ලාංකේය ගීත ක්ෂේත්‍රයේ අසහාය මාලිනියන් දෙදෙනෙකුට ලියූ එකම ඌරුවක ගීත දෙකක මතකයන් අවදිකරන්නට තවත් සොඳුරු සැන්දෑ යාමයක ලූෂන් බුලත්සින්හලයන්ව හොයාගෙන ගියා.
‘නන්දා මාලිනිය’ ගයන ඔසරි පොටින් අදින්නෙපා ගීතය ලියවුනේ කොයි කාලෙද?”
“මගේ අතින් ලියවුණු සරල ගී සියල්ලක්ම ලියවුනේ මම ගුවන්විදුලියේ වැඩකරද්දී 1971ත් 1982ත් අතර. මම කලිනුත් කිව්වා වගේ මා සතුව, මා ලියූ ගීත පොතක් නැහැ.
ඒවගේම ඔය ගීත ලියවුණු දින වකවානු මට හරියට මතක නැහැ.”
ඒ කියන්නේ ගීත දෙකම සරල ගීත?
“ඔව්. නන්දාට සරල ගී වැඩසටහනකට කාලය ලැබිලා තිබුණා. ඒ කාළෙත් නන්දා විශිෂ්ට ශ්‍රේණියේ සරල ගී ගායිකාවක්. ඒක නිසා එක වැඩසටහනකට ගීත පහක් හයක්
ලැබුණා. අනික් අයට ලැබුණේ දෙකක් තුනක්. නන්ද මගේ කාර්යාලයට ඇවිල්ල මට කිව්වා ගීතයක් ලියලා දෙන්න කියලා. එහෙම තමයි ගීතය ලියවුණේ.”
මේ ගීතය ඔබ ඇයට ලිව්ව පළවෙනි ගීතයද?
“නෑ. පළවෙනි ගීතය ‘පිපුණු මලේ රුව’. ඒ ගීතය මේ වෙනකොට බොහොම ජනප්‍රිය
වෙලා තිබුණා. ඒකත් හේතුවක් වෙන්න ඇති මට තව අවස්ථාවක් දෙන්න.”
“ඔබ ඇයට ලිව්වේ ගීත දෙකයි?”
“ඔව්. පස්සේ ඇය විප්ලවීය ගීතවලට යොමු වුණා. ඒ වකවානුවෙන් පසු ඇගේ සියලුම
ගීත ලිව්වේ සුනිල් ආරියරත්න. ඒ එක්කම මම රූපවාහිනියට ගියා.
රූපවාහිනිය අලුතින් පටන් ගත්තු නිසා අපිට හරිම කාර්ය බහුල කාලයක් උදා වුණා.
ගීත ලියන්න තරම් නිස්කලංක මනසක් නැතිවෙන තරමටම.”
මේ ගීතයත් ජනප්‍රිය වුණා?
“ඔව්, බෝම ජනප්‍රිය වුණා. විශේෂයෙන් ගෑනු ළමයි අතර. නිතර ගුවන් විදුලියේ
ප්‍රචාරය වුණා. බුලත්සිංහලයන් කිව්වේ සිනහවෙමින්. දවසක් මට මුණගැහුණු
අරිසෙන් අහුබුදු ශූරින් මේ ගීතයට හොඳ පැසසුමක් එක්කළා. බොහොම අපූරුවට
නව යෞවන තරුණියක් සහ තරුණයෙකුගේ දඟකාර ප්‍රේමය රූපයට නගලා තියෙනවා කියලා කිව්වා.”
අපි ඒ චිත්තරූපය නැවතත් මවමුද?
මගේ ආයාචනයක්.
නැවතත් සිනාසුනු බුලත්සිංහලයන් කතාව පටන්ගත්ත. ළමාසාරියක් ඇඳගෙන
පුරන් වූ කුඹුරක, දෙපැත්තේ වතුර පිරිලා විලක් වගේ දිස්වෙන, ඕලු මල්
පිපුණු, නියර දිගේ ඇවිදගෙන යන තරුණියක්, රිදී මාලයක් එහෙම දාගෙන. දඟකාර කොලු ගැටයෙක්. තරුණිය බහදීල තියෙනවා නමුත් කොලුවා වැඩේට ‘සීරියස්’ නැහැ. බොරු පොරොන්දු දෙනවා, ටිකක් මග අරින්න බලනවා. ඔන්න ඕකයි චිත්‍රය. ඔය
චිත්‍රය මවාගෙන ගීතය ඇහුවහම ඉතින් ගීතය තේරෙනවා.”
මේ ගීතයේ තියෙනවා ‘පට සළු පිලි කසී රටේ වළපෙති වඩිනවා’ කියලා, ඒ
මොකක්ද?
“ඕක සාහිත්‍යයේ එන යෙදුමක්. වළපෙත කියන්නේ වළාකුළු. අර කොලුවා
පොරොන්දුවෙනවා බොහොම දේවල් දෙනවා කියල, සාරි, මාල, වළලු එහෙම. හැබැයි
ඉතින් කවදාවත් දීල නැහැ. එතකොට අර තරුණිය වළාකුලක් පෙන්නලා කියනවා,
අන්න ගෙනත් දීපු සාරිය අහසේ, මාල වළලුත් තරු අතර කියලා ඔලොක්කුවට
එතකොට ‘පෙතන් කැලේ වළිකුකුලෝ කියන්නේ?
“ඕක මම මුලින් වැඩකරපු අඹේවෙල ප්‍රදේශයට සම්බන්ධයි. ඒ පැත්තේ මිනිස්සු නිතර කියනවා වලිකුකුලෝ බලන්න, අල්ලන්න ඕනනම් පෙතන් කැලේට යන්න කියලා. ඒ ප්‍රදේශයේ තිබුණු වහරක්. ඒ මතකය තමයි ඔය ඔතන ගීතයට ඇවිල්ල තියෙන්නේ.”
‘ඕලු විලට පනිනවා’ කියන්නේ?
“නියර දෙපැත්තේ වතුර පිරිලා හැදුනු විලට පැන්නට මැරෙන්නේ නෑනේ.
බුලත්සිංහලයන් කිව්වේ කොක්හඬලා සිනාසෙමින්. කොල්ලා බොරුකරන බව
දැනගෙන කෙල්ලත් විහිලුවට වගේ කියනවා මම ඕලුවිලට පැනලයි මැරෙන්නේ
කියලා. මේ ඉතින් හැත්තෑව අසූව දශකයේ නව යෞවන පෙම්වතුන්. අද ඉතින් මේ
වගේ අය, මේවගේ දර්ශන හරිම විරලයි. සමහරවිට ඇත්තෙම නැහැ.”
බුලත්සිංහලයන් පැවසුවේ සිහින් සුසුමක් පිටකරමින්.
කොහොමද ගුණදාස කපුගේ මේ ගීතයේ සංගීතයට කරන්න තෝරාගත්තේ?
“ගීතය පටිගතකරන්න සූදානම් කරනකන් මම දැනගෙන හිටියේ නැහැ කපුගේ මේකේ
සංගීතය කළා කියලා. නමුත් කපුගේව මම දන්නේ ගුවන් විදුලියෙන්. ඔහු ශබ්ද
පරිපාලකයෙක් විදියට වැඩකළා. එතැනදී තමයි හිතවත්කම ගොඩනැගුනේ. මේ
ගීතය ලියන්න කාලෙකට ඉස්සර.”
අනිත් ගීතය ‘පුන් පෝදා සඳ’, මීටවඩා ටිකක් සැරට ‘සීරියස්’වට පෙම්වතාට
අමතන විදියක් තමයි පෙන්නේ?”
“ඔව්. මෙතන ටිකක් මුහුකුරා ගිය ප්‍රේමයක්. පෙම්වතා එක එක විදිවලින් බලනවා
අහගන්න පෙම්වතියගේ තිබුණු පරණ සම්බන්දකම් ගැන, ඒවා කොච්චර දුරදිග
ගිහින්ද වගේ දේවල්. ටිකක් සැකයෙනුත් බලනවා. අපිත් ඉතින් එහෙමනේ.”
බුලත්සිංහලයන් එහෙම කිව්වේ මගේ දිහත් බලන ගමන්.
“කොහොම නමුත් ඉතින් ඔය සාමාන්‍ය සම්බන්ධකම් ඇරුනහම පෙම්වතිය ඉතින්
නිර්දොෂීයි, පිවිතුරුයි. ඉතින් මේ විමසිලිමත්කම දරාගෙන ඉන්න බැරිම තැන ටිකක් තදට පෙම්වතාට කියනවා ඔය කියන විදියේ අයනම් හොයන්න වෙන්නේ නැහැ
කියලා. ඉතින් ගීතය පුරාවට තියෙන්නේ මේ අභියෝගය. පෙම්වතාව අසරණ
කරනවා. මොකද මේ ඉල්ලන දේවල ඉතින් දෙන්න බැහැනේ.”
බිඟු තුඩු නොවැඩුණු පියුම ගෙනාවොත් මානස විලමද පිපුණු සැනින්’, “ ඒවගේ
දේවල්ද?
“ඔව්. මානස විල කියන්නේ හිමාලයේ තියෙන පවිත්‍රත්වයේ සංකේතයක්. මිනිස්
පහසින් ස්පර්ශ නොවුණු තැනක්. ඍශිවරුන්ගේ, දෙවිවරුන්ගේ ස්පර්ශය ලබපු තැනක්. ඒ විලේ පිපුණු, මී මැස්සෙක්වත්වත් නොවහපු පියුම ගෙනාවොත්, පවිත්‍රත්වයේ සංකේතය වන මලින් උපන් පත්තිනි දේවිය වගේ, ඔය හොයන පවිත්‍රත්වය ඔප්පුකරන්නම් කියලා තමයි කියන්නේ. කොටින්ම කියනවනම්, ඔය හොයන පවිත්‍රත්වය ඉතින් පත්තිනි දේවියගෙන් මෙහා කෙනෙකුට නම් නැහැ කියලා තමයි කියන්නේ. එච්. එම්.ජයවර්ධන මේකට හරිම අපූරු විදියට
සංගීතයත් යෙදුව. ගීතය බොහොම ජනප්‍රිය වුණා. ප්‍රසංග වේදිකාවලත් මාලනී
බුලත්සිංහල මේ ගීතය නිතර ගැයුවා.”
ඔව්, මට මේ ගීතය අහනකොට හිතෙන්නේ ටිකක් බැනගෙන බැනගෙන යනවා
වගේ. මේකත් සරල ගීතයක් ද?
“ඔව් ඔව්, චිත්‍රපටි ගීත ඇරුනහම මම ලිව්ව හැම ගීතයක්ම ලියවුණේ සරල ගීත
විදියට, විශේෂයෙන්ම ගායකයාගේ හෝ ගායිකාවගේ ඉල්ලීමට. කිසිම ගාස්තුවක් අය නොකර. ගීතය කොලයක ලියලා දෙනවා එච්චරයි. ඊටපස්සේ මම ඒගැන දන්නෙවත් හොයන්නේවත් නැහැ. ගීතය නැවත අහන්නත් ඒ ගැන අනෙක් විස්තරත් දැනගන්න ලැබෙන්නේත් පටිගත කරන වෙලාවට. හැබැයි ඉතින් මාලනීට ගීතයක් ලියනකොට මම දන්නවා ඉතින් එච්.එම්. තමයි බොහෝ වෙලාවට සංගීතය කරන්නේ කියලා.
බුලත්සිංහලයන් ඔහුට උරුම ගැඹුරු හඬින් පවසමින් මේ අපූරු ගීත දෙකේ මතකාවර්ජනයට විරාමයක් තැබුවා.
********************************
සුරංග දසනායක – ඩනිඩීන්

Lucian Bulathsinghala’s Photo credit – Rayans planet






