අරළු බුළු නෙල්ලි තැම්බූ ඔසුව නැතේ
බඩ විරේක අපහට දැන් මතක නැතේ
මී පැණි සහිද ලුණු ප්‍රතිවාතෙට ගත් ඒ
කසාය මුට්ටිය අපහට අහිමි වුණේ
උගුරේ රිදුම හෙම්බිරිසා කැස්ස නැසූ
ඉගුරු කොත්මල්ලි ද වෙනිවැල්ද යෙදූ
ගුණයෙන් සපිරි එම ඔසු පැන ඉවත දැමූ
අපි අද ‘ඇන්ටිබයිටික්’වල සරණ යමූ
දහවල බත් හැලියෙ දංකුඩ වතුර දමා
හිමිදිරි උදේ රසකර දිය බත හැදුවා
බඩේ රෝග මේ ඔසුවෙන් සුව වූවා
රයිස් කුකරයෙන් දංකුඩ අහිමි කළා
නොමිලේ බෙහෙත් දුන් ඩිස්පැන්සරි ගම ඇතුළේ
‘ඇන්ටිපා’දුන්නෙ පණු රෝගෙට ඒ කාලේ
එරබදු කොළ මැල්ලුමයි අපෙ අම්මලා දුන්නේ
පණු පෙතිවලට අද ඒ තැන හිමි වන්නේ
කෑම රුචිය වැඩි කෙරුමට ඒ කාලේ
කෑමට පෙරාතුව තැම්බුම් හොදි බිව්වේ
මේ ගැන නොතකනා මිනිසුන් අද කාලේ
‘ජින්ජබියර්’බොයි කෑමට පෙර මේසේ
කොල්ලු සුදු ලූණු තැම්බූ වතුර එදා
වාත රෝග බඩ පිපුමට ගුණ දුන්නා
මේවට අකුල් හෙලනා අපගේ හෙළයා
සොයලා කනවා අද ‘ඩයිජින්’පෙති හපලා
රසයෙන් ගුණෙන් පිරි පළතුරු පලා නෙලා
කොස් දෙල් අල ජාති එළවළු කෑවෙ එදා
මේවා අතැර හැම්බගර් පුරුදු වුණා
බෝ නොවනා රෝග දස අත පැතිර ගියා
පඩ වැලෙ පස් පංගුවම තම්බා බීලා
මුත්‍රාශයේ ගල් දිය කර හැරියෙ එදා
ස්වාභාවිකව ලද මේවට අකුල් හෙලා
Surgery වල පිහිට පතනව අද හෙළයා
උක් තේ කෝපි ගස් දීලා සුද්ද ගියා
තේ කොළ සීනි පිටි දැමු තේ රස වැටුනා
රණවරා බෙලිමල් ද ඉරමුසු මග හැරුනා
පෑල දොරින් හෙළ ඔසු පිටමන්ව ගියා
බටහිර වෙද කමින් ලොකු ලෙඩ සුව කෙරුවා
එම ලෙඩ ඒම හෙළ ඔසුවෙන් මග හැරියා
අද කාලයේ මේහැම සුලු කොට තකලා
නිරෝගි ජීවිත අපහට අහිමි කළා
උජිතා රණවීර – වෙලින්ටන්






