නවසීලන්තයේ සුන්දර නෙල්සන් නගරය පසුගිය මැයි 30 සහ 31 දෙදින පුරා ශ්‍රී ලාංකීය සංස්කෘතික අභිමානයෙන් හා වෙසක් බැතියෙන් ආලෝකමත් විය. ඒ, අප මහා තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහිපත් කරමින්, නෙල්සන් කැතිඩ්‍රල් පරිශ්‍රය ඉදිරිපිට පස්වන වරටත් අභිමානයෙන් ප්‍රදර්ශනය කළ වෙසක් මහා පහන් කූඩුව හේතුවෙනි.
වෙසක් පොහොය දිනය ලොව පුරා බෞද්ධයන්ට අතිශය වැදගත් දිනයක් වන්නේ බුදුරජාණන් වහන්සේගේ උපත, බුද්ධත්වයට පත්වීම සහ පරිනිර්වාණය යන උතුම් තෙමඟුල සිහිපත් කරමින් එය සමරන බැවිනි. ශ්‍රී ලංකාවෙන් දුරස්ථව නවසීලන්තයේ ජීවත් වුවද, තම ආගමික හා සංස්කෘතික උරුමයන් ආදරයෙන් රැකගනිමින් ඒවා අනාගත පරපුරටත් හඳුන්වාදීම සඳහා නෙල්සන්හි ශ්‍රී ලාංකිකයන් විසින් මෙම වෙසක් පහන් කූඩුව වාර්ෂිකව ප්‍රදර්ශනය කිරීම සුවිශේෂී කාර්යයක් බවට පත්ව ඇත.
විවිධ වර්ණයන්ගෙන් යුත් විදුලි ආලෝකවලින් අලංකාර වූ මෙම දැවැන්ත වෙසක් පහන් කූඩුව, පරිවාර පහන් කූඩු රැසකින් සමන්විතව නෙල්සන් නගරයට අලංකාරයක් එක් කළ අතර, එය නැරඹීමට පැමිණි ශ්‍රී ලාංකිකයන් මෙන්ම නවසීලන්ත ජාතිකයන් ඇතුළු විවිධ ජන කොටස්වල අවධානය දිනා ගත්තේය.
මෙම අලංකාර නිර්මාණය පිටුපස නිලන්ත සොහොයුරාගේ නිර්මාණාත්මක දැක්ම මෙන්ම, කුමුදිත, ඉෂාන්, කුමාර ඇතුළු ශ්‍රී ලාංකිකයන් රැසකගේ දීර්ඝකාලීන කැපවීම, මහන්සිය සහ නොපසුබස්නා උත්සාහය රැඳී තිබුණි. ඔවුන්ගේ සාමූහික කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස මෙවරද නෙල්සන් නගරයේ ජනතාවට මෙම අලංකාර වෙසක් පහන් කූඩුව දැකබලා ගැනීමට අවස්ථාව උදාවිය.

මෙම අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ගේ ආගමික හා සංස්කෘතික උරුමයන් ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාවක් පමණක් නොව, නවසීලන්තයේ උපත ලැබූ අපගේ දරු පරපුරට සහ බෞද්ධ නොවන පිරිස් වෙත ශ්‍රී ලාංකීය සංස්කෘතිය, වෙසක් සම්ප්‍රදායන් සහ බෞද්ධ වටිනාකම් පිළිබඳව හඳුන්වාදීමටද මහඟු අවස්ථාවක් විය. මෙම පුණ්‍ය කටයුත්තට නවසීලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී රේචල් බෝයැක් මහත්මියගේ සහභාගීත්වයද තවත් විශේෂත්වයක් එක් කළේය.
වෙසක් පහන් කූඩුවේ සිරිය නැරඹීමට පැමිණි සියලු දෙනා වෙනුවෙන් නෙල්සන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් විවිධ ආහාර පානවලින් සමන්විත දන්සල්ද සංවිධානය කර තිබුණි. ශ්‍රී ලාංකීය ආගන්තුක සත්කාරය සහ බෙදාහදා ගැනීමේ සංස්කෘතිය මනාව පිළිබිඹු කරමින් පැවැත්වූ මෙම දන්සල් අතරින්, නෙල්සන් නගරයේ සීතල කාලගුණය මධ්‍යයේ පිරිනැමූ උණුසුම් ඉඟුරු තේ පැන් සංග්‍රහය බොහෝ දෙනාගේ සිත් දිනාගත් සුවිශේෂී අංගයක් බවට පත්විය.
නෙල්සන් අහස ආලෝකමත් කරමින්, ශ්‍රී ලාංකීය සුහදශීලීත්වය, කරුණාව සහ සංස්කෘතික වටිනාකම් විදේශීය භූමියක ආදරණීයව බෙදාහදා ගැනීමට අවස්ථාව සලසා දුන් මෙම වෙසක් මහා පහන් කූඩුව මේ වනවිට නෙල්සන් නගරයේ වාර්ෂික සංස්කෘතික අංගයක් බවට පත්වෙමින් තිබීම සැබවින්ම ආඩම්බරයට කරුණකි.
මෙවැනි උතුම් ආගමික හා සංස්කෘතික කටයුතු ඉදිරි වසරවලදීත් තව තවත් සාර්ථකව සංවිධානය කිරීමට සියලු දෙනාට ශක්තිය, ධෛර්යය සහ හැකියාව ලැබේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.
සිතාරි තාන්‍යා රණවක – ඕක්ලන්ඩ්







