“කතෘ-ලෙස්ලි ජයවර්ධන
ප්‍රකාශකයෝ-කුඩා එන්ටර්ප්‍රයිස්. නුගේගොඩ “
බර කරත්ත යුගය නමින් හඳුන්වන කාල වකවානුව තුළ සියනෑ කෝරළේ ගඟබඩ පත්තුවේ දොම්පේ, පාලුගම, ගුරුවල, ගිරිදර, මාළිද, තිත්තපත්තර ආදී ගම්මානවල ජීවත් වු අහිංසක ගැමියන්ගේ සරල ජීවන රටාව ඇසුරෙන් මෙම කතා පෙළ සකස් කර ලෙස්ලි ජයවර්ධන කතුවරයා තම ‘ළිඳේ මැඩියෝ නටත්’ යන පොත කියවන්නාට හඳුන්වා දෙයි.
මෙම ගැමියෝ එකිනෙකා හා තරගයෙන්, අනෙකා අභිබවා දිව යාමෙන් හා බාහිර ලෝකයේ සංකීර්ණ ප්‍රශ්නවලට මැදි වීමෙන් වියුක්තව ගම්-මායිම ඇතුළත ළිඳක මැඩියන් මෙන් ගෙවූ ජීවිතයෙන් තෘප්තිමත් වූහ. ඔවුන්ගේ දෛනික ජීවිතවල වූ සිදුවීම් විසි අටක් මෙම කුඩා පොතට ඇතුළත් කර ඇත.
සටකපටකම් නොතේරෙන අහිංසක ගැමියන් වන කර්තේලිස් හා හරමානිස්ගෙන් අක්කර පන්සීයක පමණ වන සරුසාර ඉඩම මහමුදලි ලියවා ගත් ආකාරය ‘මහවල මුකලාන’ කතාවේ දක්වයි.
‘උපාසිකාව’ කතාවේ, ඔපිසර හාමිනේ සිල් ගන්නා වියපත් කාන්තාවකි. ඇය සිල්ලර පහේ පිටගෙවල්වලින් දානය ගෙන බාල්දු වීමට අකැමති වූවාය. සාපින් කොලුවා වත්තෙ කුරුම්බා ටික බී දමා ඇද්ද, වත්ත පහළ ගොරක ගහේ ගොරක ගෙඩි ටික අහුලා ගෙන ආවා ද, ලේලිය කෝපි ඇට ටික අව්වට දැම්මා ද හා වඳුරන් ඇවිදින් වත්තෙ කොස් ගස්වල පනාපතුරු ටික විනාශ කළා ද වැනි දේ සොයා බැලීම අටසිල් රැකීමට අමතරව සිල් ගත් දා ඇයට ඇති රාජකාරිවලින් කොටසකි. ඇය නිරූපණය කරන්නේ ‘සිල් ඇත්තේ සුදු රෙද්දේය’ යන අදහස දරණ ගැමි හා නාගරික කාන්තාවකගේ චෛතසික යයි.
‘අන්දිරිස් අප්පු’ අටපිරිකර වෙනුවට මඟුල් සූට් එකක් පන්සලට පූජා කළේය. සිල් ගත් දරුවන් දෙදෙනෙකු කුඹුරේ මඩ නාගත් හැටි ‘මම් මාටින්’ කතාවෙන් දිග හැරේ. කඩයක තිබූ වැල ගෙඩිය දෙන්නම් කාසිවලට කා එහි ඇට ඒ කඩේ මුදලාලිටම විකුණා ලාභයක් ගත් කපටි ගැමියෙකු ගැන ‘වැල ගෙඩිය ‘කතාවෙන් විස්තර කෙරේ. ‘බඤ්ඤයියා’ වත්තක දොඩම් සොරකම් කර අසු වූ ගැමියෙක් ගැන කතාවකි. දියණිය සිය දිවි නසා ගැනිම නිසා වත්තේ කොස් ගස ආරච්චිලට දී මිණීමැරීමේ වරදින් ගැමියෙකු බේරුණ ආකාරය ‘පොලිස් විදානේ’ කතාවෙන් කියයි.
පොතට පසුවදනක් ලියන ඩී.එන්.සේනාරත්න මහතා ද මතක් කරන පරිදි මෙම කතා මාර්ටින් වික්‍රමසිංහයන්ගේ අපේ ගම කතා සිහි ගන්වයි. දඟදාසලා, ඇන්නැහිරාළලා, ජන්දිරිස් අප්පුලා ‘ළිඳේ මැඩියෝ නටත්’ පොතේ කතාවල කොතෙකුත් සිටිති.
සෑම එකක්ම වෙන වෙනම ස්වාධීන කතාය. ඒ සෑම එකකම හාස්‍යයොත්පාදක සිදුවීමක් ඇත.ඒ සිදුවීම තුළ මතුපිටින් නොපෙණෙන එහෙත් ගැමි සමාජයේ තීව්‍රව මුල්බැස ගත් යම් පැවතුම් රාශියක් අන්තර්ගතව ඇත.
උදාහරණ ලෙස ඉහත සඳහන් කළ ‘මහවල මූකලානේ’ ඉඩම කර්තේලිස් හා හරමානිස් යන දෙසොහොවුරන්ට පරම්පරාවෙන් අයිති වූවකි. මහමුදලි හා ආරච්චිල වැනි දේශීය බලපුරුවන්කාර පංතිය ඉංග්‍රිසි පාලනයේ වරප්‍රසාද මගින් ගැමියන් පීඩනයට පත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ගැමියෝ මේ පාලකයනට හේතුවක් නොමැතිවම බය පක්ෂපාත වූහ. මහමුදලි ආරච්චිල මාර්ගයෙන් අහිංසක ගැමියන්ගේ ඉඩම වංචනිකව ලියවා ගන්නේ මෙම ගරුසරුව අවභාවිතා කරමිනි.
‘ජන්දිරිස් අප්පු’ කතාව පටන් ගන්නේ මෙසේය.
‘බිමට කළුවර වැටෙන තුරු කුඹුර කොටමින් සිටි සයිබරං මාමා ඕවිටේ ළිඳෙන් දිය නා ගත්තේය. ඔහු ගෙදර එනවිට ඉස්තෝප්පුවෙ කුප්පි ලාම්පුවද දැල්වෙමින් තිබේ. පිල්කඩ උඩ වාඩි වූ සයිබරං මාමාට, අගිද හාමි නැන්දාගේ උණු කහට කෝප්පය ලැබුණි. නමුත් කහට කෝප්පය බී නිම කරන්නටත් පෙර ඔහුට ජන්දිරිස්ගේ ගෙදර පැත්තෙන් මහ කලබැගෑනියක් ඇසුණි.’
පොත පුරා ඇති මෙවනි යෙදුම් ලෙස්ලි ජයවර්ධනගේ නිර්මාණ කුසලතාවය මනාව පෙන්වා දෙයි.
ආරම්භය, නිර්මාණකරණයේ ‘media res’ ලෙස හඳුන්වන පරිදි කතාව මැදිනි. ‘ඔන්න එකෝමත් කාලෙක…’ වැනි නිසරු කතා පුරාණය අත හැර දමා කියවන්නාගේ කාලය ඉතිරි කර දෙයි.
දෙවැනිව නව නිර්මාණ කරණයේ සාර්ථක උපක්‍රමක් ලෙස වාර්තා කරනවාට වඩා චරිතයේ හැසිරීම පෙන්වා දෙයි. (showing and not telling). තෙවැනිව ලෙස්ලි මෙහි බස හසුරුවන්නේ හොඳ ගැමියෙක් ලෙසය.
සතර වැනිව කතුවරයා, සෑම කතාවකම ප්‍රධාන සාධකය එළි නොකර අවසන දක්වා තබා ගනී. කියවන්නාගේ කුතුහලය රඳවා ගෙන සෑම කතාවකම කතා ශරීරය ඉදිරියට ගෙනයාමට ලෙස්ලි ජයවර්ධන හොඳ ශූරයෙකි. ඉක්බිති නොසිතන පැත්තකින් කතාව නිම කරමින් (twist in the tail) කියවන්නා කුතුහලයෙන් රඳවා ගැනිම සාර්ථක නිර්මාණ කරණයේ තවත් ලක්ෂණයකි.
උදාහරණ ලෙස ‘පොලිස් විදානේ’ කතාවෙහි, දියණිය සියදිවි නසා ගත් නිසා එමානිස් සිරකළේ ඇයිදැයි පාඨකයාට කුතුහලයකි. එමානිස් රාත්‍රියේම නිදහස් කර එවීම කුතුහලය වැඩි කරවන්නකි. එය දුරුවන්නේ එමානිස්ගේ වත්තේ කොස්ගස කපා කුට්ටි ආරච්චිලගේ නිවසට ගෙන යාම දැනගත් පසුය.
මෙසේ අලුත් වෙනස්කම් ගම ආක්‍රමණය කරද්දී භාවිතයෙන් තොරව ඇකී මැකී යන මෙවැනි කතා එකතු කර කියවන්නාට සාර්ථක අන්දමින් ඉදිරිපත් කරන ලෙස්ලි ජයවර්ධන මහතාට අපේ ගැමි සාහිත්‍යය අගය කරන කාගේත් ප්‍රශංසාව හිමිවිය යුතුය.
*** *** ***
(අපට ලැබුණු සංයුක්ත තැටියක්-ඊළඟ කලාපයක.)