fbpx
9.5 C
New Zealand
Thursday, March 28, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

සිහිනය යථාර්ථයක් කළ ධෛර්යමත් යෞවනයා | දිමුතු විජේසූරිය – වෙලින්ටන්

Must read

අපිට තේරෙන වයසේ ඉදලා පුංචි පුංචි බලාපොරොත්තු ජීවිතය පුරාවටම තියෙනවා. ඒ බලාපොරොත්තු බොහොමයක් තමා වටා එතුණු දේවල්. ඉන් පරිබාහිරව බලාපොරොත්තු ඇති වෙන්නේ ඉතාම සීමිතවයි. විශේෂයෙන්ම විදේශගත වූ විට අපේ අරමුණු, ඉලක්ක තම පවුල වටා ඒකරාශි වීමේ ඉඩකඩ වැඩියි. තමන් ඉපදුණු රටට තමන් හැදීවැඩුණු ගමට වැඩදායි සේවාවක් කිරීමට පෙළඹෙන අවස්ථාවන් සිමිතයි. එසේ පෙළඹුණත් පෙළඹෙන්නේ තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමෙන් පසුවයි. 

තරුණ වයසේදීම තමන් හැදී වැඩුණු ගමට තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් දායකත්වය දෙන අපූරු තරුණයෙක් srilankanz අපිට මුණ ගැසුණේය. ඔහු නම්, මීට මාස කිහිපයකට ඉහත දී  pitarata.nz නමින් වෙබ් අඩවියක් ආරම්භ කළ, Creative Tribe නම් තොරතුරු තාක්ෂණ ආයතනයේ නිර්මාතෘ, ක්‍රයිස්චර්ච්හි, ඉෂාර සුරන්ජිත් වික්‍රමසිංහ ය.

ඉෂාරගේ නවසීලන්ත ආගමනය පිටුපස හරි අපූරු කතාවක් තියනවා. පුංචි කාලේ සිට ම මෙරටට පැමිණිමේ සිහිනයක් ඔහුට තිබුණේය. ඔහුගේ සිහිනයට පාර පෙන්වා ඇත්තේ ඔබ අප කාටත් මතක ලංකාවේ ඇන්කර් කිරිපිටි පැකට්ටුවේ ඇති  මනරම්  ටරනාකි කඳු වැටියයි. කුඩා කාලයේ තම දෙමව්පියන්ට මෙම පින්තූරය පෙන්වමින් ඉෂාර නිතරම කියා සිටියේ කවදහරි දවසක මේ ලස්සන රටට යන බවයි. කුරුණෑගල පැල්ලන්දෙනිය ග්‍රාමයේ හැදී වැඩෙන ඔහු මූලික අධ්‍යාපනය හදාරන්නේ වයඹ රාජකීය විද්‍යාලයෙනි. එම පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක ධූරයේ ද ඔහු කටයුතු කර ඇත. මව, පියා සහ සහෝදරයෙකුගෙන් යුත් ඉෂාරගේ  පවුල ආර්ථික අතින් වත්පොහොසත්  නොවුණත්, ඔහුගේ සහෝදරයා ශිෂ්‍යත්ව කඩඉම සමත් වීමත් සමගම ඔවුන්ගේ පියා  සේවය කළ ආයතනයෙන් ත්‍යාගයක් ලෙස  ලැබෙන පරිගණකය නිසා ඉෂාරට කුඩා කළ සිටම පරිගණකයක් පරිහරණය කිරීමට අවස්ථාව ලැබුණේ ය. එම නිසාවෙන් පරිගණක තාක්ෂණය පිළිබඳ ආසාවක් ඔහුට කුඩා කළ සිට ම ඇති විය. 

පරිගණක ක්‍රීඩා සමග විනෝද නොවූ ඔහු පරිගණක ක්‍රියාකාරීත්වය, එහි ස්වභාවය සොයා බැලීමේන් තෘප්තිමත් විය. ඒ නිසාම ඔහුට වයස එකොළහක් දොළහක් වන විට ඔහුගේ ප්‍රථම පරිගණක මෘදුකාංගය සකස් කිරීමට හැකි විය. එයට අඩිතාලම සකස් වූයේ ඔහුගේ සහෝදරයා ඩුබායි දේශයේ රැකියාවක නියුතු වූ නිසාවෙනි. ඉෂාරගේ  මෘදුකාංගය ඩුබායි සමාගමක්  ලබා ගැනීමත් සමග ඔහු දිගටම freelance වරයෙකු ලෙස කටයුතු කරගෙන ගියේ කුඩා අවධියේ සිට ම ය. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගයෙන් අනතුරුව ලැබෙන කෙටි නිවාඩුවේ දී පවා ඔහුට මැදපෙරදිග ගොස් තොරතුරු තාක්ෂණ අංශයෙන් වැඩ කිරීමට අවස්ථාවක් ලැබුණේය. ඔහු උසස් අධ්‍යාපන කටයුතුවල නියැලෙන තෙක්ම මැදපෙරදිග රැකියාවන්හි නියුතු විය. එවැනි අවස්ථාවක් ලැබීම ඔහුගේ ඉදිරිගමනට මහත් පිටිවහලක් වන්නට ඇත.

උසස් පෙළ විභාගය අසමත් වන ඔහු  එයින් නොනැවතී තමන් කැමති ධාරාවකින් වැඩිදුර අධ්‍යාපනය හැදැරීමට යොමුවන්නේ ය. උසස් පෙළ නැවතත් කරන මෙන් ඔහුගේ දෙමාපියන් ද පෙරැත්ත නොකිරිම ද ඔහුට නිදහසේ තිරණයක් ගැනිමට පහසුවක් විය. නවසීලන්තයට පැමිණීමේ සිහිනයක් ඔහුට තිබුණු නිසා නවසීලන්තයට පැමිණීමේ හොඳම මාර්ගය ලෙස ඔහු දකින්නේ උපාධියක් ලබාගෙන වසර දෙකක  පමණ වෙනත් රටක සේවය කර ‘skilled migrant’ කාණ්ඩය හරහා අයදුම් කිරීමට ය. පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් වැඩිදුර අධ්‍යාපනය හදාරන ඔහු තම අධ්‍යයන වර්ෂයේ දි හොඳම සිසුවා වෙමින්  2016 වර්ෂයේ දී පරිගණක විද්‍යාව සහ මෘදුකාංග ඉංජිනේරු උපාධිය හමාර කරන්නේය. 

දෙමාපියන්ගේ  අභිමතයට  අධ්‍යයන කටයුතු සඳහා පැමිණි ඔහුගේ යාළුවන් වැඩි උනන්දුවකින් හා කැපවීමකින්  ඉගෙනීම් කටයුතු නොකළ ද ඉෂාර රැකියාවක් කරමින් තමා උපයන මුදලින් ම ගෙවීම් කටයුතු කරන නිසාත් ඉලක්කයක් ඇති නිසාත් තමන් කැමති විෂයක් හදාරන නිසත් ඉතා ආශාවෙන්, කැපවීමෙන් හා වගකිමෙන් තමා අධ්‍යාපන කටයුතු අවසන් කරන්නේ ය.  දෙමාපියන් තම දරුවන්ට නිසි මඟ පෙන්වීම් කර ඔවුන්ට නිදහසේ හිතන්නට ලෝකය දකින්නට අවකාශයක් ලබා  දුන් විට ඔවුන් ඉතා කැමැත්තෙන්, උත්සාහයෙන්  තම අධ්‍යයන කටයුතුවල නියැලෙන බවට නිදසුනකි ඉෂාර. 

උපාධි කටයුතු හමාර වීමත් සමඟම ඉෂාරගේ  හැකියාවන් හා දක්ෂතාවන්   LinkedIn Profile  මගින් දකින නවසීලන්තයේ Invenco Group Limited  නම් ආයතනය ඔවුන් විසින්ම ඉෂාර ට කතා කර රැකියා අවස්ථාවක් ලබා දුන්නේ .  2017 වර්ෂයේ දී ඉෂාර නවසීලන්තයට පැමිණෙන්නේය මෙලෙසිනි.

ඉෂාර 2019 දි ශ්‍රී ලංකාවේ කුරුණෑගල නගරයේ තමන්ගේම ආයතනය වූ ‘Creative Tribe’ ආයතනය ආරම්භ කරන්නේ ය.

කුරුණෑගල නගරයේම තොරතුරු තාක්ෂණ ආයතනයක් ආරම්භ කරන්න ඉෂාර පෙළඹෙන්නේ ලංකාවේ දී ඔහු අත්වින්ද, අත්දුටු සිදුවීම් නිසාමය. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවල නිරත වන විශාල පිරිසක් කුරුණෑගල අවට සිටිති. ඒ බොහෝ දෙනා රැකියා කටයුතු සඳහා කොළඹ නගරය වෙත ඇදෙති.  තරුණ පිරිස් නම් සතියේ දිනවල කොළඹ රැදී සති අන්තයේදී තම නිවෙස්වලට පැමිණියත් දරුවන් සිටින පවුල්වල අය පාන්දර තුනට හතරට  පමණ දුම්රියේ නැගී කොළඹ  ගොස් වැඩ නිමා කර නිවෙසට පැමිණෙන්නේ රාත්‍රී දහයත් පසු වු විටය. මෙම ගමනාගමනය ඉතාමත් දුෂ්කර වූවකි. මෙමගින් පුද්ගලයින්ගේ ඵලදායිතාවය ද හීන කරන්නේය. එමෙන්ම ඔව්හු දැඩි වෙහෙසකින් මෙන්ම අතෘප්තිමත්ව  දවස ගෙවා දමති. පාන්දරින් නිවසින් පිටවන විට දරුවන් නින්දේය. රාත්‍රී නැවත පැමිණෙන විට දරුවන් නින්දට ගොස්ය. ඔවුන්ට තම ආදරණීයන් මෙසේ මඟහැරී යන්නේ ය. ඉෂාර නිරන්තරයෙන් මෙම ප්‍රශ්නයට විසඳුමක් සෙව් තරුණයෙකි. 

මෙම ගැටළුවට විසඳුමක් ලෙස ‘රැකියා කටයුතු නිමවීමෙන් පසු දවස අවසානයේ ගෙදරට එන්න හැකි’ යන සංකල්පය පෙරදැරි කර ගෙනයි    ‘Creative Tribe’ ආයතනය බිහිවුයේ. එමෙන්ම ලංකාවේ ආයතනවල ස්වරූපය හා වැඩ කරන ස්වභාවයට වඩා හාත්පසින්ම වෙනස් වූ ආකාරයකින් මෙරට ආයතන ක්‍රියාත්මක වන අයුරු ඔහු අත්වින්දේ ය. ලංකාවේ දී නොයෙකුත් ආකාරයේ පිඩාකාරී වටපිටාවකයි බොහෝ අය තම රැකියාවන්හි නියැලෙන්නේ. නමුත්  මෙම රටවල එම තත්ත්වය වෙනස් ය. තමන්ට පහසු වෙලාවක වැඩට යන්න, නිදහස් පරිසරයක් වැඩ කරන්න අවස්ථාව ඇත.  ඒ වගේම තනතුරුවල ගරුත්වය තිබුණත් ආයතනය තුළ තනතුරු නාමයෙන් නොව ඒ ඒ පුද්ගල නාමයෙන් ආමන්ත්‍රණය කිරිම, ප්‍රධානින්ට ගැතිභාවයක් නොදක්වා තමන්ගේ අදහස් ප්රකාශ කිරීමට හැකියාවක් මෙරටෙහි ඇත්තේ . මේ වෙනස අත්දකින ඉෂාරට තම රටේ මෙවැනි රැකියා සංස්කෘතියක් ඇති කිරීමට සිත් වෙනවා. ඒවගේම තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ රැකියා අවස්ථාවන් මෙරටෙහි ඇති බවත් ඔහුට හැඟෙනවා. ඇතැම් ආයතන තම ආයතනයට කර ගැනීමට ධාරිතාවයක් නොමැති ව්යාපෘති වෙනත් රටවල ආයතනවලට බාර දෙනවා. මේ සියල්ලෙහිම ප්‍රතිඵලයකි ‘Creative Tribe’. වර්තමානය වන විට එම ආයතනයේ පූර්ණකාලීන සේවකයින් තිදෙනෙක් සේවය කරති. ඔවුන්ගේ මෙහෙවර වන්නේ ‘ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වෙළඳපොලකට දක්ෂ, ලාභදායි, සංවර්ධන සම්පත් සැපයීම’. මෙයින් කුරුණෑගල වැනි තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා අවම ප්‍රදේශයන්ට රැකියා අවස්ථාවන් ලබා දීමක් ද සිදු වේ. නවසීලන්තය හා ඕස්ට්‍රේලියාව යන රටවල ව්‍යාපෘති සඳහා ඔව්හු  තම  සේවාවන් සපයති. මූලිකවම මෙම රටවල් දෙක තෝරා ගැනීමට හේතු වී ඇත්තේ සේවා දායකයින් මුණගැසීමට ඇති පහසුව නිසා වෙනි. Creative Tribe ආයතනය පිළිබද ඔබට තව දුරටත් දැනුවත් විමට www.creativetribe.co.nz වෙත පිවිසෙන්න. ඉෂාරගේ අනාගත බලාපොරොත්තුව වන්නේ   කුරුණෑගල නගරය  තොරතුරු තාක්ෂණයේ කේන්ද්‍රයක් බවට පත්කිරීමට ය.

ඉහතින් සදහන් කළ ‘pitarata.nz’ නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන්   පවත්වා ගෙන යන වෙබ් අඩවියකි. මෙම වෙබ් අඩවිය හරහා තමන් කරන ව්‍යාපාර,සේවාවන්, රැකියා අවස්ථාවන් තමන්ට අවශ්‍ය සේවාවන් ආදිය පිළිබඳව නොමිලේ දැන්වීම් පළ කළ හැකිය. Pitarata.nz ඔබගේ අවශ්‍යතාවයන් සදහා ඉඩක් සලසා ඇත.

Srilankanz පුවත් පත පිළිබඳ ඔහුගේ අදහසය වුවේ ‘නවසීලන්තයේ වෙන සිංහල පත්තරයක් නැහැ. පත්තරය මගින් තොරතුරු ව්‍යාප්ත වෙනවට අමතරව ලංකාවෙ ඉඳන් මෙහෙට ආව කෙනෙක්ට කඩේක සිංහල පත්තරයක් තියෙනවා දැක්කම ගෙදර ඉන්නවා වගේ දැනෙන්නට උදව් වන දෙයක්. ලංකාවේ ඉදන් දරුවන් නිසා මෙහෙට එන දෙමාපියන්ට මේ වගේ පත්තරයක් දැකීමත් සතුටක්. ලංකාවේ කොටසක් මෙහෙත් තියෙනවා කියන හැඟීම ඔවුන්ට දැනෙනවා. තවත් අගය කරන්න දෙයක් තමා පත්තරේ වැඩ කරන අය. එයලගේ හොඳකම නිසා තමා පත්තරේ වැඩ කරන්නේ. එයාලා ඒ දේ කරන්නේ සමාජය වෙනුවෙන්. මිනිසුන්ගේ තියෙන හොඳ පැතිකඩක් තමා ඒ හරහා පෙන්නන්නෙ’.

Srilankanz අපි ඉෂාරගේ අනාගත සුබ සිහින යථාර්ථයක් වන්නට  ප්‍රාර්ථනා කරන්නෙමු.

Written by: Dimuthu Wijesuriya – Wellington

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.