fbpx
11.5 C
New Zealand
Monday, April 29, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ටයිටැනික් සංචාරය – 03 කොටස | විජිත බණ්ඩාර හේරත් | එක්සත් රාජධානිය

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

~~ ටයිටැනික් ගිය වරායෙන්ම ගිය දින නවයක නෞකා ගමන ~~

අපේ සමුදුරේ පළමු රාත්‍රිය ගෙවී ගියා සතුටින්. කපිතාන්වරයා අපි පිළිගන්නා උත්සවය තමයි විශේෂම සිද්ධිය. රාත්‍රියේ සුව නින්දකට පසු අප ඇහැරුනා.  හැර තිබු ජනෙල් තිර අතරින් අපි දැක්කේ මහා සමුදුර නොව බොහෝ ගොඩනැගිලියි. නෞකාව ප්‍රචණ්ඩ සාගරය තරණය කර සුවසේ බෙල්ජියමේ බ්‍රසල්ස් වරායට සේන්දු වී ඇත. අපේ සුව නින්දේ සිටිය දී නෞකාවේ කාර්ය මණ්ඩලය කෙතරම් දේවල් කළමනාකරණය කරන්න ඇත්ද? අපි උදේ ආහාරයෙන් පසු ඓතිහාසික බ්‍රසල්ස් නුවර පැය 3ක සංචාරයක් සඳහා බස්වලට නැගිය යුතුය.   

මේ සුවිසල් නෞකාවේ දහස් ගණනක් වන මඟින්ගෙන් මේ සංචාරයට සහභාගී වුණේ දෙතුන් සීයක් පමණයි. බස් 4-5ක් පමණයි පැමිණ තිබුණේ. අපි හිතුවේ සියලු දෙනාම පාහේ එළියට යන්න කැමති වෙයි කියලා. නමුත් බොහොම අමුත්තන් නෞකාවෙම ගත කිරීමට තමයි කැමති වෙලා තිබුණේ. නැවත කියන්නේ ඒක තමයි මේ සංචාරයේ වෙනස. නෞකාව හා මුහුද. නෞකාව තරු පහේ හෝටලයක්. නැවතුනු අමුත්තන්ට සියලු ආතල් තිබුණා නැව ඇතුලේ ම. සිනමා ශාලා, නර්තන ශාලා, ක්‍රීඩාංගන, කාය වර්ධනාගාර, පිහිනුම් තටාක, දියමත ලිස්සා යාමේ ජල ක්‍රීඩා, ආපන ශාලා, තැබෑරුම්, ආදිය එක්ක.   

අද හවස් වරුවේ අපි නැවත පිටත් විය යුතුයි.

දැවැන්ත නෞකාව සාඩම්බරව බ්‍රසල්ස් වරායේ නැංගුරම් ලා ඇත. උපදෙස් අනුව උදෑසන ආහාරයෙන් පසු සීත ඇඳුම්වලින් සැරසී නැවෙන් ඇතුළු වූ දොරටුවෙන්ම වරායේ වේදිකාවේ පය තැබුවා. සාගරයේ මිසක් පසක අඩිය තියෙන පළමු වතාව ලන්ඩන් වරායෙන් පිටත් වුණාට පස්සේ. එතන සිටි විනීත සේවිකාවන් අපේ කරේ එල්ලගෙන තිබෙන ID කාර්ඩ් එක ස්කැනයක සටහන් කළේ අපි නෞකාවෙන් පිටවූ බව.

රටවල් නොව නෞකාව හා සමුදුර නිවාඩුව ලිවිම ලිපිය අරමුණ නමුත් අධ්‍යාපනය සඳහා බ්‍රසල්ස් අගනුවර වූ බෙල්ජියම ගැන කෙටි සටහනක් තබමි.

බෙල්ජියම බටහිර යුරෝපයේ දීර්ඝ දේශීය හා සමුද්‍ර ඉතිහාසයක් සහිත ලොව සමෘධිමත්ම රාජ්‍යයක්. ප්‍රංශ හා ලන්දේසි කතා කරන කොටස් ලෙස මේ රටේ ප්‍රධාන දෙකොටසක් ඉන්නවා. බොහෝ අය හිතනවා ඒ නිසා සුවිසල් රටක් කියලා. නමුත් එහි විශාලත්වය දළ වශයෙන් ලංකාවෙන් භාගයක් විතර. ඒවගේම ජනගහනයත් ලංකාවෙන් භාගයක් වගේ (මිලියන 11.4යි). බෙල්ජියම අසල්වාසීයි නෙදර්ලන්තය, ජර්මනිය, ප්‍රංශය,  ලක්සේම්බර්ග් හා අප යාත්‍රා කරන උතුරු මුහුදට.

බෙල්ජියමේ තවම තියෙනවා රජ පවුලක්. එංගලන්තේ රජ පවුල මෙන් ලෝක ප්‍රසිද්ධ නැතත් ඔවුන් බොහෝ ධනවත්. විධායක බලයක් නම් නැහැ. බෙල්ජියම ඉතාම පිරිසිදු පළවෙනි ලෝකයේ රටක්. ඒ රටේ ජන ජීවිතය ඉතා නවීනව හොඳින් සංවිධිතයි. කෙතරම් සංවිධිත ද කිව්වොත් 2010-2011 අතර දින 600කට ආසන්න කාලයක් එරට කළමනාකරණය දිගටම ගෙනගොස් තියෙනවා ආණ්ඩුවක් නොමැතිව. ඒ පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගැනීමට නොහැකි වූ තත්ත්වයක් නිසා.  නමුත් ඒ රටේ සියයට සියයක් ම ජන ජීවිතය එලෙසම ක්‍රියාත්මක වෙලා තියෙනවා. හේතුව ඒ රටවල් ක්‍රියාත්මක වෙන්නේ නීති හා ප්‍රතිපත්ති මත මිසක් පුද්ගලයන් මත නොවීමයි. බෙල්ජියමේ මේ සිද්ධියෙන් ඇත්තට ම රටවලට ආණ්ඩු අවශ්‍යද කියලා හිතන තත්ත්වෙටත් ආවා.

දැඩි ශීත කාලගුණයක් සහිතයි මේ රාජ්‍යය.  බ්‍රසල්ස් අගනුවර දියමන්ති පුරයක්. ලොව සංසරණය වන දියමන්තිවලින් භාගයකට ආසන්නව බ්‍රසල්ස් හරගා ගමන් ගනියි. කෙතරම් ආදායමක් ඉපදෙනවා ඇද්ද මේ කුඩා රටට. මේ දියමන්ති බොහොමයක් අප්‍රිකානු රටවලින් එන්නේ. ලේ තැවරුණු දියමන්තිත් (blood diamonds) ඔය අතර තිබීමේ ඉඩකඩ ඉහළයි. 

ඔවුන්ගේ අනෙක් ආදායම තමයි චොක්ලට් නිෂ්පාදනය. පැණි රස නොයෙදු, කොකෝ රසය වැඩි, කළු පැහැති දියවැඩියා රෝගීන් අතර ජනප්‍රිය බෙල්ජියන් චොක්ලට් (Belgian Chocolate) තමයි විශේෂ. නමුත් අපිට පුරුදු පැණි රස පුරුදු ජාතියක් නිසා අනෙක් සාමාන්‍ය චොකලට් තමයි ප්‍රිය. පොඩි කාලෙම පැණි රසට පුරුදු කරවීම අපේ බලවත් දුර්වලතාවයක්.  යුරෝපීයයන් එහි අනෙක් පැත්ත.

1950 ගණන්වල රෝමන් හොලිඩේ (Roman Holiday) ලොව සුපතල හොලිවුඩ් චිත්‍රපටය මතකද? එහි රඟපෑ සිය පළමු රංගනයෙන්ම ඔස්කා සම්මානය දිනාගත් ඔඩ්රි හෙබර්න් (Audrey Hepburn) ඉපදිලා තියෙන්නේ මේ බ්‍රසල්ස්  නගරයේ තමයි. 

නැවත අපේ නෞකාවේ සිට බ්‍රසල්ස් නගරයේ පැය 3ක බස් රථ සංචාරයට. එහිදී මට හොඳින් මතක හිටියේ එහි නගර මාධ්‍යයේ රජ මාළිගය. එතන ඉස්සරහා පාරේ අතුරා තිබෙන්නේ පැරණි කළුගල්. එතනින් යන වාහන දඩ දඩ ගා ගැස්සෙයි. ඒකෙ වාසිය තමයි රථයේ වේගය අඩුවීම නිසා දඩ දඩ ගා ඡායාරුප ගැනීමට හැකි වීම. බෙල්ජියමුන් හොඳට කන බොන උදවිය බව පෙනුනා. හැමවිටම ආපනශාලා, බාර් පිරි පවතී. හිනාවෙමින් කතා කරමින්, කමින්, බොමින් සතුටින් ඉන්න ජාතියක් කියලා තමයි මට පෙනුනේ.

 හැමෝම නරඹන්න යන තැනක් තමයි සිනාසෙමින් පොකුණකට මූත්‍රා කරන පිරිමි දරුවෙකුගේ කුඩා තඹ පිළිරුව. මේ කතාව වර්ෂ 1300 දක්වා වගේ අතීතයට ගෙන යන්නක්. මේ කුඩා ප්‍රතිමාවේ පින්තුරයක්වත් ඔබ දැකලා ඇති කියලා හිතනවා. මේ හුරුබුහුටි ප්‍රසන්න දරුවා යම් ඛේදවාචකයකට මුහුණ දී ජීවිතක්ෂයට පත් වී තිබෙනු ඇසීම ශෝකජනකයි.

අපි ඉක්මනින් ඊළඟට ගියේ 1958 දී ලෝක සමුළුවක් වෙනුවෙන් දැවැන්ත යකඩ බෝල නවයක් එකිනෙකට සම්බන්ධ කර තැනූ සුවිසල් Atomium එකට. මේ පින්තුරයේ පහළ සිටින වාහනවල ප්‍රමාණය සලකන කොට අර ආකෘතියේ විශාලත්වය අවබෝධ කරගත හැක. වර්තමානයේ මෙය බ්‍රසල්ස් නගරයේ සංකේතය ලෙස සැලකෙනවා. බෙල්ජියම ලස්සනම දියුණුම රටක්. වැසියන් හාස්‍ය උත්පාදනයට, කෑමට බීමට, මෙන්ම විද්‍යාත්මක සොයා ගැනීම්වලට සමත් පිරිසක්.

අපි සාම්ප්‍රදායික බාර් (pub) එකකට ගොඩ වුණා. එහි දි කෙටි ආහාරයක් හා පළතුරු යුෂ බී (මම නම් ස්ටවුට් එකක් බීවා) නැවත මේ කෙටි බස් සංචාරය නිමවා වරාය වෙත පිටත් වුණේ අපේ නෞකාවට අවතීර්ණ වීමට. අපි ඉක්මනින් ළඟා වුණා වරායට. නෞකාව දුටුවම දැනුනේ අපේ ගෙදර ආව වගේ. ඔක්කොම එක්ක සන්සුන්ව පෝලිමේ ගෙහුං අපි නෞකාවේ දොරටුවේ පාලමින් එයට ඇතුල් වන විට නැවත අපේ ID කාඩ් ස්කෑන් කරනු ලැබුවා. එළියේ සීතලයි. නෞකාව ඇතුලේ හොඳින් උණුසුම්. 14 වැනි මහලේ අපේ කාමරයට ආ විට දැනුනේම ගෙදර ආවා වගේ.

අපි නෞකාවේ බැල්කනියට ආවේ සිරි නැරඹීමට. බොහෝ අමුත්තන් ද බැල්කනියට පැමිණ  බීර ආදිය බොමින් සිටියා. ඔවුන් සමහරු අත වනා  සුහදශිලිත්වය දැක්වුවා. කෙමෙන් සන්ධ්‍යා භාගය පැමිණියා. විශාල දුම්බට හතරෙන් විශාල දුම්කඳක් පිටවෙන්න ගත්තා. දැවැන්ත එන්ජින් ක්‍රියාත්මක  වෙනවා යන්තම් දැනෙනවා.

නෞකාවේ ඉදිරිපස වම් පැත්තේ මුහුදු මට්ටමට ආසන්නව වායු බටවලින් තදින් සාගර දිය ඈතට තල්ලු කිරීමෙන් කෙමෙන් නෞකාවේ ඉදිරි පස හෙමින් අපි පිටත්ව යන දිශාවට හරවනු ලැබුවා. කෙමෙන් වේගය වැඩි කරමින් නෞකාව පිටත් වුණා.

එදා රාත්‍රියේ අපි භීතියෙන් මුසපත් කරවන දෙයක් වුණා. රාත්‍රීයේ නෞකාව ඇතුලේ නගරයේ පාගමනින් ගමන් කරද්දී එහි තිබු සුවඳ විලවුන් සාප්පුවක විලවුන් බෝතලයකින් අපේ කුඩා පුතු වැරදීමකින් විලවුන් ඇහැට විද ගත්තා.  එයට ඇත්ත වශයෙන් ම වග කියන්න ඕනේ ඒ සේවිකාවන්. මේවා ළමයින්ට දෙන දේවල් නෙවෙයි. පුතා වේදනාවෙන් කෑගසයි. අසාමාන්‍ය ලෙස වම් ඇස රතු වී ඉදිමි තිබුණා. මට තරහා ගොස් සේවිකාවකට බැණ වැදුන විට ඔවුන් වහා වෛද්‍ය අංශය ඇමතුවේ සමාව ඉල්ලමින්.

මම මේ නෞකා සමාගමට නඩු දානව (I will sue this shipping company) කියපු ගමන් ඔවුන් හොඳටම භ්‍රාන්ත වුණා. දරුවා හඬනවා දැක්ක බිරින්දෑ ද දුව ද  බියපත්ව හඬන්න ගත්තේ මාව තවත් අසරණ කරමිනි. කෙසේ හෝ ඉක්මනින් වෛද්‍ය අංශයෙන් හෙදියන් දෙදෙනෙක් ආවා. දරුවා ට්‍රොලියක තබාගත් ඔවුන් සමඟ අපිත් විශාල සෝපානයක් හරහා නැවතුනේ නැවේ පහළම මාලයේ.  දැන් අපි ඉන්නේ මුහුදු මට්ටමින් යට නැවේ යටම තට්ටුවේ. එහි තිබුනේ කුඩා රෝහලක්.

දරුවා කෑ  ගසද්දී වෛද්‍යවරු ඇසට ඖෂධ ඇතුල් කළේ මම දරුවා දැඩිව අල්ලාගෙන සිටිය දී. ‘තාත්තා’ කියමින් බියපත්ව වේදනාවෙන් හඬන දරුවා දැක මට ඇති වුණු වේදනාව කියා නිම කළ නොහැක. ඖෂධ ඇතුළු කිරීමෙන් පසු විනාඩි කීපයක දී වේදනාව කෙමෙන් අඩුවෙන බවක් පෙනුනා. වෛද්‍යවරු පැවසුවේ පැයක් පමණ දරුවාගේ තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා රැඳී සිටින ලෙසයි. පුතාට නින්ද යාම සඳහා එන්නතක් ලබා දුන් විට ඔහු හෙමින් හැඬිම නවතා නීද්‍රාගත වුරනේ අපිට පුදුම සහනයක් ඇති කරමින්.

වෛද්‍යවරු අපට කලබල නොවන ලෙස  දැනුම් දුන්නේ, කෝපි ආදියත් පිරිනමමින්. අද මහා භයංකර හැන්දෑවක්. මේ වන විට රාත්‍රී  නවය පමණ ඝන අඳුරේ නෞකාව වේගයෙන් ඉදිරියට ඇදෙයි. දැන් අපි ඉන්නේ නෞකාවේ පතුලේම, මුදු මට්ටමටත් පහළින්. කොතන හරි හිලක් හැදුනොත් ඉවරයි. ටයිටනික් වගේ.    

ඒ මුස්පේන්තු හැඟීම වැඩි කරවන දෙයක් එතැන දී තව දැක්කා. එනම් අපිට යාබදව අදුරු පෙදෙසක තිබු තවත් කාමරයක්.  ඒ තමයි මිනී කාමරය. හදිසි මරණයක දි ඊළඟ වරාය තෙක් සිරුර තබන ශීතකරණය.  දැන් මේ මිනිකාමරයේ අපි දන්නා කෙනෙක් මියගොස් තිබෙනව ද කියලා ඇසු විට ඔවුන් සිනාසී කිව්වේ ‘තවම නැහැ. එහෙම නොවේවායි ප්‍රාර්ථනා කරනවා’ කියලා.(හැබැයි මීට පෙර චාරිකාවේ දී වයසක දෙදෙනෙක් එසේ මියගොස් තිබුණ බව ඔවුන් පවසා සිටියා). මෙතන ගත කළ පැයකට වඩා වැඩි කාලයේ දී වෛද්‍යවරු  හා සේවක මණ්ඩලය අපිට බොහෝ සුහද වුණා. පුතා සුවසේ නිදි. වරින් වර වෛද්‍යවරු ඔහු පරීක්ෂා කරයි.

මේක ආරංචි වී අපේ කාමරයේ බට්ලර්  පිලිපීන ජාතික සහායක කෙවින් ද දිව ආවා. අර විලවුන් සාප්පුවේ දෙන්නෙකුත් ආවා නැවත සමාව ඉල්ලන්න. මගේ තිබු කේන්තිය, අවිනිශ්චිත බව කෙමෙන් පහව ගොස්ය.  අපිට පුතා එක්ක යන්න පුළුවන් තරම් සුවයි කියලා වෛද්‍යවරු   දීර්ඝ නිරීක්ෂණවලට පසු අපිට දැනුම් දුන්නා. ඔවුන් තවත් වේදනානාශක ලබා දී සුළු හරි  වෙනසක් වුණොත් අමතන්න, අපි ඉක්මනට ඔයාලගේ කාමරයට එන්නම් කියමින් අපිට සමු දුන්නා. නිදාගෙන සිටි පුතා වඩාගෙන කාමරයට යනකල්ම අරන් ගියේ අර කෙවින්. මේ වෙනකොට අපි නෞකාවේ බොහෝ දනා හඳුනාගෙන අවසන්. තමන්ගේ ගම වගේ තත්ත්වයක්. අපි වෙන කොහෙවත් නොගොස් කලින් නිදා ගත්තේ පුතාට ආයෙත් බෙහෙත් පොවලා.

නෞකාව වේගයෙන් කෑලි කපන අඳුරේ ඉදිරියට ඇදෙමින්. පුරා දවස් දෙකක් අපි මහා සාගරයේම ගත කරන්න නියමිතයි දැන්.

ඊළඟ කොටසට-

  • එහිදී නෞකාවේ තවත් නරඹන්නට නොහැකි වූ තැන්, පුතාගේ අනතුර අසා කපිතාන්වරයා අපේ කාමරයට විශේෂ පණිවුඩයක් එක්ක එවූ සුරූපී ලේකම්වරිය.
  • නාන තටාකයේ දී එක්වරම නෞකාව ගැස්සිමක දී වතුර එළියට විසි වී මා තටාකයේ බිත්ති ළවල නොහැප්පි බේරුන හැටි.
  • උදෑසන නැව වටේ ව්‍යායාමයට දිවීම, සහිතව ඊළඟ කොටසින්. අපි බටහිර යුරෝපයේ සමෘධිමත් ඩෙන්මාර්කයට තමයි ඊළඟට පාතබන්න නියමිත. 

By Vijitha Bandara Herath – UK

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.