fbpx
17.1 C
New Zealand
Sunday, October 11, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

නරසීහ ගාථා | අනූ වීරකෝන් | වෙලිංටන්

Must read

‘කීයද ගාන’.

‘350යි මිස්. මීටරේටනේ දුවන්නේ. ගාන මීටරේ තියෙනවා’.

කවදත් නඟින්නේ මීටර් ත්‍රීවීරල්වල කියන එක මතකෙන් ගිලිහුනි. ඔළුව පැටලිලා තියෙන ප්‍රශ්න ටික විසඳුනේ නැති නිසා ඔළුව තවම අවුල්ය.

හෙමින් ගේට්ටුව පැත්තට යනකොට අම්මයි තාත්තයි ඉස්තෝප්පුවේ ඉන්නවා පෙනේ.දැන් ඉතින් ප්‍රශ්න පත්තරයකට උත්තර ලියන්න වෙන බව නම් පැහැදිලිය.

‘මොකද ඔය මූණ කළු වෙලා. ඔය නාඩගම ඉවරයක් කරගත්තේ නැද්ද අදවත්. මහා ලොකුවට දහම් පාසල් ගියා පොඩි කාලේ ඉඳලාම. ධර්මය ගැන කියලා දුන්නා. උපේක්ෂාව, ජීවිතයේ ඕන දෙයක් සම සිතින් මුහුණ දෙන්න ඕනේ කියන ඒවා ධර්මය ඇතුලේ මොනතරම් තියෙනවද? ඇහිලා තියෙනවද? එකක්වත් ඔළුවට ගිහිල්ලා නෑ,’යි හෑල්ලක් කියාගෙන යයි.

තාත්තා බල බලා හිටිය පත්තරේ පැත්තක තියලා අම්මා දිහා බැලුවේ කණ්නාඩිය ගලවමින්ය. තාත්තගෙ ඔය බැලිල්ලට මල්ලිලයි මමයි කියන්නේ ‘ලුක්’ එක දෙනවා කියලා. ඒ බැල්ම කියන්නේ දැන් ඔය කතා කරා ඇති කියලා කරන අනතුරු ඇඟවීම.

‘ලොකු දුව මේ අහන්න, ඉවරවෙන ගනුදෙනු දිගටම අරගෙන යන්න කාලය නාස්ති කරන එක තේරුමක් නැහැ. කාලය කියන්නේ බොහොම වටින දෙයක්.’

ඔන්න ඉතින් තාත්තගෙ වාරය. අම්මගේ කට වසා ලබා ගන්නා ලදී. ඒක හරියට ප්‍රයෝගික ජීවිතයේ දේශන මාලාවේ ඊළඟ එපිසෝඩ් එක පටන් ගත්තා වගේය.

මේ දෙන්නගෙන්ම ගැලවෙන්න නම් මෙතනින් යන්නම වෙනවා.

‘අනේ මට ටිකක් පාඩුවේ ඉන්න දෙන්නකෝ. මම මගේ ප්‍රශ්න විසඳ ගන්නම්,’ කියාගෙන මා මගේ කාමරයට යනකොට ලොකු මල්ලි සාලේ ගිටාරය බදාගෙන පොතක මොනවාදෝ ලියනවා පෙනේ.

මං ආවා කියන එකවත් ඉස්තෝප්පුවේ කතාවවත් එයාට අදාළම වුණේ නැති බව පෙනේ. ලොකු මල්ලි කවදාවත් ඉන්නේ සෞන්දර්ය ලෝකයෙන් ජීවිතය ජය ගන්නය. උසස් පෙළ ඉවර වුණත් පොත් ටිකක් රෝල් කරගෙන ගිටාර් එක පිටේ බැඳගෙන එහෙ මෙහෙ යනවා ඇරෙන්න වෙන වැඩක් ඔහු කරන පාටක් නොපෙනෙයි. ඒත් ඒ කිසිවක් අම්මටත් තාත්තටත් ප්‍රශ්නයක් වී නොමැත.

මම බෑග් එක ඇඳ උඩට විසිකර කාමරේ ජනේනේලය ළඟ සිට ගත්තෙමි. හෙමින් හෙමින් කළුවර ගලාගෙන එන බව දැනුනේ අහසෙ තාරකා ලාවට පේන්න තියෙන නිසාය.

කාමරයෙන් එපිට අම්මා තවම ධර්ම දේශනාව සැරට කරගෙන යනවා ඇසේ.

‘ධර්ම කරුණු තේරුම් ගන්න තරම් පින් මදි ළමයි,’  කිය කියා ඇය එහෙ මෙහෙ යනවා ඇසේ.

‘මොකද හලෝ අර අම්මා පරලවෙලා?’ පොඩි මල්ලි කාමරයට කඩා පැන්නේ ජනේලේ ළඟ හිටිය මා අඩි කීපයක් පස්සට විසි වෙන තරම් සද්දෙන් අසාගෙනය.

‘අනේ මම දන්නෙ නැහැ. එයාට ඉතින්  පොඩ්ඩක් ඇතිනේ මුළු සූත්‍ර පිටකයම දිග ඇරගෙන ධර්ම දේශනාව කරන්න මට,’යි මම කීවෙමි.

‘අම්මේ ඕගොල්ලෝ ධර්මය හැමතිස්සෙම අල්ලන්නන් වැරදි තැනින්. ඕකට කියන්නේ ‘wrong end of the stick’ කියලා.’

මගේ පැත්තට එල්ල වෙමින් තිබිච්ච පන්දු ටික සාලේ හිටිය ලොකු මල්ලි ඒ පැත්තට හරවා ගන්න පාටක් පෙනේ.

‘අන්න ලොකු අයියා වැඩේ ඉල්ලන් නාන්නයි යන්නේ.’ පොඩි මල්ලි මගේ ඇඳට පැන වාඩි වූයේ අතේ තිබුණු අඹ කෑල්ලෙන් පලුවක් මට දික් කරමින්ය.

මට බකස් ගා හිනා ගියේය. හැමදාම අපේ ගෙදර රණ්ඩුවක් හෝ පටලැවිල්ලක් පටන් ගන්න කෙනාගෙන් ඉවර වුණු සිරිතක් නැත. අද ද එසේ වන්නට යන ලකුණු පෙනේ.

‘නරසීහ ගාථා පාඩම් කරගෙන, තේරුම් කට පාඩම් කරගෙන, ඒවා දහම් පාසල් ළමයින්ටත් උගන්නපු ලොකු අක්කටනේ ඔය හිත හදාගන්න බැරිවෙලා මූණ දික් කරගෙන, කන්නෙ බොන්නෙ නැතුව දඟලන්නේ,’ අම්මා ආයෙත් හුස්මක් කටක් නැතුව කියාගෙන යයි.

‘මොනතරම් හොඳට යශෝධරා දේවිය ඒ විරහව අනිත්‍යය තුළින් දැකලා උපේක්ෂාවෙන් වින්ද ද? ඒකනේ එච්චර ලස්සනට බුද්ධ වර්ණනාවක් යශෝධරා දේවිය කරේ කිසි වෛරයක් නැතුව.’

අම්මා ආයෙත් පන්දුව මල්ලි වෙත දැම්මාය. එය නම් දුස්රා පන්දුවකි. නරසීහ ගාථා නම් මල්ලිට මතකයේ ඇත්දැයි සැක සහිතයි.

‘හුටා ලොකු අයියට වැඩේ වැරදුනා.’ චූටි මල්ලි කීව්වේ කොට්ටෙන් මූණ වසාගෙන හිනාවෙමින්ය.

තාත්තා තාම ඉස්තෝප්පුවේ දැයි හරියටම කීමට නොහැක. කාමරයේ දොර රෙද්ද හුළඟට හෙමිහිට ඈත් මෑත් වෙනකොට ලොකු මල්ලි තාම ඉන්නේ ගිටාරය බදාගෙන බව පමණක් පෙනේ.

‘අයියෝ ඔය නරසිහ ගාථාවල කියවෙන්නේ බුද්ධ ශරීරය ගැනද? ඕන නම් ඔන්න පද දෙක තුනක් තියෙනවා බුදුවරයෙක්ගේ ශරිර ලක්ෂණ. ඉතුරු ටිකේ ඔක්කොම කියන්නේ යශෝධරා දේවිය තමන්ගේ මහත්තයා වෙලා හිටිය සිදුහත් කුමාරයාගේ දේහ ලක්ෂණ ගැන. නැත්නම් බුද්ධ ශරීරයේ ලක්ෂණ එයා දන්නේ කොහොමද? ඔච්චර වෙනස් වෙච්ච බුදුහාමුදුරුවන්ගේ ශරීරය වෙනස් නොවී තියෙයිද? අනිත් එක ඔය ඈත එන බුදුහාමුදුරුවෝ ගැන ඔච්චර හොඳට ඩිටේල් එක්ක කියන්නේ කොහොමද?’ ලොකු මල්ලි හරවා පහරක් අම්මා එවූ දුස්රාවට එල්ල කළේය.

මමත් චූටි මල්ලිත් තරඟය අපිට වාසි අතට ලොකු මල්ලි හරවන බව දැනුන නිසා සාලයේ මේ කතා බලා හිටියේ කාමරයේ දොර රෙද්දට මුවා වීය.

අම්මාගේ සද්දයක් නැති විය. ලොකු මල්ලි ඒ නිශ්ශබ්දතාවයේ වාසිය එයාගේ පැත්තට හරවා ගන්න බව පෙනුනේ ඔහු කතාව ආයි පටන් ගත්ත නිසා ය.

‘එච්චර යශෝධරා දේවිය හරිම උපේක්ෂාවෙන් සාමයෙන් නම් හිටියේ රජ මාළිගාවට බුදුහාමුදුරුවෝ වැඩියම පහළට ආවේ නැත්තේ ඇයි? ටිපිකල් ගෑනු කියන කතාවක්නේ කිව්වේ. ඕන නම් උඩට වඩින්න කියලා. යශෝධරා දේවී ඒ මුළු කාලෙම ඉඳලා තියෙන්නේ එයා එක්ක හිටිය, ජීවිතේ බෙදා ගත්ත මහත්තයගේ රස මතක එක්ක හැබැයි පොඩි එරියස් එකකුත් තියාගෙන. ඒත් එරියස් එක කමක් නෑ. මොකද දාලා ගිය විදිහට. ඒ කාලේ ලස්සනට විඳගෙන. හැබැයි ඒවා ඉස්සරහට හම්බවෙන්නේ නැති එක ගැන ඇත්ත තේරුම් අරගෙන ඉඳලා තියෙන්නේ. අම්මලා කියන තරම් රොකට් සයන්ස් එකක් නෑ ඕකේ. ඔය චුට්ට ලස්සනට තේරෙන විදිහට කිව්වනං මං හිතන්නේ අක්කට අල්ලන්න ඕන තැනින් ඕක අල්ල ගන්න පුළුවන් වෙයි.’

ලොකු මල්ලි මට කිවේ කාමරය දෙස බලමින්ය.

‘මාත් ඒකට එකඟයි. මේ දරුවන්ට ධර්මය කියලා දෙන්න ඕනෙ හරි තැනින් අල්ලන්න. විරහව විඳගන්න හොඳම විදිය තමයි ලැබුන දේ සුන්දරයි. ඒත් ඒක දිගටම ලැබෙන්නේ නැතිවෙන්නේ ඒ ගනුදෙනුව එතනින් ඉවර නිසායි කියලා තේරුම් ගත්තොත් විතරයි. යශෝධරා දේවියට ප්‍රඥාව තිබුණ නිසා මේ වැඩේට ඕන හරි survival strategy එක හොයාගන්න පුළුවන් වුණා.’

පැත්තක සද්ද නොකර හිටිය තාත්තත් අළු ගසාගෙන පිටියට ආවේ ප්‍රයෝගික දේශන මාලාවේ කොනක් අල්ලගෙනය.

‘නරසීහ ගාථා ටික අරගෙන අහමුද අම්මේ. අතිශය ප්‍රථම වතාවට අම්මට හිතෙයි අම්මගේ මේ පුතා උදාරයි කියලා.’ ගිටාරය පැත්තකට දමා ලොකු මල්ලි අම්මාගේ කරට අතදමාගෙන කීව්වේ ඇය පැරදීගෙන යන බව තේරීලා හිත රිදෙයි කියලා ඇති වුණු පුංචි දුකකටය. ඒ අපේ ලොකු මල්ලිය. මොන කතා කිව්වත් අනිත් අයගේ හිත රිද්දන්න එච්චර කැමැත්තක් ඔහු තුළ නැත. ලොකු මල්ලි ඉතා සංවේදී පුද්ගලයෙකි.

‘මේ ලොකු පුතා මම කියලා තියෙනවා ඔය ටෙලි නාට්‍යවල චරිත රඟපාන්න එන්න එපා ගෙදර කියලා. ඔය ලලයි ලිලයි එකේ ධනුශ්ක කියන පිස්සගේ චරිතේ බලලා ඔය කියන වචන ටික පාඩම් කරගන්නවට වැඩිය වෙන වැඩක් නැද්ද? ඕවා ඇත්ත ජීවිතවල වෙන්නේ නෑ,’ අම්මා කීවේ මල්ලි තරවටු කරන  හඬින්ය.

‘ඕකනේ අම්මලා එක්ක බැරි. හොඳ මිනිහට පිස්සා කියනවා. පිස්සට හොඳ මිනිහා කියනවා. ඒකනේ ඕගොල්ලන්ට තේරෙන්නේ නැත්තේ මේ ගෙදර ඉන්න ලොකුම පිස්සා මම නොවන බවත් මෙහේ ඉන්නේ ලොකුම පිස්සියෙක් වන ලොකු දුව පමණක් බවත්. ඒ පිස්සුව හොද කරන්න එක එක බෙහෙත් කළ යුතු බවත් ඕගොල්ලොන්ට තේරෙන්නේ නෑ.’

ලොකු මල්ලි හිනාවෙමින් දිගටම කියාගෙන ගියේ අම්මාගේ මුහුණ ඔහු දෙස හරවමින්ය.

ඔන්න ආයෙත් මගේ පැත්තට බෝලෙ කැරකෙන්නයි යන්නේ.ලොකු මල්ලි නරසීහ ගාථා ගැන කිව්ව කතාව ඇත්ත නේද? ඒ ගාථාවල බුද්ධ ශරීරය වර්ණනාවක් ද තියෙන්නේ? එහෙම නැත්තං සිදුහත් කුමාරයාගේ ශරීර ලක්ෂණ ගැනද කියන්නේ.

තාත්තා කියනවා වගේ යශෝධරා දේවිය මෙතනදී පාවිච්චි කරපු strategy එක බැලුවොත් ඔය මහා අතිශෝක්තිය පැත්තකට දාලා ඒක ඇත්ත ජීවිතයට ළං කරගන්න හරි ලේසියි නේද?

ආයෙත් නරසීහ ගාථා කියවල බලන්න ඕනේ.

චූටි මල්ලි මෙලෝ සිහියක් නැතුව අඹ ඇටය සූප්පු කරයි.

සභා තමෝ නිශ්ශබ්දය.

අනූ වීරකෝන් – වෙලිංටන්

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.