fbpx
10.7 C
New Zealand
Saturday, May 4, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ගන්ධබ්බයෙක් | අනූ වීරකෝන් | වෙලින්ටන්

Must read

“මේ මම පුතාව ක්‍රිකට් ප්‍රැක්ටිසස්වලට දාලා ටිකක් ගේම් එක බලලා තමයි සුපර් මාකට් යන්නෙ හොඳද ? දැන් වෙලාව හයහමාරයි. ටිකක් උදෙන් වුණාට සෙනසුරාදටත් ට්‍රැෆික්නෙ මෙහේ. මේ පාර මැච් එක තියෙන තැනට පැයක විතර ඩ්‍රයිව් එකක් තියෙනවා.”

ක්‍රිකට් ස්වෙටර් එකත් තොප්පියත් දාගෙන උනන්දුවෙන් තරප්පු පෙළ බහින දුෂ්මන්තගේ පිටුපස්සෙන් බාගෙට ඇස් ඇරගෙන කපුටු කූඩුවක් වගේ කොන්ඩෙත් එක්ක තඩි මල්ලක් කරේ දාගෙන ගැවින් කුස්සියට එනු පෙනේ. ඔහු ශීතකරණය ඇර සීරියල් අහුරක් දමාගෙන ඒකට මහා කිරි ගොඩකුත් දමාගෙන වාහනයට යනු පෙනුනි.

“දුෂ් ඔයාට හොඳටම ෂුවර් ද ගැවින් ඔය ආසාවෙන් ක්‍රිකට් ගහන්නේ කියලා.” මම තේ කෝප්පය සෝදන ගමන් ඇසුවෙමි.

“ඔව් අනේ ඔව්. අපිට මේ තරම් ෆැසිලිටීස් තිබ්බ නම් ශ්‍රී ලංකන් ටීම් එකට ගහලා තමයි නවතින්නෙ. බලන්න අර නිර්මාල්ගේ පුතා. ෂුවර් එකටම නිව්සිලන්ඩ් අන්ඩර් නයින්ටීන් ස්කොඩ් එකට එයා සිලෙක්ට් වෙනවා ”

දුෂ්මාන්ත එක හුස්මට තේ කෝපය ඉවර කරන ගමන් යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තරයක් දී එතනින් පිටවිය.

මා දොර වසා එන විට මතක් වූයේ ගැවින් නිසා හදිසියේ පැටළුණු මේ කතාව නිසා මට සාරංගිගේ පණිවිඩේ දුෂ්මන්තට කියන්න අමතක වූ බවයි.

“හලෝ දුෂ් ඔයාට කියන්න බැරි වුණානේ සාරංගිට එන්න විදියක් නෑලු ලන්ච් එකට. සෙනාල් ඔන් කෝල්. ඉතින් සෙනාල් ටිකක් පරක්කු වෙලා එන්න තමයි හිතන් ඉන්නේ. ඔයාට සුපර් මාර්කට් ගිහිල්ල ඒ වැඩ ඉවර කරගෙන සාරංගිවත් අරගෙනම එන්න පුළුවන් ද?”

අවුරුදු පහළොවක් තිස්සේ මගේ මේ වගේ කෝන්තරාත්තුවලට දුෂ්මන්ත හොඳින් හුරු වී ඇත.

“ඔයාගේ මොළේ හොඳ නැද්ද? සාරංගී. එයාගේ හස්බන්ඩ් ඇරෙන්න වෙන පිරිමියෙක් එක්ක වාහනේ යන්නෑ කියලා ඔයාමනේ මට කිව්වේ. ඉතින් මගේ ජෙන්ඩ චේන්ජ් එකක් මේ උදේ වරුවෙදි වුණොත් ඔය වැඩේ කරන්න තිබ්බා.”
මහා සමච්චල් මුසු හිනාවක් දමා දුෂ්මන්ත දුරකථනය තැබුවේය.

ඔහුගේ කතාව ඇත්තක්ය. සාරාංගිගේ මේ ක්‍රමය මට මොහොතකට අමතක විය. දැන් විකල්ප විසඳුමක් සෙවිය යුතුය.

දුරකථනයේ යළි නාද වනු ඇසුණි. දුෂ්මන්තට විසඳුමක් ලැබිල ද?

ඒත් වට්සැප් කෝල් එක නුවන් ගෙන්.

“හා නෝනා මොකෝ කරන්නේ උදේ නැගිටලා මහත්තයටයි කොල්ලටයි කන්න බොන්න හදනවද?”

නුවන්ගේ කටහඬ ඇසේ. තරමක් සළු වී ඇති බවක් ඔහුගේ කටහඬේ ඇත.

“මේ… මේ… සහෝ අපි ඉන්නෙ පිටරට හොදේ. අපි ඔය උදේට කන්නේ නෑ නේ. අපි ඉන්ටර්මිටන්ට් ෆාස්ටින්. කොල්ලා සීරියල් බෝල් එකකට කිරිදාගෙන කාර් එකට නැග ගත්තා තාත්තත් එක්ක ක්‍රිකට්වලට යන්න. මගේ උදේ කෑම ප්‍රශ්නය විසඳිලා”
ඔහුගේ විදිහටම මම ප්‍රතිඋත්තර දුන්නෙමි.

“හරි හරි ඔයාලා හරි පොෂ්නේ. මේ මගේ ප්ලේටොනික් ලව් එකත් මෙතන ඉන්නවා. ඉතින් අපි හිතුවා උඹටත් පොඩි සද්දයක් දාන්න, වදයක් දෙන්න” නුවන් කීවේය.

ඔහු දුරකථන ඇමතුම ගන්නේ ස්පීකර් ෆෝන් එක දමා බව පෙනේ.

“මේ තරූ, මේ නුවන් ප්ලේටොනික් ලව් එක එක්ක මහ රෑ කොහෙද මේ රවුම් ගහන්නේ නිමේෂාව දාලා.” සාම්ප්‍රදායිකව නොසිතන ඔවුන් වෙත මම සාම්ප්‍රදායික ප්‍රශ්නයක් එල්ල කෙරුවෙමි.

“මේ මචං මේකා නිමේෂාව වෙඩින් එකකට ගෙනියන ගමන් අපේ ගෙදරින් මාවත් ඩැහැ ගත්තා. මෙයාට කාලෙ මරන්න විදියක් නැති නිසා. නිමේෂා කිව්වා කන් දෙක සැරින් සැරේ සුද්ද කරගන්න කියලා මෙයාගේ සමාජ දේශපාලන දේශනය පැය දෙක තුනක් අහන් ඉන්නකොට”
තරූ කෑගහලා කීවාය.

මම මොහොතකට ඒ රසබර අතීතයේ අතරමං විය. තරූ, නුවන්, මම, බංචෝ, චොප්පෙ. ඔව් ඒ තමයි නඩේ. අපි මොනතරම් නිදහස් කාලයක් විශ්ව විද්‍යාලය ජීවිතය තුළ තිබුණ ද? අපි ඔක්කොම කොළඹ. ජෙන්ඩර් ප්‍රශ්න, ඉක්වල් රයිට්ස් ප්‍රශ්න, මැස්ලෝගේ තියරි, නෙරූඩගේ කවි, පුටින්ගේ දේශපාලනය. මේ ඔක්කොම ගැන රෑ වෙනකන් තර්ක කරා. කතා කරා. මොන තරම් බුද්ධියම ගැටුණු කාලයක් ද?

“මොකෝ සද්දයක් නැත්තේ” නුවන්ගේ හඬ යළිත් දුරකථනය කෙළවරින් ඇසුණි.

” නෑ මට මතක් වුණා මචං අපේ කැම්පස් කාලෙ” දිග හුස්මක් මටම නොදැනී පිටවිය.

“මේ නුවන් චුට්ටක් ඉන්න දුෂ් කතා කරනවා. මම ආයෙත් ඕගොල්ලොන්ට ගන්නං” දුෂ්මන්තගේ දුරකථන ඇමතුමක් එනු දුටු මම ඔවුන්ගේ ඇමතුම විසන්ධි කළෙමි.

“ඔව් කියන්න මොකක්ද?” මම ඇසුවෙමි.

“ඔන්න මම සාරංගිට ට්‍රාන්ස්පෝට් එරේන්ජ් කරා ලකීලා එනකොට එයාව පික් කරයි කියන්න. මේ ඔයාගෙ වට්ස්ඇප් එකට ගන්න බැලුවා දිගටම. ඒත් බෑ. ඉන්ටර්නෙට් අවුල් වෙලාද දන්නෑ. මෝඩම් එක චෙක් කරන්න. දුෂ්මන්ත කීවේය.

“හා නෑ.. නෑ… නුවනුයි එයාගේ ප්ලේටොනික් ලව් එකයි අද කාලෙ කනවා. ඉතින් මේ දෙන්නා මට කෝල් එකක් අර ගත්තා. නිමේෂා වෙඩින් එකට ගිහිල්ලා. ඉතින් එයා එනකම් මේගොල්ලෝ ඉන්නවා. ඉතින් මගෙත් කාලෙ කන්නත් කියලා ඔය කෝල් කරේ” මම කිවෙමි.

“මේ උන්ට කියන්න ලංකාවේ උන් ප්ලේටෝනික් ලව් ගැන කතා කරනකොට මෙහේ පිටරට ඉන්න අපේ යාළුවෝ තාම මහත්තයා නැතුව වෙන පිරිමියෙක්ගේ වාහනවල යන්නෙත් නැහැ කියලා”
එසේ කියූ දුෂ්මන්ත මහ හයියෙන් හිනාවෙමින් දුරකථනය තැබූවේය.

මම නැවත නුවන්ගේ වට්ස්ඇප් නොම්මරයට ඇමතුමක් ගත්තෙමි.

“හලෝ හලෝ ඉතින් මේ ප්ලේටොනික් ලව් නෙමෙයි. මෙහේ දැන් අලුත් කොන්සෙප්ට් එකකුත් තියෙනවා. ඒක වර්ක් ස්පවුස් කියලා.” මම කීවෙමි.

“ඔව්. ඔව්. මම ඕක ගැන කියවලා තියෙනවා ජර්නල් කීපයක. තාම මෙහෙට ඕක සැරේට ඇවිල්ල නෑ” නුවන් කීවේය.

“මෙහේ ඕක වගේ ට්‍රෙන්ඩ් එකක් අන්ඔෆිෂියලි තියෙනවා. ලංකාවේ පවුල් ජීවිතවලට අබ සරණයි ඕක ආවොත්. ඕක නම් ඉතින් දීපව්‍යාප්ත වෙයි එක රැයකින්.” තරූ කීවාය.

“අනේ මන්දා මචාන් දුෂ් එක්ක ඇරෙන්න උඹලත් එක්ක වගේ මේ ප්ලේටොනික් ලව්, වර්ක් ස්පවුස් වගේ මාතෘකා කතා කරන්න පුළුවන් අය මට තාම මෙහේ හම්බවෙලා නැහැ. එහෙම කතා කරොත් මොළේ අමාරුවක් කියලා හිතයි.” මම කීවේ හිතේ බර සමග බව මට දැනුනි.

“ඒ කියන්නේ උඹලා වනාහී ගන්ධබ්බයෝ. දියුණු රටවල ආර්ථිකමය සංවර්ධනය භුක්ති විඳිමින් ශතවර්ශ ගණනාවක් පිටි පස්සේ තිබුණ සමාජ ව්‍යුහයක ඉන්න, අපේ රටේ සාංක්‍රමණිකයන් පිරිසක්. පව් බන් ඔහේ හැදෙන උඹලගේ පොඩි එවුන් ඇත්තටම”

නුවන් සමාජ දේශපාලන මාතෘකාවක් ආරම්භ කරන්න පසුබිම සකස් කරනු දැනුණි.

“මේ ඒක නෙමෙයි දරුවනේ අද අපේ ගෙදර දවල් කෑමට නඩයක් එනවා. ඉතින් පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා ඉවර කරන්න. ආසයි කතාව ගෙනියන්න. කොහෙද උඹලත් අදම කතා කරානේ.”
කතාව දිගටම කරන්න හිත තිබුණත් ඔරලෝසුව එයට ඉඩ නොදෙන බව මට පෙනුනි.

“හා.. හා.. හරි… හරි… උඹගේ ඔය පාස්පෝට් යාළුවෝ නැත්තං ඩිනර් ලන්ච් යාලුවෝ ටිකත් එක්ක කාලෙ කාපන්. කොයි වෙලේ හරි උඹට බුද්ධිමය සංවාදයක් ඕනේ කියල හිතුනොත් අපිට කතා කරපන්”

පොඩි කණේ පහරක් ගහමින්ම නුවන් කීවේය.

තිත්ත වුණත් කතාව ඇත්තය. බුද්ධිමය සංවාදය, ඒ මොනවද කියලත් මට අමතක වේගෙන යනවද කොහෙද. මට සිතුනි.

“මේ චමා ඔයා මේ අවුරුද්දේ ලංකාවට එනවද මචං” තරූ ඇසුවාය.

ඒ කටහඬේ තිබෙන බලාපොරොත්තු පිරිච්ච බව මට හොඳින් දැනුනි.

“ඔව් අනිවාර්යෙන්ම. නැත්නම් මගේ මේ එන්ජිමේ තෙල් ඉවරවෙලා කොට උඩ තියන්න තමයි වෙන්නේ”
මම කීවෙමි.

ලංකාවට යන ඒ ගමන මොනතරම් බලාපොරොත්තු පුරවගෙන එන ගමනක්ද කියලා ඒගොල්ලොන්ට තේරෙනවද කියා මම නොදනිමි.

ප්ලේටෝනික් ලව්, වර්ක් ස්පවුස්. ඒ මදිවට උන්ගෙ කතාවේ විදිහට පාස්පෝට් යාළුවො, ඩින ලන්ච් යාලුවෝ. වචන ටික හිත ඇතුලේ දෝංකාර දෙයි. හිතන්න දේවල් ඉතුරු කරන කතාබස් කොච්චර අතලොස්සක් ද අපිට ඉතුරු වෙන්නේ. මට සිතුනි.
මේ අපේ අද කතා ටික දුෂ්මන්තට කිව යුතුමය.

දුෂ්මන්ත කවදත් තර්ක කරන්නේ දස්කොන් ප්‍රමිලාට තිබිලා තියෙන්නේ ප්ලෙටොනික් ලව් එකක්. එදත් අද වගේම ඕක මිනිස්සු එය පටලවා ගත්තා කියාය. ඒ නිසාම අන්තිමට වටිනා දස්කොන් කියන සම්පත ලංකාවට අහිමි වුණා කියලා.

එන සුමානෙවත් ආයෙත් දුෂ්මන්තත් පටලවගෙන අයෙත් ගෘප් කෝල් එකක් ගන්න ඕනේ.

හදවතට දැනෙන කතාබහ වෙන්න නම් පිටරට ඉන්න අපිට…
දික්කසාද නඩුවේ ලිපි ගොනු ටික නීතිඥයා වෙත භාර දී වාහනයට ඇවිද යන අතරතුර මගේ හිතට ආ මේ සියලු මතකයන් ගැලපුම් නොගැලපුම් වී අවසන් කර ඇත.

අනූ වීරකෝන්
වෙලින්ටන්

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.