භද්‍ර යෞවනයෙකුගේ ශෝකාලාපයක තවත් කොටසක්…
පහුගිය අවුරුදු තුන පුරාවට මං කිහිප වරක් පේරාදෙණිය හංදිය පහුකරන් ගම්පොල දිහාට ගියා මිසක එක වරක් හෝ වමට හරවා පාලම උඩින් නුවරට ගියේම නැත. නුවර තරම් මා සිත ගත් කිසිම නගරයක් නොවූවත් මට ඉන් ඈත්වීමට තරම් කරුණු කාරණා ඉෂ්ට සිද්ධ වූ අයුරු කණගාටුදායකය. කිසිදිනෙක නොයන්නෙමි’යි කියා සිතා සිටි ගමනක් වුවත් අද මා නැවත නුවර යා යුතුය. ඒ ඇයිදැයි කියා අංශුමාත්‍රයකවත් හැඟිමක් මට නැතත් පරණ මතකයන් හා එක්වීමට දැන් කාලය පැමිණ ඇතැයි සිත කියයි. Queens හෝටලය පසුකර දළදා මාළිගාව පේන මානයේ නැවතුනු මම පුරුදු මගක නුපුරුදු ගමනකට පියවර ඔසවමි. වැව් රළ බිඳෙන හඬ මට ඇසේ. ……වැව වටා ගස් පුරා ඇහැළ හා රොබරෝසියා මල් පිපී සැලෙන අයුරු මට පෙනේ. ….. එනමුදු, අද මා සමඟ සිටින්නේ මගේ දිගු සෙවණැල්ල පමණි.
තෙවසකට පමණ පසු නුවර වැව දුටුමතින්,
මතකයන් ඉකිබිඳියි නෙත කඳුළු නංවමින්,
පෙරදිනෙක යුවතියක ලෙසින් මාගේ ළඟින්,
සිටිය ඔබ ඇයිද අද පස් කඳක් පාමුලින්?
අප නිතර මුණ ගැසුණු ඇහැළ ගහ අද්දරින්,
හිඳ ගතිමි මම තනිව ගල් පඩිය කෙළවරින්,
ඇහැළ මල් නොපාගා සිනාසීගෙන හෙමින්,
සමණලිය මා ළඟට එන්නෙ නෑ දැන් ඉතින්.
වැව් තෙරේ ගස් පෙළේ මලක් රොබරෝසියා,
අහනවා මගෙන් ඔබ කොහාටද ගියෙ කියා,
වැව් දියේ මින් රැළේ අනේ! ඔබවත් දයා,
කියා දෙනවද මලට ඈ එන්නෙ නෑ කියා?
වැව එපිට දළදාවේ තේවාව ඇහෙනවා,
වෙන්ව යන්නට පළමු සිපගන්න හිතෙනවා,
නෙතු හරිමි ඔබ නොමැත අඳුර දළු දමනවා,
හිතින් නොව හැබැහින්ම මියෙන්නට හිතෙනවා.
ක්‍රිෂාන්ත වෑවිට
තවත් කොටසක් මතුවට …..