පිරී ඉතිරී යන්න තරමට දෝරේ ගැලු ආදරේ සොඳුරු
කාලයේ රුදු ඉඩෝරය මැද ඉරිතලා සිත ඉරුන අයුරු
කාසි කොළ මත නොලී පෙම් කවි වස් වැදී හිත පෑරු අයුරු
හදවතේ පතුලේම සිඳුරක් … හිස් වෙලා ප්‍රේමයේ මැදුරු
ගහට බර වැඩි නොවූ ඵල වැල අතු අරා සෙනෙහේ දරා
උරා මුල් දුන්න රුහිරු දා දිය බිබී වැඩුනා කල් පුරා
ඉරට ආ වඩා දුන්න පැහයට නේක හරසර පුද පුදා
මහළු මඩමක සිදුරු හදවත් ඇත දෑස් තව දල්වලා
තුරුණු ලැමහස පිරුණු මල් මී උරා මත් වී රොන් සලා
අනඟ බඹරුන් රඟන රැඟුමින් කැකුළු මල් විකසිත වෙලා
හීත හුණුහුම තනිව විද විද කැදලි අහිමිව බිම හෙලා
පුංචි පැටවුන් පරිවාසකර තියේ හදේ මැද හිල් හදා
මඟ හැරුන ජීවිතේ කඩ ඉම් සිතින් ඉව කර අල්ලා
සුසුම් ඊයම් බරුව ගිලගෙන හෙලන්නටවත් ඉඩ නොලා
විදින විදවන සිහින මඟහැර හැල්මේ ම තව දුර දුවා
අපි මියෙන්නේම දවසක – හරි අඩක් හිස් හද නිසා
නයනශාන්ති දිසානායක – ශ්‍රී ලංකාව