පේරාදෙණිය සරසවියෙහි සත්ව විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය සහ මව්රට ප්‍රායෝගික පළපුරුද්ද සහිතව 2019 නවසීලන්තයට පැමිණි චතුර විද්‍යාරත්න මහතා වෘත්තීයමය ජයග්‍රහණ ලබමින් මෙරට කිරි නිෂ්පාදන කර්මාන්තයට ලබා දෙන දායකත්වය ගැන ඉන්වකාගිල්හි දුලාරි ජයසිංහ මහත්මිය මෙසේ ලියා එවයි.
‘චතුර මහතාගේ කතාව නවසීලන්තයේ ප්‍රධාන කර්මාන්ත ක්ෂේත්රවල දියුණුව සඳහා ශ්‍රි ලාංකිකයන් ලබාදෙන වටිනා දායකත්වය ද මනාව ඉස්මතු කරයි.’ ඇය වරෙක සඳහන් කරයි.
ජීවිතයේ සාර්ථකත්වය සමහර විට බොහෝ දුරින් තිබෙන සිහිනයක් වගේ පෙනෙනවා. නමුත් සමහර මිනිසුන්ගේ ජීවිත කතා අපට මතක් කරලා දෙනවා කැපවීම, ධෛර්යය සහ අඛණ්ඩ උත්සාහය තිබේ නම් සිහිනයක් කියන්නේ සැබෑ කරගත හැකි දෙයක් බව.
චතුර විද්‍යාරත්න මහතාගේ ජීවිත ගමනත් එවැනිම ආදර්ශමත් කතාවක්.
2019 වසරේදී ශ්‍රී ලංකාවෙන් නවසීලන්තයට පැමිණි චතුර මහතා තම නව ජීවිත ගමන ආරම්භ කළේ කිරි ගොවිපල සහායකයෙකු ලෙසයි. බොහෝ සංක්‍රමණිකයන් මෙන් ඔහුත් නව රටකට පා තැබුවේ සිහින හා බලාපොරොත්තු හදවතේ රැගෙනය. එහෙත් ඒ බලාපොරොත්තු අතරම නොදන්නා රටක නව ආරම්භයක් ගැන තිබූ අවිනිශ්චිතභාවයද ඔහුට අමුතු දෙයක් නොවුණි. නවසීලන්තයේ කිරි කර්මාන්තය උසස් ප්‍රමිතීන්, වෙහෙසකාරී වැඩපිළිවෙල සහ කාර්ය සාධනය හා නායකත්වය පිළිබඳ දැඩි අපේක්ෂාවන් සහිත ක්ෂේත්‍රයකි. එහෙත් චතුර මහතා ඒ සියලු අභියෝගවලට මුහුණ දුන්නේ කැපවීම, ධෛර්යය සහ නොසැලෙන අධිෂ්ඨානය සමඟිනි.

නවසීලන්තයට පැමිණීමට පෙරත් චතුර මහතා ශක්තිමත් අධ්‍යාපනික හා වෘත්තීය පසුබිමක් ගොඩනගාගෙන සිටියේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සත්ව විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධියක් සහ කෘෂිකාර්මික තාක්ෂණය හා කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී උපාධියක් හිමි ඔහු ශ්‍රි ලංකාවේදී ගොවිපල කළමනාකරුවෙකු ලෙසද වටිනා සේවා අත්දැකීම් රැසක් ලබාගෙන තිබුණි. එහෙත් නව රටක ජීවිතය ආරම්භ කිරීම යනු පෙර ලබාගත් ජයග්‍රහණ මත පමණක් රඳා නොසිට තම හැකියාවන් නැවත වරක් මුල සිටම ඔප්පු කළ යුතු ගමනකට අවතීර්ණ වීමයි. චතුර මහතා එම අභියෝගයද නිහතමානීව සහ අධිෂ්ඨානයෙන් යුතුව භාරගත්තේය.
පසුගිය වසර කිහිපය තුළ චතුර මහතා තම වෘත්තීය ගමන ක්‍රමයෙන් ඉදිරියට ගෙන ගියේය. කිරි ගොවිපල සහායකයෙකු ලෙස ආරම්භ කළ ඔහු, පසුව සහායක ගොවිපල කළමනාකරු තනතුරුවලටත්, ඉන් අනතුරුව ගොවිපල කළමනාකරුවෙකු ලෙසත්, පසුව Southland සහ ඔටාගො ප්‍රදේශවල Contract Milker කෙනෙකු ලෙසත් වගකීම් භාරගත්තේය. මේ සෑම පියවරක්ම තාක්ෂණික දැනුමෙන් පමණක් ඉටු කළ හැකි දෙයක් නොවුණි. ඒ සඳහා නායකත්වය, නිවැරදි තීරණ ගැනීමේ හැකියාව සහ නවසීලන්තයේ කිරි ගොවිපල ක්‍රමවේදයන්ට අනුගත වීමේ ශක්තියද අවශ්‍ය විය.

2025 වසරේදී චතුර මහතා තම වෘත්තීය ජීවිතයේ සුවිශේෂී ජයග්‍රහණයක් අත්කර ගත්තේ Sharemilker කෙනෙකු බවට පත්වීමත් සමඟය. ඒ සමඟම කිරි ගොවිපල මෙහෙයුම් තුළ වඩාත් පුළුල් වගකීම් සහ නායකත්ව භූමිකාවක් ඔහු වෙත පැවරුණි. අද වන විට ඔහු ගවයන් 550ක් සිටින කිරි ගොවිපලක් සාර්ථකව කළමනාකරණය කරමින් සිටින අතර කාර්ය මණ්ඩල කළමනාකරණය, ගොවිපල නඩත්තු කටයුතු, නිෂ්පාදන කාර්යයන් සහ දෛනික තීරණ ගැනීම ඇතුළු සියලුම මෙහෙයුම් කටයුතු ඔහුගේ අධීක්ෂණය යටතේ සිදු වේ. මෙතරම් විශාල වගකීමක් ඔහු වෙත පැවරී තිබීම, කාලයත් සමඟ ඔහු පෙන්වා දුන් දක්ෂතාවය, නායකත්ව හැකියාව සහ විශ්වාසනීයත්වය පිළිබඳ ප්‍රබල සාක්ෂියකි.
චතුර මහතාගේ ගමන තවත් සුවිශේෂී හා ආදර්ශවත් කරන්නේ, Sharemilker කෙනෙකු ලෙස තම පළමු වසර සම්පූර්ණ කිරීමටත් පෙර ඔහු ලැබූ ගෞරවණීය පිළිගැනීමයි. 2026 මාර්තු 24 වැනිදා ඉන්වර්කාගිල් හි Ascot Park Hotel හි පැවති 2026 New Zealand Dairy Industry Awards හි Southland සහ Otago ප්‍රදේශය වෙනුවෙන් ඔහු පිළිගැනීමට ලක් විය. එහිදී ඔහු Federated Farmers Leadership Award සඳහා වන Share Farmer Merit Award සම්මානයෙන් පිදුම් ලැබීය. මෙය කිරි කර්මාන්තය තුළ ඉතා ගෞරවණීය පිළිගැනීමක් වන අතර නායකත්වය, තිරසරභාවය සහ නවෝත්පාදනය තුළ විශිෂ්ටත්වය පෙන්වන ගොවීන් අගය කිරීම මෙහි අරමුණ වේ. ගොවිපල කාර්ය සාධනයට පමණක් නොව ප්‍රජාවට, පරිසරයට සහ සත්ව සුබසාධනයට වටිනා දායකත්වයක් ලබාදෙන ගොවීන් මෙම සම්මාන හරහා ඇගයීමට ලක් වේ. ගොවිපල ව්‍යාපාරයක සම්පූර්ණ වගකීම භාරගෙන ඉගෙන ගනිමින් ඉදිරියට යන මුල් අවධියකදීම චතුර මහතා මෙවැනි මට්ටමේ පිළිගැනීමක් ලැබීම, ඔහුගේ ජයග්‍රහණය අතිශය සුවිශේෂී එකක් බවට පත් කරයි.
මෙම විශිෂ්ට ජයග්‍රහණය පිටුපස සිටින්නේ චතුර මහතාගේ පෞද්ගලික උත්සාහය පමණක් නොවේ. ඔහු වටා සිටි ශක්තිමත් සහයෝගී පිරිසද එහි වැදගත් කොටසකි. චතුර මහතා තම සේවායෝජකයන්ට, මඟ පෙන්වූ උපදේශකයන්ට, සහෝදර සේවකයන්ට සහ විශේෂයෙන්ම තම පවුලේ අයට හදවතින්ම කෘතඥතාව පළ කරයි. කර්මාන්තයේ පළපුරුදු වෘත්තිකයන්ගෙන් ලැබුණු මඟපෙන්වීම, ගොවිපල හිමියන් ලබාදුන් අවස්ථා සහ තම ජීවන ගමන පුරා ඔහු සමඟ සිටි බිරිඳ සහ දෙමාපියන්ගේ දිරිගැන්වීම, ඔහුගේ සාර්ථකත්වයට මහත් ශක්තියක් වී තිබේ.
චතුර මහතාගේ කතාව පෞද්ගලික සාර්ථකත්වයක කතාවක් පමණක් නොවේ. කැපවීම, නිරන්තරයෙන් තම දැනුම හා හැකියාවන් වර්ධනය කර ගැනීම සහ අවශ්‍ය අවස්ථාවක මුල සිටම නැවත ආරම්භ කිරීමට ඇති නිහතමානී සූදානම, අසාමාන්‍ය ජයග්‍රහණ කරා මිනිසෙකු ගෙන යා හැකි බව එය අපට පෙන්වා දෙයි. එසේම නවසීලන්තයේ ප්‍රධාන කර්මාන්ත ක්ෂේත්රවල දියුණුව සඳහා ශ්‍රි ලාංකිකයන් ලබාදෙන වටිනා දායකත්වය ද මෙම කතාව මනාව ඉස්මතු කරයි.
විදේශ රටක තම අනාගතය ගොඩනගා ගැනීමට සිහින දකින බොහෝ තරුණ ශ්‍රි ලාංකිකයන්ට චතුර මහතාගේ ජීවිත ගමන ඉතා බලවත් පණිවිඩයක් ලබා දෙයි. සාර්ථකත්වය එක රැයකින් ලැබෙන දෙයක් නොවේ. ඒ සඳහා ඉවසීම, අඛණ්ඩ උත්සාහය සහ තමන්ට හුරුපුරුදු සීමාවලින් එළියට පැමිණ අලුත් අභියෝග භාර ගැනීමට අවශ්‍ය ධෛර්යය තිබිය යුතුය. ඒ සියල්ලටම වඩා වැදගත් වන්නේ තමන්ගේ හැකියාවන් පිළිබඳ විශ්වාසය තබා ගැනීමයි.
ප්‍රජාවක් ලෙස මෙවැනි සාර්ථකත්වයේ කතා බෙදාගැනීම ඉතා වැදගත්ය. එවැනි කතා අපට මතක් කර දෙන්නේ, අපගේ ආරම්භය කොතැනක තිබුණත් අපගේ සිහින කරා යා හැකි දුරට සීමාවක් නොමැති බවයි. කැපවීම, උත්සාහය සහ තමන් පිළිබඳ විශ්වාසය ඇති විට ජීවිතය අපව අප නොසිතූ උසස් තැන් කරා රැගෙන යා හැකි බව මෙවැනි ගමන් මඟින් අපට පෙන්වා දෙයි.
Dulari Jayasinghe –Invercargill






