fbpx
10.6 C
New Zealand
Thursday, September 17, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

හඬනා සිතකිනි ඔබට සුබ පතන්නේ | ආචාර්ය සුරංග දිසානායක | ඩනීඩින්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

‘ප්‍රියා දෙවන මනමාලයාගෙන් ඉල්ලලා තියෙන්නේ ….  සහෝදරත්වයෙන් වැළඳගෙන මනාලියට හාදුවක් දෙන්න කියලා. නමුත් දෙවන මනමාලයා නෙමෙයිලු හෙල්ලුනේ. කීපවරක් ඇවිටිලි කළත් දෙවන මනමාලයා එහෙම කළේ  නැතිලු. බිම බලාගෙන හිටියලු.’

මෙවර ප්‍රියානන්දයන් අතින්  ලියවුණු ගී අතරින් මතකාවර්ජනය කෙරෙන්නේ හරිම අමුතු ගීයක් ගැන. හරියටම කිව්වොත් අකරතැබ්බයක් ගීතයක් බවට පත්වීමක් වගේ දෙයක්. ඒ ගීතය තමයි ‘කෙළෙසද  කිව මැන සිපගත් දෑතට මංගල මල් කළඹක් දෙන්නේ’ ගීතය. එක්දහස් නවසිය අනූ ගණන්වල මුලභාගයේ ගීතයක් අහන වයසක සිටි ඕනෑම කෙනෙකුට මේ පද පේලිය ඇසුණු ගමන්ම මේ අපූරු ගීතය මතක් වෙනවා නිසැකයි. 

ඒ දිනවල ප්‍රියානන්දයන් වැඩ කරලා තියෙනවා පෞද්ගලික ටෙලි සිත්තම් නිර්මාණය කරන සමාගමක. මේ සමාගම විවාහ මංගලෝත්සව රූපගත කිරීම්වලත් යෙදුනලු. එවන් කටයුත්තක දී ප්‍රියාට භාරවෙලා තිබුණේ මංගල උත්සවයට පෙර සිදුවන මනාලියගේ ගෙදර රූප ගතකිරීමලු. ඔබ හැමෝම දන්නවා වගේ මේ අවස්ථාවේ සිදුවන දෙයක් තමයි දෙවන මනමාලයා අතින් මනාලියට මල් කළඹ දීම.

අවස්ථාවට සියල්ල සූදානම්, දෙවන මනාලයා මනාලියට මල් කළඹ දුන්නලු. ඡායාරූප ශිල්පියෝ අවස්ථාව ඡායාරූප ගත් කළාලු. මේ වෙලාවේ තමයි ප්‍රියා ඉල්ලලා තියෙන්නේ දෙවන මනමාලයා ගෙන් මනාලියට හාදුවක් දෙන්න කියලා. ඒ කියන්නේ සහෝදරත්වයෙන් වැළඳගෙන හාදුව දෙන්න කියලා. නමුත් දෙවන මනමාලයා නෙමෙයි ලු හෙල්ලුනේ. කීපවරක් ඇවිටිලි කළත් දෙවන මනමාලයා එහෙම කළේ  නැතිලු. බිම බලාගෙන හිටියලු. ඔන්න ඔතනදි  ප්‍රියාට නිකමට හිතුනලු මේ දෙවන මනමාලයා අද දීගෙක යන මනාලියගේ පෙරදිනයක පෙම්වතා ද දන් නෑ කියලා. මෙන්න මේ සිතිවිල්ල හිමිහිට ප්‍රියාගේ මෂ්තිෂ්කය තුළ තැම්පත් වෙලා තිබුණලු. හරියට වැලි කැටයක් බෙල්ලෙකුගේ කටුව ඇතුළට ඇතුළු වුණා වගේ.

ඊට අවරුදු දෙකකට විතර පස්සේ, ප්‍රියා, සනත් නන්දසිරි ශූරින් එක්ක ඔහුගේම නවාතැනේ දී සතුටු සාමිචියේ යෙදිලා ඉන්න වෙලාවක එතැනට  ආවලු කමල් චිත්‍රසේන. එවකට සනත් නන්දසිරියන්ගේ ගෝලයෙක්. එතැනදී කමල් කිව්වලු ‘ප්‍රියා අයියා, මම මගේ කුළුදුල් කැසට් එක කරන ගමන් ඉන්නේ. මට ‘හිට්’ වෙන්න සින්දුවක් ලියල දෙන්න’ කියලා. ඉතින් ඊට පස්සේ ප්‍රියාගේ මීට අවරුදු දෙකකට විතර ඔළුව ඇතුලේ පැළපදියම් වුණු මේ අමුතු සිතිවිල්ල පද පෙළකට පෙරළුනාලු. හරියට මුතු බෙල්ලෙකුගේ කටුව ඇතුළට ඇතුළු වුණු වැලි කැටය මුතු කැටයක් වුණා වගේ.

ගීතය ලියලා ඉවර වුණු ගමන් ලියපු තවත් ගීතයකුත් එක්ක දුන්නලු කමල්ට. තවත් දවසක, සනත් ගේ ගෙදරදීම, සනත් ඉස්සරහම. එතැනදී ප්‍රියා  කිව්වලු මේ ගීතය කිවොත් අනිවාර්යයෙන්ම ‘හිට්’ වෙයි කියලා. මොකද මේ ගීතයේ තියෙන්නේ  දුර්ලභ සිද්ධියක් නිසා. කමලුත් මේ ගීතයට බොහොම කැමතිවෙලා එවෙලේම ගුරුතුමා, සනත් නන්දසිරියන්ට දුන්නලු සංගීත නිර්මාණය සඳහා. සනතුත් කිව්වලු ‘මේක නම් නියමයි’ කියලා. ඔන්න ඔහොමයි පද රචකයා, ගායකයා සහ තනු නිර්මාපකයා යන සුසංයෝගයෙන් මේ අමුතු ගීතය බිහිවුණේ. නමුත්  ප්‍රියා කියන්නේ මේ සිද්ධිය දුලබ වුණත් වෙන්න පුළුවන් දෙයක් කියලා. ඒකට උදාහරණයක් ප්‍රියා දුන්නේ ඔහු මුහුණදුන් අත්දැකීමකින්මයි.

ඈත පළාතක සංගීත ප්‍රසංගයක් තිබුණලු. පූරක විදියට ඉඳලා තියෙන්නේ ප්‍රියා. කමල් වේදිකාවට නැගලා, මේ ගීතය කියලා අන්තිමට කිව්වලු ගීතය ලිව්වේ අද මේ ප්‍රසංගයේ නිවේදක ප්‍රියානන්දයන්  කියලා. ප්‍රසංගය ඉවරවෙලා, නිවේදන කටයුතු  අහවර කරලා වේදිකාවෙන් බහිනකොටම තරුණයෙක් ප්‍රියා ළඟට දුවගෙන ආවලු. ඇවිල්ල ඇහුවලු ‘මහත්තයා මට කෝචොක් කරන්නද අර සින්දුව ලිව්වේ’ කියලා. ප්‍රියාගේ ප්‍රශ්නාර්ථ මුහුණ දැකලා මේ තරුණයා කිව්වලු මේ දේ ඔහුට සිදුවුණා කියලා. නමුත් ඔහු මගුල්ගෙදර යනකම් දැනගෙන ඉඳලා නෑ මනමාලි ඔහුගේ පරණ පෙම්වතිය කියලා. මොකද ආදර සම්බන්ධය බිඳුනම ඔහු විදේශ ගතවෙලා.  කාලයක් ඉඳලා ඇවිල්ල තියෙන්නේ යාළුවගේ මගුල් ගෙදර ආසන්නම දවසකමලු.

මේ ගීතයට අනුව නම් ගීතයේ කියවෙන තිදෙනාම හොඳින් දන්නා අඳුනන අය. පෙර තිබුණු සම්බන්ධයත් තමන්ගේ පෙම්වතිය සමග විවාහ වෙන යහළුවා දැනගෙන ඉඳලා තියෙනවා. ඔහු ඒ සම්බන්ධයට උදව් කරලත් තියෙනවා. එහෙම බලන කොට මේ සිද්ධියේ යම්කිසි අභව්‍ය බවක්, විය නොහැකි බවක් තියෙනවා නේ ද? මගෙන් පැනයක්.

ඒකට ප්‍රියා බොහොම සැහැල්ලුවෙන් උත්තර දුන්නේ මෙහෙම. මේ ගීතයේ මැවෙන චිත්ත රූපය බලන්න. ඉදිරියේ දී එළඹෙන වේදනාකාරී මොහොතක් ගැන පැරණි පෙම්වතා හිතමින් ඉන්නවා. ‘කෙලෙසද මේ මල් කළඹ ඔබට දෙන්නේ’, හඬනා සිතකිනි ඔබට සුබ පතන්නේ වැනි පද පේළිවලින් ඒ සිතිවිලි ගම්‍ය වෙනවා.

ගීතය තුළට තවත් ගැඹුරින් එබෙද්දී එක තැනක තියෙනවා ‘මුළු ලොව උරණව සිටිදා අපහට සිටියේ උදව්වට ඔහු පමණයි’ කියලා.

‘මෙන්න මෙතන තමයි මේ ගීතයේ අල්ලා  ගතයුතු සියුම් තැන. ඔබේ පැනයට පිළිතුර තියෙන තැන. මේ පෙර තිබුණු ආදර සම්බන්ධයට බොහෝ බාධක තිබිලා තියෙනවා. ඉතින් ඔවුන් අන් අය වෙනුවෙන් සමහරවිට  දෙමව්පියො වෙන්න පුළුවන්, කැපකිරීමක් කරලා කතා කරගෙන වෙන්වෙලා තියෙනවා. එහෙම වෙන්වෙලා තියෙන්නේ මේ දැන් ඉඳගෙන ඉදිරියේ එළඹෙන වේදනාත්මක මොහොත සිහිකරන ගස යට දීමයි. මෙතැනදී  මේ තමන්ගේ පැරණි පෙම්වතියගේ අතිනත ගන්න හෙඳම  යහළුවා ඉදිරිපත් වෙන්න ඇති මිත්‍රත්වය වෙනුවෙන්. පෙම්වතාව හැරයන ඇයට සහකරු වෙන්න. ඇයගේ ජීවිතය භාරගන්න. මේ මිත්‍රත්වය නිසාම ඔහුට කියන්න ඇති මංගල දිනයේ දී යහළුවට එන්න කියලා. මේ බිඳුණු ආදරය, වෛරය ගැබ් නොවුණු ආදරයක්. එනිසා මේ තිදෙනෙකු අතර අන්‍යෝන්‍ය අවබෝධයේ සුවිශේෂී අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒවගේම මේ ගීතයේ ගැඹුරු හරය මිත්‍රත්වය වෙන්න පුළුවන්. මා ලියූ දෙදහසකට අධික පදරචනා අතරේ සින්දුත් තියෙනවා ගීතත් තියෙනවා. මේක සුවිශේෂී ගීතයක්.’ ප්‍රියා මගේ පැනයට පිළිතුර අවසන් කළේ තවත් පැනයක් මට ඉතිරි කරමින්.

‘ගීත සහ සින්දු? මොකක්ද වෙනස?’

බොහොම සැහැල්ලුවෙන් හිනාවකින් මුව සරසාගත් ප්‍රියා කිව්වේ, රිද්මයක් තියෙන වචන ටිකක් සින්දුවක්. එහෙත් පැණසරව පදරුත් පසිඳින්න පුළුවන් පදපෙළක් කියන්නේ ගීතයක්.

ඉතින් ගීතයේ ගායකයා එවකට ගුවන් හමුදාවේ සේවය කළ කමල් චිත්‍රසේනව ප්‍රසිද්ධ ගායකයෙක් කළේ මේ ගීතය. හරියටම ගීතය අතට දෙන දවසේ ප්‍රියා කිව්වා වගේම. පසුව කමල් විවාහ මංගල උත්සවවල මේ ගීතය කියන එක නැවත්තුවලු. ඒ මේවගේ  සිද්ධිවලට ඇත්ටම  මුහුණ දුන් අය ගෙන් ආපු සමහර ප්‍රතිචාර හේතුවෙන්ලු.  මුලින් හිතුවත් දුලභ සිදුවීමක් කියලා මේ සිදුවීම අතිශය දුර්ලභ එකක්ම නෙමෙයි කියලා ප්‍රියානන්දයන්ට දැන් හිතෙනවලු. මේ ඊයේ පෙරෙයිදා දවසක කමල්  ප්‍රියාට කතා කරලා කිව්වලු මේ ගීතයට පිළිතුරු ගීතය ලියලා දෙන්න කියලා. ඉතින් එකත් ලියලා යැව්වලු. ඒ ගැන ගීතය එළියට ආපුවහම කතාකරමු කියලා කිව්ව නිසා ඒ ඉල්ලීම ගෞරවයෙන් පිළිගෙන මම ප්‍රියානන්දයන්ට සමුදුන්නේ තවත් ගීයක මතක අවදිකරන්න ළඟදීම හමුවන්නට පොරොන්දුවෙලා.

කෙලෙසද කිව මැන සිපගත් දෑතට.
කෙලෙසද කිව මැන සිපගත් දෑතට
මංගල මල් කළඹක් දෙන්නේ
එදා මගේ පෙම්වතියේ අද ඔබ
මනමාලිය වී මගේම මිතුරාගේ
කෙලසද මම මල් කළඹ අරන් එන්නේ…

මේ තුරු සෙවනෙම හමු වූ ඔබ මා
මේ සෙවනේමයි වෙන්වූවේ
කිසිදා හමුනොවෙනට වෙන්වූ අපි
කෙලෙසද මේ ලෙස හමුවූවේ
කෙලසද මේ මල් කළඹ ඔබට දෙන්නේ…

මුලු ලොව උරණව සිටිදා අපහට
සිටියේ උදවුවට ඔහු පමණයි
අද ඔහු අතගෙන පොරූව මත හිද
කෙලසද මාගෙන් සමුගන්නේ
හඩනා සිතකින් ඔබට සුබ පතන්නේ…

ගායනය – කමල් චිත්‍රසේන
පද – ප්‍රියානන්ද විජේසුන්දර
සංගීතය – දමිත් අයෝද්‍යය

ආචාර්ය සුරංග දිසානායක – ඩනීඩින් සිට

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.