නවසීලන්තයේ ශ්‍රී ලාංකික නර්තන කලාව සුරකිමින් නව පරපුරට දායාද කරමින් සිටින මාත්‍රා නර්තන ඇකඩමිය විසින් සංවිධානය කළ දෙවැනි “මාත්‍රා රංගාභිෂේකය” පසුගිය ජූනි 13 වැනිදා ඕක්ලන්ඩ් නුවර ඩොරති වින්ස්ටන් ශාලාවේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. එහි නිර්මාතෘ ඉරාණි සමරසිංහ ගුරු මහත්මියගේ පූර්ණ මඟපෙන්වීම යටතේ දෙමාපියන් හා අනුග්‍රාහකයන්ගේ සහයෝගයෙන් මෙම ප්‍රසංගය සාර්ථකව සංවිධානය කර තිබිණි.
2010 වසරේදී සිසුන් දෙදෙනෙකුගෙන් ආරම්භ කළ ‘මාත්‍රා’ නර්තන ඇකඩමිය තම පළමු නර්තනාභිෂේකය 2018 වසරේදී ඉදිරිපත් කළ අතර අද වන විට සිසු සිසුවියන් එකසිය විසිපහකට අධික පිරිසක් සමඟ නවසීලන්තයේ ශ්‍රී ලාංකික නර්තන කලාවේ ප්‍රබල කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇත. ඕක්ලන්ඩ් සහ හැමිල්ටන් නගර දෙකම නියෝජනය කරමින් පැවති මෙවර රංගාභිෂේකය එහි තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් විය.
අලංකාර හේවිසි බෙර වාදනයක් මැද සම්භාවනීය අමුත්තන් ප්‍රේක්ෂකාගාරය වෙත කැඳවාගෙන ආ අතර සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව වේදිකාව විවෘත වූයේ ජ්‍යෙෂ්ඨ නර්තන කණ්ඩායම විසින් ඉදිරිපත් කළ “පූජා” නර්තනයෙනි. ප්‍රසංගයට ආශිර්වාදයක් හා ගාම්භීරත්වයක් එක් කළ මෙම අංගය, බැතිබර වාතාවරණයක් මවමින් නර්තන අසිරියට මංගල ආරම්භයක් සනිටුහන් කළේය.

ප්‍රසංගයේ කැපී පෙනුණුම අංගය වූයේ “සිරිපා වන්දනා අසිරිය” නිර්මාණයයි. හිමිදිරි උදෑසන ශ්‍රී පාද වන්දනාවේ යන බැතිමතුන්, සමනළයින්, මල් නෙළන ළඳුන් හා වන්දනා නඩයේ දසුන් වේදිකාව මත ජීවමාන කරමින් ඉදිරිපත් කළ මෙම අංගය ප්‍රේක්ෂකයන්ගේ නෙත් සිත් වසඟයට ගත්තේය.
වැඩිහිටි පන්තියේ සිසුවියන් විසින් ඉදිරිපත් කළ “බිනරමලී” නර්තනය ශ්‍රී ලාංකික ගම්බද කාන්තාවගේ චාම් බව හා සම්ප්‍රදායික සුන්දරත්වය විදහා දැක්වූ අතර පසුව ඉදිරිපත් කළ හින්දි නර්තන අංගය වේදිකාවට වෙනස්ම ආකර්ෂණයක් එක් කළේය. මෙම අංගයන්හි විශේෂත්වය වූයේ ඒවා ඉදිරිපත් කළ බොහෝ දෙනා මව්වරුන් වීමයි.
ජූනියර් වන් කණ්ඩායමේ දූ දරුවන් ඉදිරිපත් කළ “ලී කෙළි” සහ “කපුටු කොහා” නර්තන අංග ප්‍රේක්ෂකයන්ගේ මහත් ආකර්ෂණයට ලක්විය. වයස අවුරුදු හතරේ සිට දහය දක්වා දරුවන්ගේ දක්ෂතාව, ආත්ම විශ්වාසය හා කැපවීම තුළින් ගුරුතුමියගේ වෙහෙස මනාව පිළිබිඹු විය.

ඉන්ටර්මීඩියට් කණ්ඩායම විසින් “පතුරු” සහ “රාජ වර්ණනා” නර්තන අංග ඉදිරිපත් කළ අතර සීගිරියේ රූප පෙළින් අලංකාර වූ පසුබිම ශ්‍රී ලංකාවේ ඓතිහාසික අභිමානය තවත් උද්දීපනය කළේය. හැමිල්ටන් ජූනියර් වන් කණ්ඩායම “ලෙන්චිනා” නර්තනය ඉදිරිපත් කළ අතර හැමිල්ටන් ජූනියර් ටූ කණ්ඩායම තේ දළු නෙළන්නියන්ගේ නර්තන අංගය හරහා ශ්‍රී ලංකාවේ බහු සංස්කෘතික තේ වතු සමාජය නිරූපණය කළේය.
ජ්‍යෙෂ්ඨ නර්තන කණ්ඩායම විසින් “රබන්”, “ගිරි දේවී”, උඩරට, පහතරට හා සබරගමු සම්ප්‍රදායන්ගේ සංකලනයකින් යුතු නර්තන අංග මෙන්ම බෙංගාලි ජන නර්තනයක් ද ඉදිරිපත් කරන ලදී. එමෙන්ම ඔවුන් විසින් ඉදිරිපත් කළ අලංකාර බෙර වාදන අංගයද ප්‍රසංගයට සුවිශේෂී අලංකාරයක් එක් කළ අතර ඒ සඳහා මඟපෙන්වා තිබුණේ ගයාන් මනෝ කුමාර මහතා විසිනි.
නවසීලන්තයේ හැදී වැඩෙන ශ්‍රී ලාංකික දරුවන් අතර තම සංස්කෘතික උරුමය පිළිබඳ අභිමානයක් වර්ධනය කරමින්, ශ්‍රී ලාංකික කලාව හා සම්ප්‍රදායන් අනාගත පරපුර වෙත දායාද කිරීමේ වැදගත්කම මෙම ප්‍රසංගය මනාව අවධාරණය කළේය. ඉරාණි සමරසිංහ ගුරු මහත්මියගේ වසර ගණනාවක කැපවීම, උත්සාහය හා මඟපෙන්වීම තුළින් ගොඩනැගුණු මෙම සාර්ථක ප්‍රසංගය, මාත්‍රා නර්තන ඇකඩමියේ තවත් අභිමානවත් සන්ධිස්ථානයක් ලෙස පමණක් නොව, නවසීලන්තයේ ශ්‍රී ලාංකික සංස්කෘතික උරුමය සුරැකීමේ සාර්ථක මෙහෙවරක සජීවී ප්‍රතිඵලයක් ලෙසද සටහන් විය.
සෞම්‍යා තිසේරා – ඕක්ලන්ඩ්







