fbpx
11.5 C
New Zealand
Saturday, April 27, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

සැමරුමට පමණක් සීමා නොවී

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

මාර්තු සහ අප්‍රේල් කියන්නේම වැදගත් සැමරුම් රාශියකින් පිරි කාලවකවානුවක්. ප්‍රථමයෙන්ම සමරනු ලබන්නේ මාර්තු අටවෙනි දිනට යෙදී තිබෙන ජාත්‍යන්තර කාන්තා දිනයයි. සමාජය තුළ කාන්තා සහභාගිත්වය අත්‍යවශ්‍ය බව අවධාරණය කරන“Inspire Inclusion” 2024 ජාත්‍යන්තර කාන්තා දිනයේ ගෝලීය තේමා පාඨයයි. එම තේමාව අනුව යමින් වැටුප් තලවල සාධාරණත්වය සහ විනිවිද භාවය ක්‍රියාත්මක කිරීම, ආයතනික මණ්ඩලවල කාන්තා නියෝජනය වැඩි කිරීම සහ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයෙන් මිදීම සඳහා කටයුතු කිරීම වැනි සාධනීය ක්‍රියාවලි හරහා ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවය ප්‍රචලිත කිරීමට බොහෝ බටහිර රටවල් මේ වන විටත් කටයුතු කරමින් සිටි.

කෙසේ නමුත්, වර්තමාන දේශපාලන, සමාජ, ආර්ථික සහ සංස්කෘතික වටපිටාව විසින් ශ්‍රී ලාංකික කාන්තාවට සකස් කර තිබෙන්නේ සතුටු විය හැකි පරිසරයක් නොවේ. ලෝකයේ පළමු අගමැතිනිය සහ විධායක ජනාධිපතිනිය පත් වුණු රටේ වර්තමාන කාන්තාවගේ ජන ජීවිතය සුබදායක නොවේ. නියෝජිතයන් දෙසිය විසි පහකින් යුක්ත ශ්‍රී ලංකාවේ අතිවිශාල පාර්ලිමේන්තුවේ කාන්තාවන් නියෝජනය කරන්නේ දොළොස් දෙනෙකු පමණි. දැඩි ආර්ථික අපහසුතා හේතුවෙන් ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් ලක්ෂ විස්සකට අධික පිරිසක් විවිධාකාර ශුද්ධ මූල්‍ය ණය උගුල්වල පැටලී ඇත. නවතම පිළිගත් සංඛ්‍යා ලේඛන වලට අනුව ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවාවන් තුළ කාන්තාවන්ගෙන් 60% එක් වරක් හෝ ලිංගික අතවරයකට ලක්ව ඇත. මීට අමතරව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ දත්ත අනුව පැහැදිලි වන්නේ අනවශ්‍ය ගැබ් ගැනීම් නිසා සිදුවන මාතෘ දිවිනසා ගැනීමේ සංඛ්‍යාවද වැඩිවෙමින් පවතින බවයි. මේ නිසා ලාංකික කාන්තාවගේ යහ පැවැත්ම උදෙසා කාන්තා දිනයට පමණක් සීමා නොවී ඔවුන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා සියලු දෙනාම සක්‍රීයව මැදිහත් විය යුතු කාලයක් එළැඹ ඇත.

මේ කාලයේ ඇති තවත් ඉතාම වැදගත් සැමරුමක් වන්නේ ඉස්ලාම් බැතිමතුන් සමරන රාමසාන් උත්සවයයි. චන්ද්‍ර දින දර්ශනයට අනුව නව වන මාසය එහෙමත් නැත්නම් රාමදාන් මාසයේ දී නව සඳ දුටු පළමු දිනයේ සිට ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් තම උපවාස කාලය ආරම්භ කරයි. එය අවසන් වන්නේ දසවන මාසය හෙවත් ෂව්වාල් මාසයේ නවසඳ දැකීමෙන් පසුවයි. ඉස්ලාම් බැතිමතුන් මෙම උපවාස සමය එහෙමත් නැත්නම් සව්ම් සමාදන් වන කාලයේදී අළුයම් කාලයේ සිට සවස් කාලය දක්වාම නිරාහාරව සිටි. එයින් අර්ථ ගැන්වෙන්නේ කුසගින්නේ වේදනාව දැනෙන දිළිඳු ජනතාවට පිහිට වීමේ ආකල්පය ඇති කිරීමයි. ඒ වගේම සිත දමනය කරගැනීමට, ඉවසීම, යහපත් විනයක් පවත්වාගෙන යෑමට පුහුණුවක් ලබා ගැනීම මෙම උපවාස සමයේ අපේක්‍ෂාව වේ.

මාර්තු මස අග යෙදී ඇති තවත් තවත් විශේෂ ආගමික සැමරුමක් වන්නේ පාස්කු උත්සවයයි. ලොව ජනගහනයෙන් වැඩි පිරිසක් වන කතෝලිකයින්ට පාස්කු සමය යනු ඉතා සුවිශේෂි කාලයකි. ජේසුස් වහන්සේගේ උත්තානය වීම මේ කාලයේදී ඔවුන් අනුස්මරණය කරයි. පීඩිත ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන්ගේ ලෙඩ රෝගවලට පිහිටක් වෙමින් ජීවිතාවබෝධය ලබා දුන් ජේසුස් වහන්සේට එවක රෝමානු පාලකයින් කුරුසේ තබා ඇණ ගසා මරණයට පත් කරන ලදී. මරණයට පත් වූ ජේසුස් වහන්සේ නැවත දෙවියන්ගේ පුත්‍රයා ලෙසින් උත්ථානය වීම පාස්කුව ලෙසින් ලොව පුරා විසිරී සිටින කිතුනු බැතිමතුන් සමරනු ලබයි. අන්‍යයන්ට ප්‍රේම කරන්නට ඉගැන්වූ ජේසුස් වහන්සේ තම ජීවිතය අනෙකා වෙනුවෙන් පරිත්‍යාග කළේය. එය උතුම් වු පරිත්‍යාගයකි. ඒ අනුව යමින් මේ කාලයේ දී කිතුනු බැතිමතුන් යාඥා කිරීම, දුප්පතුන්ට උදව් කිරීම, බෙදාහදා ගැනීම වැනි යහපත් කාර්යයන්වල නිරත වේ.

සියලු ආගම්වල මූලික හරය වන්නේ සැමට ආදරය, කරුණාව, දයාව දැක්වීම, සරල දිවි පෙවෙත, අත්හැරීම වැනි කරුණු නමුත් වර්තමානය වන විට ආගම්වල මූලික හරයන් වියැකී ගොස් සැමරුම්වලට පමණක් සීමා වී ඇත. එය අපගේ අත්දැකීම් සහ ලොව පුරා පවතින ගැටුම්වලින් මනාව පිළිබිඹුවේ. බලය සහ පැවැත්ම උදෙසා අනෙකා නැසීමට අවියක් අතට ගැනීමට වර්තමානයේ බොහෝ මනුෂ්‍යයන් දෙවරක් සිතන්නේ නැත. එනිසාවෙන් සැමරුමට පමණක් සීමා නොවී ආගම්වල ඇති ඇතුලාන්තය අවබෝධ කරගෙන ජීවත් වන විට, මනුෂ්‍යයාට මීට වඩා සාමකාමී, සුරක්ෂිත පරිසරයක ජීවත්වීමට හැකිය.

ශ්‍රී ලාංකිකයන්ට පමණක් ආවේණික වූ සංස්කෘතික සැමරුම් මංග්‍යයක් වන අලුත් අවුරුද්ද අප්‍රේල් මාසයේ එසේත් නැත්නම් බක් මාසයේදී යෙදී ඇත. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීම සිංහල හින්දු අලුත් අවුරුද්ද ලෙසින් ලක්වාසීන් විසින් සමරනු ලබයි. පුරාණයේ සිට පැවත එන චාරිත්‍ර වාරිත්‍ර රැසක් සුභ මුහුර්තයන්ට අනුව කරනු ලබන සංස්කෘතික අංග රාශියක් අලුත් අවුරුදු කාලයේදී දැකිය හැකිය. කාලානුරූපීව ඇතැම් චාරිත්‍ර වාරිත්‍ර නවීකරණයට සහ වෙනස්වීම්වලට භාජනය වුවත් අදටත් ශ්‍රී ලාංකිකයන් තමන්ට හැකි අයුරින් නව අවුරුදු උදාව සමරනු ලබයි. කාර්යබහුල ජීවිත ගත කරන පවුලේ උදවිය මගහැරෙන නවීන සමාජයේ සියලු දෙනා එකට එකතු වී සහයෝගයෙන් කාලය ගත කරන්නට විරාමයක් අලුත් අවුරුදු සමයේදී ශ්‍රී ලාංකිකයන්ට හිමිව ඇත. එනිසාම අලුත් අවුරුදු සමය හිත මිතුරුකම්, නෑදෑකම් අලුත් වන කාලයක් බවට පත්ව ඇත. හිත්වල ඇති තරහා මරහා අමතක කර හිතවත්කම් ඇතිකර ගැනීමත් අන් අය සමඟ සහජීවනයෙන් ජීවත් වීමත් සිංහල දෙමළ අවුරුද්දේ සැබෑ අරුත වේ. එය අර්ථාන්විත ජීවිතයකට මග පෙන්වන සොඳුරු කාලපරිච්ඡේදයකි.

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.