විවිධ නගරවල නවසීලන්ත ශ්‍රී ලාංකික සමාජයෙහි සිංහල දෙමළ අවුරුදු උත්සව වසර ගණනකට පසුව 2023 දක්නට ලැබුණේ ය. සියලුම උත්සව අප දේශිය සංස්කෘතික ඉසව් වලින්ද ජන ක්‍රීඩා හා ගැමි ක්‍රීඩා වලින්ද අලංකාරවී තිබිණ. ළමා හා වැඩිමහලු අයට සහභාගි විය හැකි විවිධ ක්‍රීඩා ඉසව් සහභාගිවූ ජනතාව ප්‍රමෝදමත් කරවීය. අවුරුදු කුමාර-කුමරියෝ සිටියහ. කැවුම් කොකිස් අතිරස හා කිරිබත් වලින් සැරසූ අපේ ලාංකික ගමේ තේ මේසය නවසීලන්තයේද බහුල වී ය.
කොට්ටා පොර, බනිස් කෑම, අලියට ඇස් තැබීම, කනා මුට්ටියට ගැසීම, ගෝනි රේස්, කඹ ඇදීම, බැලුම් පිපිරවීම, අන්ධයාට කිරි කැවීම, ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරීම, සැඟවුණු අමුත්තා සෙවීම, හැන්ද මත දෙහි ගෙඩිය තබා යෑම, ටොෆී ඇහිදීම, බාධක දිවීම, සංගීත පුටු තරගය වැනි අවුරුදු ක්‍රීඩා රැසක් පෙළ ගස්වා තිබුණි. ඒවා හැම උත්සවයකම අපට දක්නට ලැබුණු පොදු ඉසව් අතර විය. එම ඉසව් සඳහා විවිධ ත්‍යාගයන් හා අනුග්‍රහයන් සැපයූ ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම ලාංකික නොවන ආයතනද දක්නට ලැබුණි
ලංකාරාමය, ඕක්ලන්ඩ් නගරය.
මෙහි ප්‍රථම වතාවට බහුදින බක්මහ මංගල්‍යයක් සැලසුම් කර තිබුණි. එහි පළමු පියවර ලෙස එක්දින අවුරුදු සංස්කෘතික මංගල්‍යය උළෙලක් ලෙස 2023 අප්‍රේල් 9 දින පෙ.ව 9.00 සිට සවස 4 දක්වා යාබද පාසැල් භුමියේදී ඉතා සාර්ථකව පැවැත්වුණි. සංවිධානය ඉතා ඉහළ මට්ටමක තිබිණ. සියලුම ජාති ආගම් මිතුදමින් එකට ගොනුවිය හැකි මෙම උළෙලට විවිධ ජාතීන් හා ආගම් නියෝජනයක් දක්නට ලැබීම විශේෂත්වයක් විය. ලාංකික අනන්‍යතාවය ඇති අංග රැසක් මෙවර ඇතුළත් කර තිබුණේ දිගු කාලීන වැඩසටහනක් වන බහු දින නවසීලන්ත “ජාතික සමගි බක් මහපොළ හා සංස්කෘතික මංගල්‍යයේ ” පළමු පියවර ලෙසය.
දර්ශණීය දේශිය නැටුම් හා ජන ගායනා ඉසව්ද ඉතා වට්ටම් මිලට දේශීය තුනපහ, සියලුම වියලි ආහාර වර්ග, බතික් හා චීත්ත, ස්වදේශීය නිර්මාණ, බෑග්, හිස් වැසුම්, චිත්‍ර හා කැටයම් නිශ්පාදන, නවීන ඇඳුම් පැලඳුම් හා විවිධ භාණ්ඩ අලෙවිහල්ද සේවා සපයන ආයතනවල ප්‍රදර්ශණාගාරද මෙම මහා බක්මහ උළෙල හැඩ කිරීමට දායක වීය.
ගැමි සංකල්පයක් වන “අපේ ගමේ කඩේ” ද මෙම උත්සවයට නව අරුතක් මෙන්ම ලක්බිමේ තිබූ අවුරුදු සිරිය සුවඳ දැණුන කදිම වටපිටාවකට වැදගත් මධ්‍යස්ථානයක් වූයේය. සංස්කෘතික සංදර්ශනය ට අමතරව දාම් ක්‍රීඩාවේ යෙදෙමින් උණු උණු රෝස් පාන්, පොල් රොටී, ආප්ප සමග කිතුල් හකුරු හා කහට තේ සංග්‍රහ බුක්තිවිදීමට ඉඩ කඩ සලසා තිබුණි.
මුලු දවසම පැවති ජන ක්‍රීඩා ළමා තරුණ හා වැඩිහිටි සැමට වූ තරග රාශියෙන් පසු ජයග්‍රාහිකයනට තෑගි බෙදා දිමක් ද වි ය. “ලෝකයේ විශිෂ්ඨ පැරණිම සංස්කෘතියකට උරුම කියන අපගේ සිව් හෙල සංස්කෘතියෙන් බිඳක් නවසීලන්ත සියලුම ලාංකික දූ දරුවන්ට ලබාදීම අරමුණු කර ගත් මෙම කටයුත්ත සාර්ථක කර ගැනීමට මාස ගණනාවක සිට මහා සංඝරත්නය සමග නවසීලන්තවාසී 250 පමණ පිරිසක් අප සංවිධායක මණ්ඩලයට එක්වී සිටි බවත් ඔවුන්ගේ හා විහාරස්ථාන භාරකාර මණ්ඩලයේ දායකත්වය මෙම වැඩපිළීවෙලෙහි සාර්ථකත්වයට හේතු වූ බවත්,” ලංකාරාමවාසී රේවත හිමියෝ පැවසූහ. නවසීලන්තයේ ප්‍රධාන සංඝනායක වල්ගම මුනින්ද්‍රවංශ හිමිපානන්ගේ උපදෙස් මත මෙය සංවිධානය විය.
නවසීලන්ත සූර්ය මංගල්‍යය.
ශ්‍රී ලංකාවේ දෙරණ මාධ්‍යජාලයේ සහභාගිත්වයෙන් ඕක්ලන්ඩ්, 2023 අප්‍රේල් 8 වැනි දින පෙරවරු 9.00 සිට රාත්‍රිය දක්වා ඕක්ලන්ඩ් ප්‍රධාන දැල්පන්දු ක්‍රීඩාංගණයේදී පැවැත්වූ මෙම බක්මහ උළෙලට විශාල පිරිසක් සහභාගි වූහ. Merry Go Round, Bouncy Castle වැනි දේ දරුවන්ට මහත් ප්‍රීතියක් ගෙන දුනි. ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ නිවේදක කැළුම් ශ්‍රීමාල් කථනයෙන් සහභාගිවීම හා දෙරණ සාමානාධිකාරී මහේෂ් ජයවර්ධනගේ සහභාගිත්වයද මෙම උත්සවයේ කැපී පෙනුනි. ප්‍රධාන සංවිධායක Kristal Events අධිපති නිශාන්ත ආරියවංශ මහතා අනුග්‍රාහක ආයතනවල සහයෝගය ලබා ගෙන මනාව උත්සවය සංවිධාන කර තිබුණි. නවසීලන්තයේ ඕක්ලන්ඩ්හි වෙළඳ ව්‍යාපාරිකයින්ගේ සහභාගිත්වයෙන් ආහාර සල්පිලක් පැවැත් වූයේය. දවස පුරා DJ සංගීතඥයින් තුන් දෙනෙකුගේ ද සහභාගිත්වයෙන් සංවිධානය කර තිබූ සංගීතයෙන් පැමිණ සිටි පිරිස දවස පුරා පිණවීමට සැලසුම් කර තිබුණේය. තරග වලට සහභාගිවී ජයග්‍රහණය කළ දරුවන්ට හා වැඩිහිටියන්ට වටිනා තෑගි පිරි නැමුණු අතර, මෙම උළෙලට විශාල ළමයි පිරිසක්ද සහභාගි වූහ.
නෝත්ෂෝර්.
නෝත්ෂෝර් ථෙරවාද බෞද්ධ විහාරයේ අධිපති තල්පත්වැව සද්ධාතිස්ස හිමිපාණන්ගේ උපදෙස් මත දායක දායිකාවනගේ අනුග්‍රහයෙන් අප්‍රේල් 1 පෙ.ව.8.30 සිට -ප.ව.6.30 දක්වා ටාගට් පාරේ ප්‍රාථමික විද්‍යාල භූමියේ දී මෙම උත්සවය පැවැත්වීය. සිංහල අවුරුදු කෑම මේසය සහ චාරිත්‍ර, දවස පුරා පවත්වන ළමා, තරුණ සහ වැඩිහිටි අවුරුදු ක්‍රීඩා, සිංහල අවුරදු ගීත සහ සංගීතය හා ආහාර සල්පිල වැඩ සටහන් පැවැත්වුනි. සංස්කෘතික අංග රැසක් මෙම උත්සවයට එක්වූ අතර එහිදී ලක්බිමේ පැවති ගැමි සිරිය විඳීමට නවසීලන්ත ලාංකිකයිනට අවස්ථාව හිමි වීය. එම පළාතේ තරුණ සංවිධානද මෙම බක්මහ උළෙල සංවිධානයට ක්‍රියාකාරී කැපවීමක් කළහ.ප්‍රනීත දේශීය ආහාර වලින් පිරුණු සල්පිලෙහි ආදායම විහාරස්ථානයේ දියුණුවට පරිත්‍යාග කෙරුනි.
හැමිල්ටන්.
හැමිල්ටන් අවුරුදු උත්සවය ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ මෙහෙයවීමෙන් Horsham Down Primary පාසැලේදී ඉතා ඉහළින් පැවැත්වුණි. උදෑසනම ප්‍රධානය කළ සිංහල කැවිලි-කිරිබත් මේසයකින් පසු උත්සව කටයුතු ආරම්භ වීය. එදින උදේ 8.30 සිට සවස 6.30 දක්වා විවිධ ජන ක්‍රීඩා වලින් අලංකාරවූ මෙම උළෙල ළමා තරුණ වැඩිහිටි සැමට එකසේ විනෝද වීමට අවස්ථාව ලැබිණ.
Flat bush.
නවසීලන්ත ජර්මන් කාර්මික-ආදි සිසු-පවුල් එකමුතුව සංවිධානය කරන බක් මහ උළෙල මෙවරද Flat bush, Barry Cuttis Park Community Event Centre හි, 2023 අප්‍රේල් 23 දින පෙ.ව 8.30 ජාතික කොඩි එසවීම හා පහන් දැල්වීමෙන් ආරම්භ වී ඉතා උත්කර්ෂවත්ව පැවැත්වින. හෙළ චාරිත්‍ර වාරිත්‍ර වලට අනුකූලව පෙළ ගැසුණ වැඩසටහන් මෙන්ම ගැමි ක්‍රීඩාවන්ටද ළමා තරුණ වැඩහිටි ඉසව් වලට ද සහභාභාගි වීමේ මහත් උද්යෝගයක් කා තුළත් දක්නට තිබුණි. ජයග්‍රාහකයිනට ත්‍යාග ප්‍රධානයක්ද සිදුවී ය.
ක්‍රයිස්ට්චර්ච්.
ක්‍රයිස්ට්චර්ච් කැන්ටලංකන් සංවිධානය විසින් සංවිධානය කළ “අපේ අවුරුදු 2023” සිංහල හින්දු බක් මහ උළෙල අප්‍රේල් මස 22 වන දින දවස පුරා, ක්‍රයිස්ට්චර්ච් ශ්‍රී ලාංකිකයින්ගේ සහභාගීත්වයෙන් ටෙම්පල්ටන් කමියුනිටි ශාලාවේදී අති උත්කර්ශවත් අයුරින් පැවැත්විය. කැන්ටලංකන් කමිටු සාමාජිකයන් චාරිත්‍රානුකූල පොල්තෙල් පහන දල්වා, කිරි උතුරවා විචිත්‍රවත් අයුරින් ආරම්භ කළ අතර උදෑසන අවුරුදු කෑම මේසය කැන්ටලංකන් කමිටුව සහ ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයින්ගේ සහයෝගයෙන් සකස්විය. කුඩා දරුවන් සහ විවෘත කාණ්ඩ යටතේ තරග ඉසව් රාශියක් පැවැත් වූයේය. –
ක්‍රයිස්ට්චර්ච් සමාධි බෞද්ධ විහාරස්ථාන
භාෂා හා සංස්කෘතික පුහුණු සමාධි දහම් පාසල පසුගිය අප්‍රේල් මස 30 වන දින පාසලේ සිසු දරු දැරියන් සදහා සිංහල හින්දු අලුත් අවුරුදු උළෙලක් පැවැත්විය. විහාරාධිපති ගරු පූජ්‍ය මකුල්දෙණියේ සෝමරතන ස්වාමින් වහන්සේගේ හා පූජ්‍ය මඩුවන්වෙල ධම්මදස්සී හිමිගේ අනුශාසනා හා මඟපෙන්වීම පරිදි චාරිත්‍ර වාරිත්‍ර හා ජන ක්‍රීඩා වලින් සපිරි උළෙල විහාරස්ථාන භූමියේ පැවැත්විය.වාර්තා කළා ගයාන් බුවනායක –
පුකේ කොහේ.
පපකූරා පුකේකොහේ ශ්‍රී ලාංකියන් විසින් සංවිධානය කෙරුණ අවුරුදු උත්සවය 2023 අප්‍රේල් 15 දින එහි නැගෙනහිර ශාලාවේදි පැවැත්වුණි. සිංහල සිරිත් විරිත්, ජනක්‍රීඩා , ගායනා. හා ඩීජේ සංගීතය විසින් උත්සවය වර්ණවත් කරනු ලැබීය. අනෙකුත් ශ්‍රී ලාංකික ප්‍රජා සාමාජික සාමාජිකාවන් මෙන්ම ෂාමෙලා, ලක්මිණු ආයතනයේ එරන්ද හා තුෂාරි තම දායකත්වය ලබා දුන්හ.
පාමස්ටන් නෝත්.
මෙම බක් මහ උළෙල අප්‍රේල් මස 22වැනි සෙනසුරාදා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. බනිස් කෑම, අලියාට ඇහැ තැබීම, යෝගට් කැවීම, හැන්ද මත දෙහි ගෙඩිය තබාගෙන දිවීම, විකට ඇඳුම් තරගය ආදී තරග රාශියක් එදින පැවැත් වූ අතර ලොකු කුඩා සියලු දෙනා ඉතා උද්යෝගයෙන් විනෝද ක්‍රීඩා සඳහා ඉදිරිපත් වීම කැපී පෙනිණි- වාර්තා කළා- “Sri Lankan Society of Palmerston North”.
වයිරරාපා-මාස්ටර්ටන්.
වයිරරාපා ශ්‍රී ලාංකික ප්‍රජාව දෙවන වරටත් සංවිධානය කළ අවුරුදු උත්සවය, අවුරුදු සිරිත් විරිත් හා ජන ක්‍රීඩා මුල් කරගෙන මාස්ටර්ටන් සොල්වේ විද්‍යාල භූමියේ පසුගිය අප්‍රියල් 23 වනදා පැවැත්විය. මේ සඳහා මාස්ටර්ටන්, කාර්ල්ටටන්, Grey Town, ෆෙදර්ස්ටොන් ප්‍රදේශ වල වල වාසය කරන සියයක් පමණ වූ සිංහල, දමිළ, මුස්ලිම් ලාංකිකයෝ සහභාගී වූහ. අවුරුදු උත්සවයේ කැපී පෙනෙන අවස්ථා ලෙස අප පාරම්පරිකව පැවතෙන ගැමි ක්‍රීඩා ඇතුළත් වී තිබුණි. එසේම සියලු දෙනාගේම දායකත්වයෙන් කිරිබත් සහ කැවිලි මේසයක් ද සූදානම් කර තිබුණි.-වාර්තා කළා යසසි-වයිරරාපා-
නෙල්සන්.
නෙල්සන්හි වාසය කරන ශ්‍රී ලාංකීයින්ගේ අලුත් අවුරුදු උත්සවය අප්‍රේල් මාසයේ 15 උදේ 9 සිට හවස 3 දක්වා නෙල්සන් Anzac පාර්ක් හිදී පැවැත්වින. නෙල්සන් නගරසභාව වාරිෂීකව මාර්තු – අප්‍රේල් මාස දෙක පුරා සංවිධානය කරන Tuku (Heritage Festival) සඳහා මේ වසරේදී අපේ උරුමය හොඳින්ම පෙන්විය හැකි උත්සවයක් ලෙස අවුරුදු උත්සවය තෝරා ගැනිනි. නෙල්සන් සිටින සියලු ශ්‍රී ලාංකිකයන් පාහේ එකමුතුව ඉතා උද්යෝගයකින් යුතුව සංවිධනය වූ මෙයෙට පවුලේ සියලු දෙනාටම විනෝදයද අවුරුදු චාරිත්‍ර දැක ගැනීමටද අවුරුදු ක්‍රීඩා සඳහා සහභාගී වීමටද ජන නැටුම් නැරබීමට ඉතා හොඳ අවස්ථාවක් වීය. දැරියන් සහ තරුණ දැරියන් එකතුව ජන නැටුම් කිහිපයක් ඉදිරිපත් කළහ. කුඩා දරුවන්ගේ විනෝදාස්වාදය සඳහා Bouncy Castle, face painting, balloon twisting වැනි අංග වීය.
වෙලින්ටන්.
USLA (වෙලිංටන්) විසින් සංවිධානය කරන ලද ස්වීට්මීට් වැඩමුළුවෙන් පසුව, අවුරුදු උත්සවය 2023 අප්‍රේල් 16 වන දින සිල්වර්ස්ට්‍රීම්හි ශාන්ත පැට්‍රික් විද්‍යාල ශාලාවේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙස පා.ම. Greg O’Connor මහතා සහභාගී විය. පවුල් 400 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ මෙම උත්සවය අති සාර්ථක විය. බොහෝ සාමාජිකයෝ සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික ඇඳුමින් සැරසී සිටියහ. පොල් තෙල් පහන දැල්වීම, කිරිබත් සැදීම වැනි චාරිත්‍ර සඳහා සියලු දෙනාම සහභාගි වූයේ සෞභාග්‍යය සහ වාසනාව ප්‍රාර්ථනා කරමිනි. ‘අවුරුදු’ මේසය කිරිබත්,ස කැවිලියෙන් සහ වෙනත් විශේෂ කෑම වර්ගවලින් සරසා තිබූ අතර, පැමිණ සිටි සියල්ලෝම ඊට සහභාගි වූහ.
උත්සවයේ විශේෂත්වය වූයේ ළමුන් සහ වැඩිහිටියන් සඳහා වූ සම්ප්‍රදායික හා ජන ක්‍රීඩා ය. මෙම බක් මහ උළෙල අප මව්බිමේ පැවැති සම්ප්‍රදායික අසිරිමත් අවුරුදු උදාවක ලක්ෂණ හැම අතින්ම පිළිඹිඹු කරලීමට සමත්වූ අගනා උත්සවයක් විය.
ඩනෙඩින්
අප්‍රේල් 23 වන දින ඔටාගෝ විශ්ව විද්‍යාලයේදී මෙම අවුරුදු උළෙල පැවැත්විණි. Dunedin Sri Lankan Society සහ Otago විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමය එක්ව සාම්ප්‍රදායික අලුත් අවුරුදු ක්‍රියාකාරකම්, ආහාර සහ ක්‍රීඩා වලින් පිරුණු උත්සවයක් පැවැත්වුණි. සාම්ප්‍රදායික තෙල් පහන් දැල්වීමේ උත්සවයකින් සහ අමුත්තන්ගේ සහ සංවිධායකයින්ගේ කථාවලින් සැමරුම් උත්සවය ආරම්භ විය. සහභාගී වූ අය කිරිබත්, කැවුම් සහ තවත් බොහෝ රසකැවිලි ඇතුළු ශ්‍රී ලාංකේය සම්ප්‍රදායික ආහාර වලින් රසවත් වූහ. බොහෝ ජන ක්‍රීඩාවන් සංවිධානය කර තිබූ අතර වැඩිහිටියන් මෙන්ම ළමා තරුණ ළමයි ද දැඩි උනන්දුවකින් සහභාගී වූහ. මෙම උත්සවය පළාතේ පවුල් සහ විශ්ව විද්‍යාල ලාංකික දරුවන් එකට එකතු වීමට කදිම අවස්ථාවක් විය.