මතකයන් අසීමිත ලෙස හිතට වේදනා ගෙන දේ නම් කළ යුත්තේ කුමක්ද? ඒ මතකයන් මරා දැමීම නොවේද?
මට හොරෙන් අවදි ගත් මතකයේ මතකයන්,
ඉකිබිඳියි මැදියමේ නිසල බව දෙපළු කොට,
දයාබර සිනහවක කෙළවරක රැඳුණු සිත,
නිදිවරයි රාත්‍රිය යහන මට අහිමි කොට.
දැහැනකට සමවැදිමි පිණි වැටෙන තුන්යමේ,
අතීතයෙ සිහිනයන් පාව යයි මීදුමේ,
නිරතුරුව සිනාසුණු දයාබර හිතැත්තිය,
‘මියෙවා‘ මතකයන් කඳුළු මල් උණුසුමේ.
මගේ වෑයම නිෂ්ඵල විය. ඇගේ මතකය වඩා ප්‍රබලව නැගී සිටියේ මා එය අමතක කිරීමට වෙර දරන විටය. එකල්හී, … ඇගේ ආදරය තුරුලු කොට ගෙන (මා මුලදී ඔබට කීවාක් මෙන්) මියෙන තුරු ජීවත් වීමට මම සිතා ගතිමි.
දැන් මට ඉතිරිව ඇත්තේ ඇයව සිහිනයක හෝ දැක ගැනීමේ සිතුවිල්ල පමණකිය.
නොමියෙනා මතකයක උරුමයන් හද දරා,
හුදකලාවෙම හිඳිමි රාත්‍රිය නිදිවරා,
ඉඳහිටක හදවතට සිහිලසක් ගෙනදෙමින්,
රැඳෙනු මැන මැදියමේ සිහිනයෙක නෙත්පුරා.
පිණි කඳුළක් වී වැටෙන්න තුරු ලතාවලින්,
මල් සුවඳක් වී හමන්න එහා ලොව වෙතින්,
මීදුමක් වෙලා ගලන්න කඳු මුදුන් මතින්,
හීනයක් වෙලා වඩින්න නීල වළා මැදින්.
හිම සේලය පැළඳ ගන්න රැහැයියනේ ඉගිල යන්න,
තරු පොකුරක් මැදට වැදී රෝස මලේ නිදා ගන්න,
ඝණ අඳුරට හාදු දි දී මඳ පවනේ පියාඹන්න,
රෑ සිහිනෙක ගීතයක්ව දයාබරියෙ! මවෙත එන්න.
By Chrishantha Wevita – Wellington