උත්තර භාරතීය රාගධාරී සංගීතය ඇසුරින් සිය සංගීත දිවියේ පදනම සකසා ගත් පසන්, වයලීනය ප්‍රගුණ කර විවිධ සංගීත ක්ෂානරයන් තුළ එම වාද්‍ය භාණ්ඩයේ යෙදෙමින් ප්‍රාසාංගික වේදිකාව මත සිය අනන්‍යතාව සටහන් කරන්නෙකි. මේ වෙනස් වූ සංස්කෘතික ප්රකාශනයන් ඔස්සේ සංගීතය මිනිසුන්ගේ සිතිවිලි ඉහළ තලයකට ගෙන ඒමටත්, ජීවිතය පිළිබඳව කලාත්මක ඥානයක් ඇති කිරීමටත් ඉවහල් වන ආකාරය පිළිබඳව පර්යේෂණයන්හි යෙදෙන ඔහුගේ එක් ලිපියකි.
සරල ගීතය යනු සංගීතය හා සාහිත්‍යය යන විෂයන් දෙකක් ඇසුරෙන් බිහිවන සහ ඒ විෂයන් දෙකම ඇසුරෙහි රසවිඳිය හැකි කලාත්මක ප්රකාශනයකි. එසේ වුවද වර්තමානයේ සරල ගීත විචාරමය සංවාද ඇතිවන බොහෝ තැන්වල සංවාදයට බඳුන් වන්නේ එහි පද රචනාව පමණකි. සරල ගී ඉතිහාසය කෙසේ වෙතත්, පද්‍ය සාහිත්‍යය පිළිබඳ ව දීර්ඝ ඉතිහාසයක් ඇති අප, පද්‍ය හා කාව්‍ය විචාර විධික්රම ගුරු කොට ගෙන ඒ ඇසුරෙන් ගීතයද විචාරයට ලක් කිරීමට යෑම මෙයට හේතුවයි. නමුත් ගීතය විචාරය කළ යුත්තේ එය සාහිත්‍යමය ප්රවර්ගයක් මෙන්ම සංගීතමය ප්රවර්ගයක් ද ලෙස සැලකිල්ලට ගැනීමෙන් බව මගේ හැඟීමයි. කවිය ඒක පුද්ගල නිර්මාණයක් වුවද ගීතය සාමූහික ප්රයත්නයකි. සරල ගීතයේ විශේෂත්වය වනුයේ, එය කිසිවෙකුගේ කටහඬක් උදෙසාම නිර්මාණය වීමයි.
වෙබ්ස්ටර් ශබ්ද කෝෂයේ song යන පදයට දී ඇති එක් අරුතක් වන්නේ “A lyrical poem adapted to vocal music” යන්නයි. පද කියවා රස විඳීමට හැක්කේ කවියයි. ගීතය ඇත්තේ ගායනය /වාදනය කිරීමෙන් හා සවන් දීමෙන් රසවිඳීමටයි. “ගායතේ ඉති ගීතම් ” (සංස්කෘත) ගායනා කරනු ලබන්නේ ගීත නම් වේ.
සරල ගීතය හා තනුව.
ඇතැම් සංගීතඥයින් ගේ මතය වන්නේ සරල ගීයක මූලික සහ ප්‍රධාන අන්තර්ගතය එහි සංගීතය බවයි. එනම් එහි තනුව සහ සංගීත සැකැස්ම (melody and music arrangement) බවයි. ඔවුන්ගේ මතයට අනුව සංගීතය යෙදීමට පෙර එය හුදෙක්ම පද රචනාවක් පමණකි. ගැයීමට සුදුසුය හෝ ගැයිය යුතුය යන අරුතින් එය ගේය පද ලෙස හැඳින්වුවද එසේ සුදුසු වන්නේ නියමිත ස්වර රටාවක පිහිටුවීමෙන් පසුයි. කවියක් රචනා කිරීමේදී මෙන් නොව ගීතයක් රචනා කිරීමේදී සාමාන්‍යයෙන් රචකයාගේ සිත තුල යම් නාද රටා ආකෘතියක් හෝ මෙය මෙසේ ගායනා කිරීම සුදුසුය යනුවෙන් අදහසක් පවතී. ඇතැම් අවස්ථාවල එම අදහස රචකයා විසින් සංගීතඥයා හට දන්වන ලද තැන් ද අපට හමුවේ. උදාහරණයක් ලෙස සුනිල් ආරියරත්නයන් ලියූ “දෛවයෝගයකින් නොවේදෝ” රචනය එතුමා විසින් වික්ටර් රත්නායකයන් අතට පත් කොට මේ ගීතය සඳහා ගිටාරයක් පමණක් යොදා ගන්නැයි ඉල්ලා ඇත. ඒ ඉල්ලීම කෙතරම් සුදුසුද සහ වික්ටර් රත්නායකයන් ඊට කෙතරම් සාධාරණයක් ඉටුකර ඇත්දැයි අපි අද ද අත්විඳිමින් සිටිමු. එහි විශේෂත්වය වන්නේ “දෛවයෝගයකින්” සඳහා ගිටාරයක් පමණක් යොදා ගත්තද වික්ටර් රත්නායක යනු සාමාන්‍යයෙන් විශාල සංගීත භාණ්ඩ ගණනක් සහ සංකීර්ණ ස්වර රටා යොදාගෙන නිර්මාණ කරන නිර්මාණකරුවෙකු වීමයි. මෙසේ හෙයින් ගීතයක සාර්ථකත්වය එහි සංගීත නිර්මාණකරුවාගේ දක්ෂතාව මත රඳා පවතින බව මේ මතය දරන පාර්ශවයේ ප්‍රධානම තර්කයයි.

සරල ගීතය හා ගේය පද රචනාව.
මේ සම්බන්ධයෙන් ඇති අනෙක් මතය නම් සරල ගීතයක මූලික සහ ප්‍රධාන අංගය වන්නේ එහි ගේය පද රචනාව බවයි. ගේය පද රචනාව කවියක් නොවේ. එය කවියෙන් වෙනස්ව වර්ධනය වුණු සාහිත්‍යාංගයකි. ගේය පද රචනාව දැල්වීමට සූදානම් කර තිබෙන පහනකට එසේ නැතහොත් පිපෙන්නට සූදානම් වූ මල් පොහොට්ටුවකට සමාන කොට ඇත. ගේය පද පහනේ තෙල් හා තිරයට සමානයි. මල් පොහොට්ටුවේ පෙති වලට සමානයි. තෙල් හා තිර නොමැතිව පහනේ දල්වන්නේ කුමක්ද? පෙති නොමැතිව පිපෙන්නේ කුමක්ද? මේ ආකාරයට සංගීතයෙන් සහ ගායනයෙන් සිදුකරනුයේ ගේය පද රචනාව උද්දීපනය කර රසිකයා වෙත ඉදිරිපත් කිරීමයි.
මේ කතාවට පදනම් වන සරල ගීතය අප වර්තමානයේ ජීවත් වන යුගයෙන්ම පැන නැගුණු කලා ප්‍රභේදයකි. මේ සමාජ ක්‍රමය මතුවී ආ මුල් කාලයේ සහ ඊට පෙර ප්‍රමුඛත්වය හිමි වී තිබුණේ වචන රහිත වාද්‍ය සංගීතයටයි. උත්තර භාරතීය රාගධාරී සංගීතය සහ බටහිර සම්භාව්‍ය සංගීතය මේ සඳහා උදාහරණ වේ.
වාද්‍ය සංගීතයේ ප්‍රමුඛත්වය සරල ගීතය කරා…
එහෙත් වාද්‍ය සංගීතයට තිබුණු මේ ප්‍රමුඛත්වය වචන සහිත සරල ගීතය කරා මාරු වන්නේ ධනවාදී ක්‍රමය යටතේ ඇති වුණු තාක්ෂණික වර්ධනය, ඒ වර්ධනයේ යාන්ත්‍රික ප්රතිනිෂ්පාදනය යටතේ යි. මෝසාට්ගෙ හෝ බීතෝවන්ගෙ සංධ්වනියක් ගත්විට ඒවාට තාක්ෂණයේ ඍජු මැදහත්වීමක් නැත. ඒවා සජීවී සංගීතාංගයන්ය. වාදනය කෙරෙන මොහොතේ ඒ ස්ථානයට යන රසිකයන්ට පමණකි ඒවා අසන්නට , රසවිඳින්නට හැකි වූයේ. එහෙත් දැන් ඇති වී තිබෙන්නේ සංගීතය පටිගත කොට, තැටිගත කොට යාන්ත්‍රික ව ප්රතිනිෂ්පාදනය කර ලෝකය පුරා බෙදා හරින ක්රමයකි. මිනිත්තු තුන හතරකට සීමා වෙන වත්මන් සරල ගීතය ඇති වූයේ මේ පසුබිම තුලයි.

අද ප්‍රවණතාවය
වාද්‍ය සංගීතයට, සංධ්වනියට අප තුළ ප්‍රබල හැඟීම් ඇති කිරීමට පමණක් නොව එක්තරා ආකාරයක කලාත්මක ඥානයක් ද අපට ලබා දීමට හැකිය. එහෙත් අද සංධ්වනි නිර්මාණය කරන්නේ කව්රුද? බොහෝ සංගීත ප්‍රාඥයන් නඟන චෝදනාවක් වන්නේ වර්තමානයේ මිනිසුන් සම්භාව්‍ය සංගීතය රස විඳින්නට නොදන්නා බවත්, ඔවුන්ට සංගීතය යනු ගීත පමණක් බවත් ය. එය සත්‍යයකි. සන්සුන්ව වාඩි වී පැයක් හෝ ඊට වැඩි කාලයක් කැන්ටාටාවක් හෝ ඔපෙරාවක් අද රසවිඳිය හැක්කේ කාටද? ඔබට එය ඔබගේ smart ජංගම දුරකථනයෙන් රූ ගත කිරීමට අවශ්‍ය වෙයි. නැතහොත් හදිසි ඇමතුමකට ප්‍රතිචාර දැක්වීමට හෝ පණිවුඩ පරීක්ෂා කිරීමට, මුහුණු පොතේ නවතම තතු පරීක්ෂා කිරීමට අවශ්‍ය වෙයි. එය ඔබේ වරදක් නොව ලෝකය ගමන් කරනා ක්‍රමයයි.
එන්න එන්න ම සම්භාව්‍ය වාද්‍ය සංගීතය කරන්නට බැරි දෙයක් බවට පත් වෙමින් යයි. මේ බැරිකම වචන සහිත සරල ගීතය අස්සට රිංගවා වියැකී යන වචන රහිත වාද්‍ය සංගීතය රැක ගැනීමේ දුබල ප්රයත්නයකට වැඩි යමක්, සරල ගීතයේ ප්‍රමුඛත්වය හිමි විය යුත්තේ එහි සංගීතයට බව කියන මේ මතවාදයට නොමැත.
පසන් වීරසිංහ – ඕක්ලන්ඩ්







