01. මාඋයි සහ මත්ස්‍යයා
මාඋයි නමින් හැඳින්වෙන්නේ, මවුරි ජනකතාවල එන බොහොම ප්‍රසිද්ධ චරිතයක්.
ජනකතාවේ කියවෙන හැටියට, මාඋයි විසින් අතිවිශාල මාළුවකු අල්ලාගෙන තියෙනවා. මේ මත්ස්‍යයා කොතරම් ලොකුද කියනවා නම්, නවසීලන්තයේ උතුරු දිවයින තරම්ම විශාලයි. ඒ දූපත දැන් හඳුන්වන්නේ ටේ ඉකාආ මාඋයි කියලයි. ඒ කියන්නෙ, මා උයි හොයාගත්තු දූපත. මාළුවා අල්ලගන්නට ඔහු ගිය ඔරුව තමයි, නවසීලන්තයෙ දකුණු දූපත බවට පත් වෙලා තියෙන්නෙ. ඔරුවට මඋරි බසින් කියන්නෙ, වකා කියල. නවසීලන්තෙ දකුණු දූපත මඋරි බාසාවෙන් හඳුන්වන්නෙ, ටේ වකා මාඋයි නමින්.
දැන් ඉතින් මුල ඉඳලම, මේ අපූරු ජනකතාවට සවන් දෙමු.
මාඋයි කියන්නෙ, දක්ෂ මසුන් මරන්නෙක් නෙමෙයි. හැබැයි, එයාට සූත්තරකාරයෙකු හැටියට සෑහෙන ප්‍රසිද්ධියක් තිබුණා. ඒ නිසා, වැඩිමහල් සහෝදරවරුන් ඔහුට වැඩි මනාපයක් දැක්වුවේ නැහැ. මසුන් මරන්ට යද්දි, මේ බාල සහෝදරයා කැඳවාගෙන ගියෙත් නැහැ. නිතරම විහිළු කරන්ට කැමැත්තක් දැක්වූ මාඋයි, තමන්ගෙ වැඩිමහල් සහෝදරයන්ගෙ අණට කීකරුකමක් දැක්වූයෙත් නැහැ. හැමවිටම එයා, ඒ වැඩිහිටි අයගෙ කටයුතුවල අඩුපාඩු කීම, පුරුද්දක් කරගෙන හිටියා.
සුපුරුදු ආකාරයටම, මාඋයිගෙ බිරිඳ, එදත් තමාගෙ සැමියාට ආඩපාලි කියන්ට පටන්ගත්තා. මේ මෝඩ මිනිහා කිසිම වැඩක්පළක් කරන්නෙ නැතුව, ගෙදරටම වෙලා ඉන්නව කියල, ඇය මාඋයිට දොස් කියන්ට වුණා. ඇය කියා හිටියේ, තනියෝම තමාට ගෙදර වැඩ කන්දරාව කරගෙන යන්ඩ බැහැ කියල. මාඋයිටත්, බිරිඳගේ කංකරච්චලය ඇති වෙලා. එයා තීරණය කළා, තමනුත්, තන්ගරෝආ මුහුදට ගිහිල්ලා, මසුන් අල්ලනවා කියලා.
මේ මුදු ගමන යන්ඩ ඉස්සර වෙලා, මාඋයි කෙළේ මොකද්ද කියල දන්නවද ? එයා මුලින්ම ගියේ, තමාගෙ පරම්පරාවෙ මුතුන්මිත්තන්ගෙ සොහොන් බිමට. මිත්තණියගේ හකු ඇටයක් හොයාගෙන, එයින් අපූරු බිලීපිත්තක් හදාගත්තු මාඋයි, තමාගෙ ඔරුවත් අරගෙන මූද දිහාවට ගියා.
මාඋයි මසුන් අල්ලන ස්ථානයට ගිය නමුත්, අයියලා කිසිවෙක් එයාට ඇමක් ලබා දෙන්ඩ කැමති වුණේ නැහැ. නමුත් එයා පසුබට වුණෙත් නැහැ. එයා කෙළේ මොකද්ද දන්නවද ? මාඋයි ලේ ගලන තුරු තමන්ගෙ නාසය පිඹලා, ඒ ලේ බිලීකටුවෙ තැවරුවා. ඊට පස්සෙ, බිලීකටුව මුහුදට දමලා, සන්සුන්ව බලාගෙන හිටියා. වැඩි වෙලාවත් බලාගෙන ඉන්ඩ සිදු වුණේ නැහැ. මාළුවෙක් බිලීකටුවෙ ඇමිණුණා. දැන් ඉතින්, මාඋයි බිලීපිත්ත අදින්ඩ පටන්ගත්තා. අදිනවා, අදිනවා තමයි. නමුත් මාළුවා ගොඩට ගන්ඩ හරිම අමාරුයි. අන්තිමේදි, මාළුවා ගොඩට ඇදගන්ඩ ඔහු සමත් වුණා. බැලින්නම්, මහ විශාල මාළුවෙක්. කොපමණ විශාලද කිවහොත්, ඒ තරම් විශාල මාළුවෙක් කිසිම කෙනෙක් කවදාවත්ම දැකලා නැහැ.
අද දවසේ, මාඋයි අල්ලාගත්තු ඒ විසාල ටේ ඉකා මාඋයි කියන මාළුවා, මහා සාගරය මැද්දට වෙලා, බොහොම සන්තෝසෙන් ඉන්නවා. ඒ මාළුවා තමයි, නවසීලන්තයෙ උතුරු දූපත.
න්ගාටි පොරෝඋ සම්ප්‍රදායෙ කියන හැටියට, මේ විසාල මත්ස්‍යයාගෙන් කැඩිල වෙන් වුණු කොටස තමයි, හිකුරන්ගි කන්ද හැටියට හඳුන්වන්නෙ. ඒ කඳු මුදුනට තමයි, මුලින්ම හිරු එළිය වැටෙන්නෙ. දැන් හැම දවසකම උදේ හිකුරන්ගි කඳු මුදුනට වෙලා නවසීලන්ත වැසියන්ට ඉර පායන හැටි, බලාගෙන ඉන්න පුළුවනි.
ආචාර්‍යය ඩබ්ලිව්.ඒ. අබේසිංහ
By Dr. W.A. Abeysinghe