fbpx
17.1 C
New Zealand
Sunday, October 11, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

“ජන කවියේ සෙවන ලැබූ වනස්පතියෙකු වූ මානවසිංහ” | වජිර ජයවර්ධන | ඕක්ලන්ඩ්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

කවියෙකු නිර්මාණය කරන්නේ විමසුම් ඇස සහ ප්‍රශ්න රසවිඳිනා ගුණයයි. යම් සිදුවීමක් හෝ සංවේදනාවක් එතැනින් නොනවතී තවදුරටත් ප්‍රශ්න කරන්නට යාම සාමාන්‍යය ජීවිතය තුළ ප්‍රශ්න වැඩි කිරීමකි. නිර්මාණ ජීවිතයේදී එය එසේ නොවේ. පියවි ඇසින් එහා කල්පනා ලෝකවල සැරිසරමින්, එකම ප්‍රශ්නය දිගට හරහට, උඩට,පහළට, මදය ඇතුලට, මුලට අගට ගමන් කරවමින්  එය නිර්මාණශීලී සිතුවිල්ලකින් එය වීමංසනය කිරීම කවියාගේ විෂේශත්ව විශේෂත්වයයි. 

‘‘වැවෙන්, වෙළෙන්, රුප්පාවෙන් වන පඳුරු අස්සෙන්, බඩවැටි ඔස්සේත් හේන්වලින් වන මලින් කුරුල්ලන්ගෙන්  මා එකතු කරගත් ළමා සිතිවිලිවල නෑඹුල් ගතිය කවරදාවත් නොමැකෙයි. මේ අතර පන්සලේ හා ගෙදර පින්කම් පොළේ කඩ පිලේත් කතා බහින් ඇසුණු හැම දෙයක්ම මගේ හිතේ තැන්පත් වී තිබේ. ගෙදර මිදුලේ හඳපානේ ගස් සෙවණේ වාඩිවී ඈත කැලුම් නටන තරු වැල් දෙස බලා අසාගෙන සිටි රාක්ෂයන්ගේ හා රජ කුමරියන්ගේ කතාවලින් පමණක් නොව හොල්මන් අවතාර හා පල් හොරුන් ගැන කී කතා පුවත්වලින් ලැබුණු රසය කවරදාවත් අමතක නොවේ. රෑ හඳපානේ තරගයට කී ගැමි සිව්පදවල හැම පදයක් ගානේ මගේ නොමේරූ සිතෙහි ඇඳී ගිය සිත්තම එසේම නොමැකී පවතී’’.

මේ මානවසිංහයන්  සිය පළමු කාව්‍ය සංග්‍රහය වන කෝමල රේඛා පෙරවදනෙහි දක්වන සිය කවිත්වයේ පදනමයි. එමගින් අපිට පැහැදිලි වන්නේ කවියේ මුල් ජන ජීවිතයේ විඳ සැනසුන ධාරනා ඔස්සේ මතුව ආ බවයි.

මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වය පාලනය කරන ගැමා – ඇමිනොබියුරිටික් ඇසිඩ් නැමැති රසානයනිකයේ මට්ටම අනුව ඉහළ පහළ යන GABA level එක මොළයේ සෛල උද්දීපන කාරකයක් ලෙස ක්‍රියා කරන බව නවීනයන්ගේ මතයයි. එලෙසින් ගත් කළ අසාමාන්‍ය GABA Level එකක් තිබුන අයකු ලෙස මානවසිංහයන් හඳුන්වාදීම අයුතු නොවේ. එම නිසාම ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ධී ශක්තියෙන් අනූන කවියෙක් ලෙස බොහෝ දෙනා හඳුන්වති. සිංහල, පාලි -සංස්කෘත,  වංග ආදී භාෂා ද බෞද්ධ දර්ශනය, වේදවේදාංග, මහා භාරත, රාමායන, ආයුර්වේදය, ජ්‍යෝතිෂය, පෙරදිග ශාස්ත්‍රාන්තර මනා ලෙස දැන සිටි ප්‍රාචීන පඬිවරයෙක් ලෙස කවි සාර භූමියක් සංකලපනා ලොකයේ ඔහු ගොඩනංවාගෙන සිටියේය. පවතිනා ලෝකයේ රස උල්පත් පාදා ගනිමින් වෙනස් දැක්මක් ඇතිව කල් ගෙවූ ඔහු වැනි අයට ලෝකය සුමිහිරි තැනක් වීය. ජීවිතේ ලැබු මිහිර  අනුනට දීම සඳහා වචනවලින් අනා පදවලින් බහා ඒවා අපේ මනසේ ඔවුන් තැන්පත් කරන්නට වීය. එවැනි කල්පනාවන්ට  කවිය යැයි නම් තැබිය යුතු බව ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ‘ලෝකය මධුර වන හැටි’ කීවේ එලෙසිනි.

කවිය, කෙටි කතාව, පුවත්පත් කලාව, ගීතය ආදී සෑම ක්ෂේත්‍රයකම ඉහළ ගුණත්වයක් දක්නට ලැබුනේ දැන් උගත් වත්කම ඔහුට නොවඩුව තිබූ නිසාය.

අරුත සහ විරිත පබැදුමක තිබිය යුතු බව මානවසිංහ පෙන්වා දුන්නේ මේ සැටියෙනි. “ගීතයයි ලතාවයි යන දෙක හරියටම ගඟයි වතුරයි වගේ. ගඟ යන හැටියට වතුර ගලා යනවා. වතුර බැහැගෙන ගිය හැටියට ගඟ සෑදී තිබෙනවා. මේ ලතාවට රිද්මය කියලයි සමහරු කියන්නේ. ගීතයක් හැදෙන්නේ මොකක් හෝ ලතාවක් අනුවයි. ගීතයෙන් දෙන අදහසෙත් ලතාවෙත් වෙනසක් ඇති වූවොත් ඒ ගීතය නීරස වන බැව් කියන්නට වුවමනා නෑ. ‘නමවු නමවු සමාදරෙන් පුරා බැතින් පිපී පිපී’ සහ ‘කෝමල තාලෙන්’ ගී දෙක  කිංස්ලි ජයසේකර ගයන ග්‍රැමෆෝන් ගී දෙකකට ලියූ ඔහු  1955 දීද රුක්මණී දේවිට හින්දි ගීතය තනුවට අනුව ‘දල්වවු බැති ආදර පෙම්’ ගීතය රචනා කළේය. මානවසිංහගේ ස්වතන්ත්‍ර රචනයක් මුල්වරට ගයන්නේ අමරදේවයි. ඒ 1952 දී ‘කුසුම් පිපේ අතුපතරේ සතර දිගන්තේ’ ගීතයයි. ඔහුගේ

භාෂාධිපත්‍යය වඩාත් මතුවන්නේ ඔහු තමන්ගේ වස්තු විෂයට අනුකූල වන පරිද්දෙන් භාෂාව භාවිත කරන අයුරු විමසිලිමත්ව අධ්‍යනය කරන විටය.

ඔහු වඩ වඩාත් කැපී පෙනෙනෙ අනිකුත් ක්ෂේත්‍රයේ වන්නේ ළමා රචනාවන්ය. දරුවන්ගේ මනසට සූක්ෂම ලෙස පිවිසෙන්නට ඔහු සමත් වී ඇති ආකාරයට පහත රචනාවන් උදාහරණ කොට දැක්විය හැකිය.

අකුරට යනවයි කියලා
ටිකිරි අයියා බැඳීවලමයි
ඉන්නකො මම ගුරු ගෙදරට
ගිහින් කියන්නම්
ගිහින් කියල – මේ බැද්දෙදි අල්ලල දෙන්නම්
පඳුරු අස්සෙ කුරුල්ලන්ට
ඔමරි කරනවා විතරයි
සිළිඳු ඉතින් දර කැඩුවද
මමත් කියන්නම්
ගිහින් කියල – පොඩි නැන්දට අල්ලල දෙන්නම්

කටවහර ගීයට කවියට යොදා ගනිමින් ගැමි සුවඳ ගීයට මුසු කළ මේ නිර්මාණ තුළින් ඔහු තුළ ජීවමාන ගැමියා නිතර අපට හමුවේ. මේ කුඩා දැරියකගේ සිතේ පහළ වූ නොමේරූ බුදු බැතිය කවියට ගෙන හැර දැක්වූ තවත් විශිෂ්ට නිර්මාණයකි.

බුදුහාමුදුරුවන් ඉස්සර සිටින කොට
මම හිටියනම් යන විට කැලයට දරට
වනමල් නෙළා තබමින් සිරිපතුල පිට
වැඳවැටෙනවා නොගොහින් ගෙට වරුවකට
කාටත් හොරෙන් ගොඩ අරගෙන කැටය මගේ
සිවුරක් ගෙනත් දෙනවා කහඅත්ත වගේ
එතකොට බලත හැකි පොරොවා වඩින රඟේ
කිනිහිරි මලක් සෙලවෙනවා වැනි සුළඟේ

‘ළා ඳළු’ චිත්‍රපටයට සාදර කරුණා දයා ගුණේ , චංචල ලෝකේ මධුරයි, සුවදෙන සිත සැනසුම් යන ගී තුන ද ‘සැපත සොයා’ චිත්‍රපටයට සුවබර යානේ නින්දේ පුතාගේ ගීතය ද, සීතල වතුර චිත්‍රපටයට මංගල දිනයේ රස මධුපානේ ගීතය ද ‘සිකුරු තරුව’ චිත්‍රපටයට ඉර හඳ පායන ලෝකේ,ඔරු පැද පැද කිරි මූදේ,  ගමන නොනිමෙයි ලෝකයේ සහ හිමගිරි කුළු මුදුනේ යන ගීත ලියමින් ගී පද පරපුරේ ශ්‍රී ලාංකේය ලතාවට ගී ලියූ මුල්ම පද රචකයා ඔහු බව සැක හැර කිව හැකිය. 1959 තිරගත වූ ‘දෛවයෝගය’ චිත්‍රපටයට ජීවිත ගමනේ දෛවයෝගේ, ආදරියේ රුචිරාණනියේ, හද ගිලෙයි අම මිහිරේ, දොයි දොයිය පුතා ගී නිර්මාණය කළේය.

‘රන්මුතු දූව’ ට ලියූ පාරමිතා බල පූරිත, ගලන ගඟකි ජීවිතේ, පිපී පිපී රේණු නටන වැනි ගීතවල  හමුවෙන්නේද වචනවලින් උණ්ඩ හදන මේ පද මැවුම්කාරයාමය.

සරසවිය පුවත්පත මඟින් හාපුරා කියා සිනමා සම්මාන උළෙලක් පැවැත්වීමට තීරණය කළ අවස්ථාවේදී සරස්වතිය  අභිනන්දන කිරීමට ගීයක් රචනා කිරීමට ආරාධනා ලබන්නේ ශ්‍රි චන්ද්‍රරත්න මානවසිංහයන්ය.

භාරතීය සංස්කෘත ශ්ලෝකවල ආභාසය ද ලබමින් රචනා කෙරෙන ඒ ගීය පසු කිරීමට කිසිම රචකයෙකුට තවම නොහැකි වීමෙන් පෙනී යන්නේ මානවසිංහ යනු මානවලෝකයේ අසමසම චමත්කාරයක් බවයි.

“ජගන් මෝහිනී – මධුර භාෂිනී
චාරු දේහිනී – කමලවාසිනී
සරස්වතී දේවි වන්දේ
සරස්වතී දේවි
අමර භූෂිණි – මන්දභාසිනී
විජයරංජණී – ශාස්ත්‍රධාරිනී
සරස්වතී දේවී
කම්පිත කංචන මාලා කූජිත
කිංකිණි නූපුර ජාලා
පාද සරෝජේ කටී තටාකේ
චංචල නර්තන ලීලා
මීන මකර පංකජ රූපාකුල
අංකිත කුංකම රේඛා
පූර්ණ කුම්භමිව පීන
පයෝධර පූරිතාමෘත ධාරා
භාග්‍ය සාධන පුණ්‍ය මූරතිධර
සුරකුල වර අභිරූපා
දේහි දේහි වරදායක හස්තේ
සුභ මංගල මුද්‍රා”

වචනවල ශබ්ද ලීලාව මෙන්ම රසභාව දියුණු තියුණුව හදවත් බැඳගෙන සිටින්නේ එය පිරිපුන් වූ තරමටය. වෘත්තීයෙන් ඔහු ප්‍රවෘත්ති කලාවේදියෙකි. “හෙළදිව” නම් පුවත්පතින් වෘත්තීය ජීවිතය ඇරැඹූ ඔහු ‘”ලංකාදීප’යේ කර්තෘ මණ්ඩලයට බැඳුණ අතර  දිනපතා ‘වගතුග‘ තීරුව හරහා මානවසිංහ නාමය පාඨක ලෝකයේ ප්‍රචලිත කළහ.

”මානවසිංහ, භාරතීය මහා කවි කාලිදාස ගණයේ ශ්‍රේෂ්ඨ කවියෙකැයි ඇතැම් දෙනා කියූවත් කාලිදාසයින්ට වඩා මානවසිංහයන් ප්‍රතිභාශක්තියෙන් ඉහළින් සිටින බවද විචාරකයන්ගේ මතයයි.

වජිර ජයවර්ධන – ඕක්ලන්ඩ්

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.