අබුද්දස්ස කාලේ ඉස්කෝලෙ නෝනා
රන් හසුන් වන නෙරූ පියයුරු මුදාහැර හැට්ටයෙන් එළියට
ඇඟට හිරකර ඇන්ද සාරිය දුහුල් වැඩිදෝ මන්දා සිරුරට
high heels දා නිතඹ නළවා නෝනා ඇවිදන් යන උජාරුව
බලන්නටදෝ මන්දා වට පිට කොල්ලො උදයෙම බැස්සෙ එළියට
හදිස්සියකින් වත්ද මන්දා තන පටක් නැතිවමද ඇන්දේ
හැට්ටෙ කටු ටික වසාගන්නට නොවෙද සාරියෙ පොටක් ඇත්තේ
අපේ කාලේ විතරදෝ ගුරුලියන් හැමදා කොන්ඩෙ බැන්දේ
දෙතිස් වසරක් පුහුණු ගුරු වූ අම්මා නම් නෑ ඔහොම ඇන්දේ
Silk සාරිය ‘කැලේ’ නෝනේ ඇන්ද නම් කපු රෙද්දෙ ඔසරිය
හරිම චාමෙට තියෙයි නෝනේ කොන්ඩෙ බැන්දොත් එක්ක හවරිය
වැසිය යුතු තැන් එළියෙ නම් කොයි දිනන්නෙද ළමයින්ගෙ භක්තිය
ඇයිද වෙන්දේසියේ දැම්මේ මගේ ඇස්වල පරම භුක්තිය
ඉඟට ඉස්සර ඇන්ද සාරිය අහෝ! වැටිලා ඉණෙන් පහළට
වියත් දෙකකුත් ටිකක් පළලයි නිරාවරණය වෙච්ච බණ්ඩිය
රෑට කළුවරෙ තුරුල්ලට ගෙන හෙමි හෙමින් කිතිකවන නාභිය
අනේ අම්මපා! එළියෙ නොවැ දැන් සීලේ කැඩෙනවා රැක්ක අයෙකුට
මෙහෙම කිව්වට අනේ නෝනේ හිතන්නටවත් එපා අහිතක්
ඉරිසියාවට නොවේ මං මේ අකුරු කෙරුවේ උදේ වරුවක්
මූණ දැකලා කෙනෙක් කිව්වොත් “දැකලා නෑ මේ වගේ සිරියක්”
එච්චරයි! වෙන කුඩු කේඩු බස් අහන්නට දැන් නෑනෙ පිරියක්.
ක්‍රිෂාන්ත වෑවිට – වෙලින්ටන්