්මතයක්). කොහොම වුණත් මට පස්වෙනි ශ්‍රේණියේ ඉද්දිම ගුවන්විදුලියේ හඳමාමා වැඩසටහන ආසාවෙන් ශ්‍රවණය කළා. එවකට එය මෙහෙය වූයේ සුමනා ජයතිලක නැන්දාත් ලැම්බට් පෙම්මාවඩු මාමාත්ය.
මේ වැඩසටහනට කවියක් ලියන්න මට තදටම වුවමනා වුණා. පස්සෙ තාත්තට බොහෝම පින්සෙන්ඩු වෙලා කැමති කරවගෙන කවි පන්තියක් ලියලා එයට යැව්වා. පුදුමෙකට වගේ ඒ කවිය ඊළඟ සතියේම හඳමාමා වැඩසටහනේ ප්‍රචාරය වුණා. මට පුදුම සතුටක් ඇති වුණේ. ප්‍රථමවරට මගේ නම ගුවන් විදුලියේ ප්‍රචාරය වුණේ ඒ විදිහට. ඒ කවි පන්තියේ අග පදයට (මාතෘකාව ගොවියා) බොහොම හොඳ පැසසුමක් ලැබුණා. ඒක තමා ‘ගොවියා නැතොත් අපි ඔක්කොම බඩගින්නේ’ කියන පදය. තාත්තටත් සතුටුයි. ඇස්වලට කඳුළුත් ආවා. නමුත් තාත්තා කීවා ‘දැනට ඔය මදෑ. ඉගෙනගෙන ඕවා කරන්න’ කියලා. තාත්තා එක්ක මට තරහා හිතුනේ නැහැ. මොකද තාත්තා තමා මගේ ජීවිතේ මම දේවත්වයෙන් සලකන කෙනා. මම කලාවට යොමු වෙලා ඉගෙනීම කඩාකප්පල් කර ගනීවි කියන මතයක් ඔහුගේ තිබුණා. ඉතින් හඳමාමට විතරයි එදා කවියක් ලියවුණේ. නමුත් මම ඊට පස්සේ හිතට එන සිතුවිලි කවි වගේ ඒවා හොරෙන්ම පුංචි පොතක ලියලා පොත්වලට යටම තැනක හංගලා තිබ්බා.
ඔබ තුළ කවි, ගීත ලියන්න හැකියාවක් තියෙන බව දැනුනේ කොහොමද ?
පාසලේදී මට මුල්ම ඇගයීම ලැබුණේ පහේ පන්තියේ රත්නා ගුණසේකර ගුරුමෑණියන් ගෙන්. ඇය මගේ ලිවීමට සතුටු වෙලා ‘තෑග්ග’ නමින් ළමා පොතක් මට තෑගි කළා. එය මට බොහෝම ආශිර්වාදයක් වුණා. මට විවිධ දේවල් තෑගි ලැබුණත් තාත්තා හැරුණු කොට මට පොතක් තෑගි කළේ ඒ ගුරුවරිය. එය මට විශාල උනන්දුවක් ඇති කළේ, ඇය මගේ ලිවීම අගය කර එය තෑගි කළ නිසා.
ඊළඟට නවවැනි ශ්‍රේණියේ සිංහල ඉගැන් වූ මියුරියල් සමරසිංහ මිස් මගේ රචනාවලට පුදුම ප්‍රශංසාවක් කළා. ඇය මගේ රචනා පොත අරගෙන අනෙක් පන්තිවලටත් ගොස් කියෙව්වේ, ‘ළමයි රචනාවල් කියන්නේ මෙන්න මේවා’ කියන උදාන වාක්‍ය සමඟින්.
මම උසස් පෙළ සමත් වුණේ ජීව විද්‍යා අංශයෙන්. තාත්තාගේ උවමනාව තිබුණේ මාව වෛද්‍යවරියක් කරන්න. නමුත් උසස් පෙළ ලියලා ඉන්න කාලේ ආයෙ මට අවසර ලැබුණා ගුවන් විදුලියට ලියන්න. මලක මහිම, පසන් නිවස, ලාලන රේඛා, ශනිදා සාදය, කාන්තා හැඩ වගේ ගුවන් විදුලි වැඩසටහන්වලට මම දිගටම ලිව්වා. ඒ හැම දෙයක්ම ප්‍රචාරය වුණා පුදුම විදිහට. ඒ විතරක් නොවේ මට රසික, පාඨක ජාලාවකුත් ඉබේටම ඇති වුණා. මම ලියන කවි, කෙටිකතා, අදහස් ගැන ලියලා ගෙදරට ලියුම් ආවා. ඒ අතරේ බොහොම උගත් ප්‍රසිද්ධ අය කිහිප දෙනෙකුත් හිටියා. මාධ්‍යවේදී ධර්මසිරි ගමගේ, මනජ කලා රු සංවිධායක කේ.ජී.ජිනසේන ඇතුළු කිහිපදෙනෙක්ම මට ලිවීම පැත්තෙන් ඉදිරියටම යන්නට ආශිර්වාද කරමින් ලිපි එවා තිබුණා. මට ඒවා ගැන හරිම පුදුමයි. ඒ සියල්ල මට උත්තේජනයක් සැපයුවා. නමුත් තාත්තාත් අම්මාත් දෙන්නම ටිකක් කැළඹීමකින් හිටියේ මම ලේඛන කලාවට වුණත් සම්බන්ධ වෙනවට. කොහොමහරි මට අවශ්‍ය සාහිත්‍ය දැනුම ලබා ගන්න මට මහා පිපාසයක් තිබුණා. තාත්තව කැමති කරවගෙන පුස්තකාලය පරිශීලනය කළා. ගාල්ල කොටුවේ තියෙන ‘සාමාජිකයින්ට පමණයි’ පුස්තකාලයට මම ගියේ තාත්තා එක්කම. තාත්තා මාව එතනට ඇරලා කොටුවේ පිහිටි තාත්තගේ කාර්යාලයට යනවා. ඒ විදිහට පුස්තකාලේ පරිහරණය කිරීමට ලැබීම මට දැනුනේ ජීවිතේ ලොකු ජයග්‍රහණයක් විදිහට. ඊළඟට මහජන පුස්තකාලයෙනුත් පොත් ගෙදරට ගෙනවිත් කියෙව්වා. පුස්තකාලයක් කියන්නේ ඇත්තටම විශ්ව විද්‍යාලයක් වගේ තැනක්. ඒක මම අදටත් අදහන දෙයක්. දැනුමට ශුද්ධ භූමියක්.
මගේ නිර්මාණ ජීවිතයේ ප්‍රභව ලැබුණේ මා මුලින්ම කියු ධර්මසිරි ගමගේ මහතානන්ගේ ගුරු ඇසුර නිසා. එතුමා බිහිකළ ‘යොවුන් පහන් වැට’ නිර්මාණ ඒකකය තවත් අද දවසෙහි මුල් පෙළෙහිම සිටින නිර්මාණකරුවන් බිහි කරවන හොඳ තොතැන්නක් වුණා. ‘යොවුන් ජනතා’ පුවත්පත එතුමාගේ සංස්කරණයෙන් බිහිවුණු පුවත්පතක්. ඊට අපි කවි ලිපි කෙටිකතා ආදිය ලියා විශාල පන්නරයක් ලබා ගත්තා. මට මතකයි මා ලියූ කවියක් පුවත්පත්තේ පළ කළ එතුමා ඊට පස්සේ යටින් අදහසක් දක්වා තිබුණා අනාගත ගීත රචිකාවක වීමේ පෙරනිමිති මගේ කාව්‍යමය ලක්ෂණ තුළ පවතිනවා කියලා. එය මට සතුටක් වුණත් දිගටම කවි ලිව්වා මිසක ගීයක් ලියන්න මම ඉක්මන් වුණේ නැහැ.
ඔබගේ නිර්මාණවලට අනුභූතීන් සොයාගන්නේ කොහොමද?
නිර්මාණවල අනුභූතීන් ගැන කිව්වොත් ඒවා කල්පනාවන් තුළ සැරිසරද්දී වඩාත් හිතට ප්‍රබලව දැනුණු, හිත කම්පනයට පත් කළ දේවල් තමා අනුභූතින් ලෙස ඉදිරියට එන්නේ.
කවියක් හෝ ගීතයක් ලියන විට ඔබ වැඩි වශයෙන් අවධානය යොමු කරන්නේ මොන වගේ දේවල්වලටද?
හදවතට තදින් දැනෙන කිසියම් වේදයිතයක් තමා කවියකට හෝ ගීතයකට ප්‍රස්තුත කරගන්නේ. ඒ දැනීම, වින්දනය, දුක, සතුට හෝ ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. හදවතේ ගැඹුරට කාවදින කම්පනය තමා වචනවලට නැගෙන්නේ. ඒ කම්පනය පොදු වු තරමට නිර්මාණය සාර්ථක වෙනවා. ඒ තමා මගේ හැගීම.
නිර්මාණකරණයේදී භාෂා භාවිතය කොතරම් වැදගත් වෙනවද?
ඇත්තටම මට භාෂා භාවිතය ගැන විශේෂයෙන්ම සැලකිල්ලක් දක්වනවා. ‘භාෂාව’ කියන්නේ ‘අම්මා’ කියන හැඟීම මගේ හිත තුළ කිඳා බැසගෙන තියෙන දෙයක්. බස නොකෙලෙසවා අපි බසින් වැඩ ගත යුතුයි.
කිවිඳියක් වූ ඔබ ගේය පද රචිකාවියක් වුණේ කොහොමද?
ගීත රචනයට මට අවතීර්ණය වන්නට කටයුතු සැලසුනේ පුදුම විදිහට. ඒ විවාහයෙන් පස්සේ. සුනිල් එදිරිසිංහයන් ගයන ‘අහස පොළොව වටපිටාව’ ගීතයෙන්. ඒ කතාවත් සුන්දර කතාවක්. මම විවාහ වුණේ සම්මානලත් වේදිකා නළුවෙකු වන සේනක පෙරේරා සමඟ. ඔහු හොඳම නළුවා ලෙස සම්මාන දිනූ ‘පරාස්ස’ නාට්‍යය ලුම්බිණියේ වේදිකාගත වෙද්දී තමා අපි හමුවුණේ. ඒ නාට්‍යයට ඔහු හොඳම නළුවා සම්මානය ලබා නාට්‍ය හා රංග කලාව හදාරන ශිෂ්‍යත්වයක් ලැබ රුසියාවට යන්න වුණා වසර දෙකකට. ඉතින් ඔහු අපේ දෙමාපියන්ගේ කැමැත්ත ලබාගෙන කෙසේ හෝ විවාහය ලියාපදිංචි කරලා තමා රුසියාවට ගියේ. ඒ දිනවල ලිපි හුවමාරුව තමා තිබුණේ. ඉතින් එහෙම ලියූ ලිපියක මා ඔහුට ලියූ කවියක් තමා ‘අහස පොළොව’. සේනක ලංකාවට ඇවිත් අපි විවාහ වෙලා මුල්ම දිනවල (සේනකත් සුනිල් අයියත් මහවැලියේ සේවය කළා) සුනිල් අයියා සේනකට කියලා තිබුණා ‘යමුනා කවි ලියනවා නේද? ගීතයක් එහෙම ලියනවනම් ගේන්න කියලා’. ඉතින් සේනක ගෙදර ඇවිත් ඒක කිව්වාම මට පුදුම සතුටුයි. මම දුන්නේ ඔය ‘අහස පොළොව’ කවියයි. ඉතින් එය ගීතයක් බවට පත්වෙලා රසික ආදරය දිනා ගත්තේ රෝහණ වීරසිංහයන්ගේ සංගීතය මුසු වෙලා. එය පුදුමතරම් වාසනාවක් මට ගෙනාවා. කිවිඳිය ගේය පද රචිකාවියක් වුණේ ඒ විදිහට.
ඔබට අනුව ආදරේ කියන්නේ සමාව නොලැබෙන සුන්දර වරදක්. එහෙම ලිව්ව ඔබට ආදරේ දැනෙන්නේ කොයි විදිහටද?
ආදරය ඉතාම සුන්දර දෙයක්. එය වරදක් වන්නේ හරි හැටි තේරුම් නොගත් වෙලාවෙදි. මේ ගීතයේ කතානායකයා සමඟ ඒ පෙම්වතිය ප්‍රේමයෙන් වෙලී සිට ඔහුට දුක් දී වෙන් වෙනවා. එතැනදී ඔහු කියනවා, ඇයට ආදරය කිරීම තමා කළ වරද කියලා. නමුත් ආදරයේ මිහිරි මතක ඔස්සේ ඔහුට හිතෙනවා එය මොනතරම් සුන්දර වරදක් ද කියලා.
ඔබගේ කවි, ගීතවල පරිසර සංසිද්ධීන් උපමා රූපක ලෙසට යොදාගෙන තියෙනවා බොහෝ අවස්ථාවල දී. එවැන්නකට ඔබගේ සිත පෙළඹෙන්නේ කොහොමද?
මගේ කවි, ගීතවල හැමවිටම වගේ පරිසරානුගත උපමා රූපක යෙදෙනවා. ඒක ඇත්ත. ඒවා කොහෙන් එනවද කියන එක එක අතකට පුදුම වුණත් පරිසරයට ඇති ආදරය, ඇල්ම වගේම භාෂාවේ ඇති හරිම සුමට දේවල් මනාව ග්‍රහණය කර ගන්නෙකුට උපමා, උපමේය, රූපක ආදිය ඉබේටම පහළ වෙනවා කියලා හිතෙනවා.
යමුනා මාලිනී නම් කලාකාරිනිය තුළ ඉන්න ගැහැණිය කොයි වගේද ?
යමුනා මාලිනී කියන කලාකාරිනිය තුළ ඉන්නේ බොහොම චාම්, නිහතමානී ගැහැණියක්. ආදරණීය දියණියක් වගේම ආදරණීය බිරිඳක්. ආදරණීය මවක්. සුන්දර යෙහෙළියක්. ඉතාම සාමාන්‍ය, ඉතාම ඉක්මනින් හිත රිදවා ගන්නා සංවේදී ඒත් සත්‍යවාදී කෙනෙක්. ස්ථිර ප්‍රතිපත්ති ඇති මනුෂ්‍ය දුවක්.
ඇතැම් කාන්තාවන් තම විවාහයෙන් පසුව තමන් කැමති දේවල් කරන එක නවත්වනවා. නැත්නම් මගහැරෙනවා. ඔබේ අත්දැකීම සහ අදහස කොයි වගේද?
ඇතැම් කාන්තාවන්ට විවාහයෙන් පසුව නිර්මාණකරණය මගහැරෙනවා. නමුත් මට ලැබුණේ මට වගේම මා තුළ සිටින නිර්මාණකාරයටත් ආදරය කරන හොඳ ගුණධර්ම ඇති ස්වාමි පුරුෂයෙක්. ඒක මගේ වාසනාවක් වෙන්න ඇති. මා දන්නවා හුඟක් කාන්තාවන් විවාහයෙන් පස්සේ නිර්මාණකරණය පැත්තෙන් ශෝචනීය තත්ත්වයට වැටෙනවා. නමුත් මේ හැම දෙයක්ම තුලනය කරගෙන පවුල් ජීවිතය, දරුවන්, දෙමාපියන්, රැකියාව ආදිය සියල්ල තුලනය කරගෙන ජීවත්වන නිසා මම දිනුම් කියලා හිතෙනවා.
මොනිකා රුවන්පතිරණ කියන්නේ ලාංකික කාව්‍ය ලෝකයේ සිටින වීරවරියක්. ඇය තම කවිය හරහා සමාජ විෂමතාවයන් ජනගත කරනවා. ඔබගේ අදහස කුමක්ද තම නිර්මාණ හරහා සමාජ ප්‍රශ්න කතාබහට ලක් කිරීම හා එවැනි වගකීමක් කලාකරුවකුට තිබෙනවාද යන්න පිළිබඳව.
මොනිකා රුවන් පතිරණ කිවිඳිය වගේම පරාක්‍රම කොඩිතුවක්කු කවියා හරහා ආ ධාරාව අපි අගය කරනවා. සමාජ විෂමතා වගේම සෞන්දර්යාත්මක දේවල් මුසුකර ඔවුන් සමාජය කෙරෙහි හොඳ කථිකාවතක් කළා.