fbpx
9.9 C
New Zealand
Thursday, June 20, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ගීතයට අරුතක් – ‘උදුම්බරා හිනැහෙනවා’

Must read

උදුම්බරා හිනැහෙනවා //
ඉර අඳුරට හැංගෙනවා
දස දහසක් සම් මස් ඇට //
සිනහ කඳුළු වැහි වැහැලා
ගිනිගෙන රත්වුණු දවසක්
හිනැහෙන එක හැන්දෑවක //
මුහුදු කොනේ සුදු වැල්ලේ
ඉර හැංගෙන එක මොහොතක

(කළුවර දුම එක හුස්මට මුළු ලෝකෙම වසා ගන්න)
ගිනි දිය ලෝ දිය වැස්සේ කිරි සල් කිරි උදුම්බරා

ආදරයේ ඔබ ඔබමයි
මා ඔබ නොව – ඔබ මා නොව
දවසක් දා හඳුනා ගත්තොත් ඔබ මා

ඒ මොහොතෙම එක හුස්මට
උපදිනවා ගිනි රස්නය සීතලේම

මහ මුහුදම ගොඩට ගලා //
රත්වුණු හිරු පායන්නට //
ගොඩබිම මහ මුහුදක් විය //
උදුම්බරා කඳුළු සලයි //

ගායනය : ටි.එම්. ජයරත්න, අයිවෝ ඩෙනිස් සමග සුනිලා අබේසේකර
සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගීපද රචනය :  ඩබ්ලිව්. ජයසිරි

ප්‍රියානන්ද විජේසුන්දරයන් ගීතයට අරුතක් සදහා සිංහල සිනමාවේ සළකුණක් තැබූ ගීතයක් මෙවර තෝරාගෙන ඇත. එතුමාගේ ඇසින් බඹරු ඇවිත් සිනමාපටය සහ උදුම්බරා හිනැහෙනවා ගීතය දිගහැරෙන්නේ මෙලෙසයි.

බඹරු ඇවිත් සිනමාපටය වගේම උදුම්බරා හිනැහෙනවා ගීතයත් සුවිශේෂී වූ සිනමා ගීතයක් ලෙසයි මා දකින්නේ. මේ ගීතය රචනා කළ ඩබ්ලිව් ජයසිරි වෙනස්ම පැත්තක් දකින පද රචකයෙක්. උදාහරණයක් විදියට සනත් නන්දසිරි මහතා ගායනා කරන නිදිකුම්බා මල් කැකුළී  ගීතය වගේම අපි අද කතා කරන ‘උදුම්බරා හිනැහෙනවා‘ ගීතයත් වෙනස් ආරක් ගත් ගීතයක්.

ධර්මසිරි පතිරාජයන් විසින් අධ්‍යක්ෂණය කළ උදුම්බරා හිනැහෙනවා ගීතය අඩංගු බඹරු ඇවිත් සිනමාපටය ගැන කෙටි හැඳින්වීමක් කළොත්, මේ චිත්‍රපටය පුරාම කියැවෙන්නේ මධ්‍යයම පාන්තික සමාජයේ සෙල්ලක්කාර තරුණයෙක් ධීවර ගමකට ගිහිල්ලා ගමේ තියෙන සාරධර්ම, ගුණධර්ම වගේම සමගිය, එකමුතුකම සම්පූර්ණයෙන්ම විනාශ කිරිමක් ගැන. මෙය ඉතා සරල සංකල්පයක් ලෙස පෙනුණත් පතිරාජයන් මෙම සරල සංසිද්ධිය සිංහල සිනමාවේ අද්විතීය දැවැන්ත නිර්මාණයක් බවට පත් කරනවා. මේ සිනමා පටය හරහා  සමාජ යථාර්ථය පෙන්නුම් කරලා තියෙනවා. මෙම අනගි චිත්‍රපටියේ තමයි උදුම්බරා හිනැහෙනවා ගීතය අඩංගු වෙලා තියෙන්නේ.

ගීතයේ වචනාර්ථ  ගැන කතා කරන්නට ප්‍රථමයෙන් මේ ගීතයට යොදා ගත් සංගීතය පිළිබඳව කතා කිරීම ඉතා වැදගත්. මොකද ගීතයට අරුතක් කියන්නේ  අර්ථ රසයම  පමණක් නොව  ගීතය සඳහා යොදාගත් සංගීතය, හඬ දායකත්වය ලබාදුන් ශිල්පීන් පිළිබඳව ද කතා කළ යුතු යි. මේ  සංකලනයන් තුළින් තමා ගීතයකට අරුතක් ඇති වෙන්නේ.

උදුම්බරා හිනැහෙනවා  ගීතයේ සංගීත සංයෝජනය කර ඇත්තේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්. මේ ගීතයේ එන නාද රටාවන් මට ගොඩක් හුරුයි. ඒ වගේම ළඟයි. මොකද මමත් වෙරළාශ්‍රිතව හැදුණු වැඩුණු කෙනෙක් නිසා. වැල්ලේ අය ඔරුවක් පාරුවක් දියඹට තල්ලු කරන විට හැමෝම එකාවන්ව හඬක් නඟනවා වෙර ගන්න. ඒ වගේම තමා දැල් අදින විටත් ඔවුන් හෝඩි හෙලේයි හෙලේයි  ලාම් ආදී  වු දැල් කවි කියනවා. ඔවුන් මේ ලෙස  කවි කියන්නේ දවස පුරාම දැඩි අව් රශ්මියෙන් ගතට දැනෙන මහන්සිය, විඩාව මදකට හෝ නිවාලන්නයි. පැල් කවි, පාරු කවි, කරත්ත කවි ආදී කවිත් ගැමියාගේ මහන්සියට උපන් කවිම තමා. කේමදාසයන් මේ ධීවර ප්‍රජාව ගේ දුක් කම්කටොළු වගේම විඩාව මේ ගීතය පුරාවටම යොදාගත් සංගීතය සමඟ හරි අපූරුවට මුසු කරලා තියෙනවා.

අනිත් කාරණය තමා මේ ගීතය ගායනා කිරීමට යොදාගත් ශිල්පීන්. මොකද  මේ කාලවකවානුව වන විට එතරම් ප්‍රසිද්ධ නොවූ හඬවල් තමා කේමදාසයන් මේ ගීතය සඳහා භාවිතා කරලා තියෙන්නෙ. ටි.එම්. ජයරත්න මහතා ක්ෂේත්‍රයට ආවා මුල්ම කාලේ. ඔහුගේ හඬ එතරම් හුරු නෑ. ඒ වගේම තමා අයිවෝ ඩෙනිස් ශුරීන්. ඔහුට තියෙන්නේ වෙනස්ම හඬක්. සුනිල් ශාන්තයන්ගේ හුරුවට ගිය හඬක්. සුනිලා අබේසේකරගේ මහත්මියගේ හඬත් ජනතාව අතරට නොගිය හඬක්. සුනිලා අබේසේකර මහත්මිය කියන්නේ හොඳ හඬක් තියෙන ගායිකාවක්. ඔපෙරා ශෛලියේ ඇති ඉතා ඉහළ ස්වර මෙන්ම පහළ ස්වර හොඳින් ගායනා කිරීමට හැකි දක්ෂ ගායිකාවක්. නමුත් ඇය එතරම් ගීත ගායනා කරලා නැහැ. කේමදාසයන් මේ තිදෙනා සහ තව ගායන ශිල්පිනියක් (ඇගේ නම මතක නැහැ) යොදාගෙන තමා මේ නිර්මාණය කරලා තියෙන්නේ.

මා දන්නා තරමින් කේමදාස මාස්ටර් ස්වර ප්‍රස්තාර ලියන්නෙ නැහැ. එතුමා හැම සංගීත ඛණ්ඩයක්ම කටින් කියනවා. එහෙම කියලා ඒක වාදක මණ්ඩලයේ ඉන්න අයගේ හදවතට මෙන්ම මතකයට රිංගවනවා. වාද්‍ය ශිල්පීන් ස්වර ප්‍රස්තාර බලලා නෙවෙයි වාදනය කරන්නේ. ඔවුන්ගේ මතකයේ සහ හදවතේ තියන එක තමා වාදනය කරන්නේ. එය  හරිම සුවිශේෂී දෙයක්.

ඒ වගේම තමා මාස්ටර් ශිල්පීන්ගේ හඬ පාවිච්චි කරන ආකාරය. මේ ගීතයේ තියෙනවා කලින් සඳහන් කළ ‘හෝඩි හෙලෙයි හෙලෙයි ලාම්‘ කියන ධ්වනිය. ඒ වගේම මුහුදේ රළ උස් පහත් වීම, රළ චණ්ඩ වීම, මුහුදු ඛාදනය ආදී සියල්ල මේ ගීතයේ  සංගීතය තුළ තියෙනවා. අනෙක් අතට කුමන මොහොතකවත් මුඛ්‍ය ගායනාවක් නැහැ. මොකද මේ ගීතයේ හැමෝම ගායකයෝ. කෝරස් එකක් නෑ. අනිත් එක මේ ගීතයේ සංගීතය ඔබ හොඳින් ශ්‍රවණය කළොත් ඔබටත් ඇසේවි එකම වාදන භාණ්ඩයක්වත් වෙන වෙනම ඇහෙන්නෙ නැති බව. වයලීන් එකවත් චෙලෝ එකවත් ගිටාර් එකවත් වෙන වෙනම ඇහෙන්නේ නැහැ. ඒක තමා සංගීතයේ අපූරුම ස්වභාවය. ලෝක සංගීතයේ ශෛලීන් කීපයක් තියෙනවා. හඬ මූලික වූ සංගීතය සහ සංගීතය මූලික වුණු සංගීතය. මේ කුමනාකාරයක් මාස්ටර් භාවිතා කළා දැයි යන්න හරිම අපැහැදිලියි. හැබැයි මාස්ටර් මෙය උපරිම ලෙස භාවිතා කරලා තියෙනවා කියලා නම් දැනෙනවා.

මේ ගීතයේ වචනාර්ථය ගැන බලද්දි, වචනයෙන් වචනය පැහැදිලි කිරීම ටිකක් විතර අසීරුයි. සමස්තයක් විදියට තමා මේ  ගීතය ගැන කතා කරන්න වෙන්නේ. ගීතය ගැන  කතා කරන්නට ප්‍රථම මේ ගීතයට යොදා ගෙන ඇති උදුම්බරා යන්නෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා සොයා බැලිය යුතුයි. මොකද මේ ගීතයේ අරුත විහිදෙන්නේ මේ උදුම්බරා කියන වචනයත් එක්කයි. උදුම්බරා කියන මල විවිධාකාරයට අර්ථකථනය කරනවා. උදුම්බරා මල දිව්‍යලෝකයේ පිපෙන මලක්. වසර 3000කට වරක් පිපෙන මෙය ඉතා දුර්ලභයි. සමහර රටවල මේ මල පිපුණා කියලත් ප්‍රවාද තියනවා. බෞද්ධ සාහිත්‍යයේත් කෝණාගම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණේ උදුම්බරා ගහක් යට කියලත් තියෙනවා. අනිත් එක තමා උදුම්බරා කියන්නේ පිළිලයක්. මේ පිළිලය ඕනෑම තැනක හැදෙනවා. උදුම්බරා මල් පිපෙන කාලයට විශේෂ වූ දේවල් ලෝකයේ සිද්ධ වෙනවා කියලත් ජනප්‍රවාදවල සඳහන්. හොඳ නායකයෙක් පහළ වීම, බුදුවරයෙක් පහළ වීම, දේවත්වයෙන්  සලකන කෙනෙක් පහළ වීම වැනි සුවිශේෂී දේ  සිද්ධ වෙනවලු.

චිත්‍රපටය අනුව  පද රචක ඩබ්ලිව් ජයසිරි මේ වචනය  යොදාගෙන ඇත්තේ අකලට පිපුණු මලක් යන අර්ථයෙන් යැයි  මට හිතෙනවා.

චිත්‍රපටයට අනුව උදුම්බරා ලෙසින් පෙනී සිටින්නේ හෙලන් නමැති තරුණි යයි. හෙලන් ඇගේ පෙම්වතා වන සිරිල් නැමැති තරුණයා සහ ගමට එන බේබි මහත්තයාගේ ආදරය අතර අතරමං වෙනවා. සැබෑ ආදරය සොයාගත නොහැකිව වල්මත් වන ඇගේ ජීවිතයත් සිරිල් ගේ මරණයත් සමග මේ චිත්‍රපටය නිමා වෙනවා. හෙලන්ට තමා කවුද කියලා හරි හැටි තේරුම් ගන්න බැරි වෙනවා. මොකද තමන් පුංචි කාලේ ඉඳලා දන්න අඳුරන පෙම්වතා වූ සිරිල් සහ සෙල්ලක්කාර මෙන්ම සල්ලාල බේබි මහත්තයා යන චරිත දෙක අතර ඇයට සැබෑ ආදරය සොයා ගත නොහැකි වීම නිසා. ඇයට ජීවිත යථාර්ථය තේරුම් යන විට තම පෙම්වතා ජීවිතයට සමු දී අවසන් ඒ වගේම බේබි මාත්තයා ඇය හැර ගොසින්. මේ සියලු සිදුවීම් සිදුවන අතරතුර  ගමේ තිබුණු එකමුතුකම, සමගි නැතිවෙලා යනවා.වචනයෙන් වචනය මේ ගීතයේ අරුත පිරික්සා නොකර චිත්‍රපටය තුළ  සිදුවන සිදුවීම් සහ ගීතයේ සමස්තය ගත්විට මට හැඟෙන අරුත මෙයයි. තවත් අයකුට වෙනස් අදහසක් තියෙන්න පුළුවන්. ඒ වගේම ගීතය රචනා කළ ඩබ්ලිව්. ජයසිරිට වෙනස්ම අර්ථකථනයක් ඇති. 

මේ ගීතය පිළිබඳ ඔබටත් අදහසක් ඇති. කැමති නම් අපි සමග එය බෙදා ගන්න. 

සැකසුම දිමුතු විජේසූරිය
Edited By Dimuthu Wijesuriya

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.