fbpx
12.9 C
New Zealand
Wednesday, May 8, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

විඳීම, විඳවීම සහ නිවීම | ආචාර්ය රෝහන උල්ලුවිස්හේවා | පාම්ස්ටන්නෝත්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

මනුෂ්‍ය සිතෙහි මූලික ස්වභාවය නිවුණු ස්වභාවයයි. මනුෂ්‍යයන් වශයෙන් එය අපට උරුම වූ ස්වභාවයයි. පිරිසිදු සිතෙහි පවතින්නේ  නිවුනු ස්වභාවයක්. මේ බව නවීන විද්‍යාත්මක සාක්ෂිවලින් සනාථ  කොට තිබෙනවා. කුමන හෝ ක්‍රමයකින් සිත පිරිසිඳු කළ විට මෙය ඕනෑම කෙනෙකුට සිය අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. එම නිවුන ස්වභාවය තුළ සතුට, සාමය සහ සැනසීම පවතිනවා. නමුත් අපට ඒ සිතේ නිවුනු ස්වභාවය නැති වෙනවා අපි ජීවිතය විඳින්න ගියාම. එතකොට අපට විඳවන්න වෙනවා. නිවුන  ස්වභාවය නැති වීමමයි විඳවීම කියන්නෙ. අපට උරුම වූ සිතේ නිවුන ස්වභාවයටත් ඒ තුළින් ලැබෙන සැනසීම  සහ සතුටටත් හානි නොවන ආකාරයට අපට ජීවිතය විඳින්න බැරිද? මේ පිළිබඳව ගවේෂණය කිරීම මේ ලිපියේ අරමුණයි.

බොහෝ විට අපි කියනවා අපි ජීවත් වෙන්නේ ටික කාලයක් විතරයි. ඒ කාලේ තුළදි අපි ජීවිතය හොඳට විඳින්න  (Enjoy) ඕන කියලා. විඳීම සඳහා අපි නොයෙකුත් දේ  කරනවා. ප්‍රිය සම්භාෂණවලට සහභාගි වෙනවා. විනෝද ගමන් යනවා. මිතුරු මිතුරියන් හමුවෙනවා. ටීවී බලනවා. චිත්‍රපටි   බලනවා. පිටින් කනවා, බොනවා. මේ  ආකාරයට ජීවිතය විඳීම සඳහා අපි කරන්නෙ අපි කැමති දේවල්. ඒ වගේම අපි  අකමැති දේවල් සිදුවීම වළක්වන්නත් කටයුතු කරනවා. ඒ දෙකෙන්ම අපි ජීවිතය විඳිනවා. අපි හැම කෙනෙක් තුළම තම තමන්ට  සුවිශේෂ වූ කැමති හා අකමැති දේ පවතිනවා. එය ස්වාභාවිකයි.  ඒ කැමති දේවල් ලැබුණොත් ඒවා රස විඳිනවා.  එහි වරදක් නැහැ.  නමුත්  විඳින්න ගියාම අපි විඳවනවා. විඳවන්නේ නැතිව විඳින විදිය අපි දන්නේ නැහැ.

විඳින්න ගියාම ඇයි අපි විඳවන්නේ? මේ ගැන ටිකක් ගැඹුරින් හිතලා බලමු.

මෙය තේරුම් ගැනීමට අපි පොඩි උදාහරණයක් අරගෙන බලමු. අපි බොහෝ දෙනෙක් ලංකාවේ ටෙලිනාට්‍ය බලනවා. අපි ඒව බලන්නෙ රස විඳින්න. ඔබ නොවරදවා බලන ඔබේ ප්‍රියතම ටෙලිනාට්‍යක් ගැන හිතලා බලන්න. ඔබ එහි සමහර චරිතවලට කැමතියි.  ඔබ ඒවා සුදු චරිත හැටියට ලේබල් කරනවා. සමහර  චරිතවලට ඔබ අකමැතියි. ඔබ ඒවා පිළිකුල් කරනවා. ඒවා නපුරු චරිත හැටියට දකිනවා. ඔබ ඒවා කළු චරිත හැටියට ලේබල් කරනවා. සුදු චරිතවලට ඔබ ආදරය කරනවා. කළු  චරිතවලට වෛර කරනවා.  ඔබ දැන් සුදු චරිතවලට ඇලිලා. කළු චරිත සමඟ ගැටෙනවා. දැන් ඔබ  ටෙලිනාට්‍ය  බලන විට ඇලීම් සහ ගැටීම් ඔබේ සිත අපිරිසිදු කරනවා. කළු චරිත විසින්  සුදු චරිතවලට හිංසා කරන විට ඔබට සුදු චරිත කෙරෙහි දුකක් සහ  කළු  චරිත  කෙරෙහි වෛරයත් ඇතිවෙනවා. සුදු චරිතවලට කුමන වේලාවක හෝ නපුරක් සිදු වේ යැයි බයෙන් තැති ගන්නවා.  වෛරය, ක්‍රෝධය, ආසාව, බය සහ දුක වගේ ඍණාත්මක සිතිවිලි ඔබ තුළ  ඇතිවෙනවා.

දැන් ඔබේ සිත තුළ තිබුණු ඊට ආවේණික නිවුන ස්වභාවය නැහැ. ඒ වෙනුවට දැන් තියෙන්නේ ගිනිගන්නා ස්වභාවයක්. දැන් සිත පත්තුවෙලා. දැන් ඔබ  විඳවනවා. විඳින්න ගිහිල්ලා විඳවන්න වෙලා. ඔබේ හදවතේ ස්පන්දනය වැඩිවෙලා ලේ ගමන වැඩිවෙලා. නමුත් වාසනාවකට හෝ අවාසනාවකට ඔබ විඳවන බව ඔබට තේරෙන්නේ නැහැ. විඳීම තුළ ගිලී සිටින ඔබට විඳවීම දැනෙන්නේ නැහැ.  තේරෙන්නේ නැහැ. වෙන විදියකට කියනවා නම් ඔබ විඳවන බව ඔබ දන්නෙ නැහැ.  ඔබ තවමත් හිතනවා ඔබ ටෙලිනාට්‍ය විඳිනවා  කියලා. ඒ විතරක් නෙවි  ඔබට වෙන වැඩක් නැති වෙලාවට, ඔබට කම්මැලි හිතෙන වෙලාවට ඔබ එම සිද්ධීන් නැවත මතකයෙට ගෙන ඒවා විඳිනවා. එවිට නැවතත් ඔබ විඳවනවා. ඒ වගේම ඔබ කැමති සුදු චරිතවලට කුමන හෝ හානියක් වෙයිද යයි බියෙන් සිටිනවා. ඒ කියන්නේ ඔබ තුළ ස්වාභාවිකව පවතින නිවුනු ස්වභාවය ඔබ විසින්ම නැති කරගන්නවා. විදිනවා කියලා හිතාගෙන විඳවනවා.

මේ අත්දැකීමම ඔබට යොදා ගන්න පුළුවන් විඳවන්නේ නැතිව විඳින්න ක්‍රමයක් හොයාගන්න.  මෙහෙම කරලා බලන්න.

  1. ටෙලිනාට්‍ය බලන්න පටන් ගන්න කලින්  තමන්ගෙ සිත දෙස විමසිල්ලෙන් ටිකක් වෙලා බලාගෙන ඉන්න. ඔබේ සිත එහි ස්වාභාවික නිවුනු ස්වභාවයේ පවතිනවා ද කියලා බලන්න. සිත නිවුනු ස්වභාවයේ නැත්නම් ඔබ මේ ආකාරයට විමසිල්ලෙන් සිත දෙස බලා බලාගෙන ඉන්න විට එය නිවුනු ස්වභාවයට පත්වේවි.
  2. දැන් ඔබ ටෙලිනාට්‍ය බලන්න  පටන් ගන්න. නමුත් වෙනදා බලන විදියට නෙවෙයි.  ටෙලිනාට්‍ය බලන අතරම,  ඒ කියන්නේ එය විඳින අතරම, ඔබේ සිත් තුළ සිදුවන දේ පිළිබඳවත් විමසිල්ලෙන් ඉන්න ඕන. මෙය තරමක් අමාරුයි පටන් ගන්නකොට. නමුත් සිත ඒකට පුරුදු කරාම අමාරුවක් නැහැ.  මේ මගින් ඔබටම බලා ගන්න පුළුවන් ඔබේ සිත අපිරිසිදු වන ආකාරයත් අපිරිසිදු වූ විට සිතේ නිවුනු ස්වභාවය නැති වන ආකාරයත් එවිට ඔබ විඳවන ආකාරයත්. මෙය විපස්සනාවයි. එහෙම නැත්නම් විදර්ශනා වැඩීම යි.
  3. දැන් ඔබට විපස්සනාව තුළින් දකින්න  පුළුවන් ඔබේ සිත අපිරිසිදු වන ආකාරයත් ඒ නිසා එහි ස්වාභාවික නිවුනු ස්වභාවය නැති වන ආකාරයත් ඒ නිසා ඔබ විඳවන ආකාරයත්. දැන් ඔබට දැනේවි ඔබ විඳවන ආකාරය. ඔබේ හෘද ස්පන්දනය වැඩි වන ආකාරය. ඔබේ ලේ ගමන වැඩි වන ආකාරය. ඔබේ ඇඟ ගැහෙන ආකාරය. ඇතැම් අවස්ථා අවස්ථාවල දී  ඔබේ සිත බියෙන් තැති ගන්නා වූ ආකාරය. ඔබ බලාපොරොත්තු වූ ආකාරයට සුදු චරිතවලට සාධාරණය ඉටු නොවන විට ඔබේ සිතට තරහ යන ආකාරය. දුක හිතෙන ආකාරය. ඔබ කැමති ආකාරයට කළු  චරිතවලට දඬුවම්  නොලැබෙන විට  ඔබේ සිත  අසරණ වන ආකාරය. කළු  චරිතවලට නපුරක් වනතුරු ඔබේ සිත  වෛරයෙන් බලා සිටින ආකාරය.   දැන් ඔබට තමා තුළින්ම ‍ප්‍රත්‍යක්ෂ වෙනවා විඳීම තුළ විඳවීමක් පවතින බව. ඒ කියන්නේ   ඇලීමත් ගැටීමත් නිසා සිත අපිරිසිදු වන ආකාරයත්, එවිට සිතෙහි නිවුනු ස්වභාවය නැති වී  ඔබ විඳවන ආකාරයත්.
  4. දැන් ඔබට ‍ප්‍රත්‍යක්ෂ වේවි විඳවීමට හේතුව  සුදු චරිතවලට ඔබේ ඇලීමත් කළු චරිත සමඟ ඔබේ ගැටීමත් බව. ඒ කියන්නේ ඇලීම සහ ගැටීම නැතිව මේ ටෙලිනාට්‍ය බලන්න පුළුවන් නම් විඳවන්නේ නැතිව විඳින්න පුළුවන් බව.
  5. මේ ඇත්තටම සිදුවන්නේ විපස්සනාව තුළින් ඔබ චතුරාර්යය සත්‍යය දැකීමයි.

මෙය පුරුදු වෙනවිට ඔබට මේ ක්‍රමවේදය යොදන්න පුළුවන් ජීවිතයේ අනෙක් අත්දැකීම්වලටත්. එතකොට ඔබ නිරුත්සාහයෙන්ම සිහියෙන් ඉන්න පුරුදු වෙනවා. විපස්සනාව වැඩීමෙන් චතුරාර්ය සත්‍යය හැමව විටම දකින්න පුළුවන් වෙනවා.  එය ප්‍රත්‍යක්ෂ වීම සමග ටික ටික ඔබේ ඇතුළාන්තය නිවෙන්න පටන් ගන්නවා.

By Dr Rohana Ulluvishewa – Palmerston North

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.