හැදින්වීම
‘අපි හැම කෙනෙක්ම වගේ හිතනවා අපි අපට ආදරේය කියල. ජීවිතයේ කරන බොහෝ දේවල් අපි කරන්නෙ අපටම ආදරේ නිසා කියල. මේ දෙස විචාරාත්මකව බැලීමත්, අපි හැම කෙනෙක්ම තමන්ට ඇත්තටම ආදරේ නම්, අපටත්, අප ජීවත්වන සමාජයටත්, දැනට වඩා සතුටින් හා සාමයෙන් ජීවත් විය හැකි බව පෙන්වා දීම’ අරමුණු කරගත් ලිපියේ මුල් කොටස ගිය කලාපයේ පළ වීය. ඉතිරි කොටස…
ව්‍යාජ මගේ ග්‍රහණයෙන් මිදීම:
දැනට අපි ‘ව්‍යාජ’ මගේ ග්‍රහණයට අසුවී සිටින්නේ එහි පැලපදියම් වී ඇති ආශාවන් පිනවීම පිණිස එය විසින්ම නිපදවනු ලබන සිතුවිලි, හැඟීම් හා ආවේග ‘මගේ’ සිතුවිලි, ‘මගේ’ හැඟීම් හා ‘මගේ’ ආවේග වශයෙන් පිළිගෙන ප්‍රතික්‍රියා කිරීම නිසයි. ඒ නිසා එහි ග්‍රහණයෙන් මිදීම සදහා කළ යුත්තේ එය එසේ නොවන බව තමා තුළින්ම දැක ප්‍රත්‍යක්ෂ කරගැනීමයි.
තමා තුළ පහලවන සිතුවිලි, හැඟීම් හා ආවේග තමා විසින්ම නිරීක්ෂණය කිරීමෙන් කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන් ඒවා තමාගේ නොවන බව. නමුත් එය අභියෝගාත්මක කර්තව්‍යයක්. මන්ද, අපි හැම කෙනෙක්ම මෙන් ළමාකාලයේ සිටම පුරුදු වෙලා තියෙන්නෙ බාහිර ලෝකය නිරීක්ෂණය කිරීමට මිස තම ඇතුළාන්තය නිරීක්ෂණය කිරීමට නොවේ. ඒ කියන්නෙ අනුන්ගේ වැරදි දකින්න මිස තමන්ගේ වැරදි දකින්න නොවේ. නමුත් මේ සඳහා හැකියාව විභව වශයෙන් හැම මනුෂ්‍යයෙකුටම ලැබී තිබෙන බව මනෝ විද්‍යාඥයින් පෙන්වා දෙනවා. ඒ හැකියාව Metacognition නමින් ඔවුන් හඳුන්වනවා. විපස්සනාව මේ හැකියාව මත පදනම් වූ ක්‍රම වේදයක්. අවශ්‍ය වන්නේ ඒ සදහා මනස පුරුදු කිරීමයි.
එවැනි පුරුදුවීමක් තිබෙන කෙනෙකුට හැකියාව තියනවා තමා තුළ පහළවෙන බාධාකාරී සිතුවිලි හා ආවේග තම සිතුවිලි හා ආවේග ලෙස පිළිගෙන ක්ෂණිකව ප්‍රතික්‍රියා කිරීම වෙනුවට, ඒ සිතුවිලි හා ආවේග විචාරාත්මකව නිරීක්ෂණය කරන්න. උදාහරණ වශයෙන් හිතමු ඔබ සන්සුන්ව සිටින අවස්ථාවක යම් කෙනෙක් ඔබ කළ දෙයකට ඔබට දොස් පැවරනවා. එවිට ඔබට තරහක් හෝ දුකක් ඇතිවෙනවා. ඔබ සාමාන්‍යයයෙන් කරන්නෙ ඊට ප්‍රතික්‍රියා වශයෙන් ක්ෂණිකවම තමා කළ දෙය සාධාරණීකරනය කිරීමට උත්සාහ කිරීම. ඒ වෙනුවට දැන් ඔබට පුළුවන් ඒ දුක හෝ තරහ විචාරාත්මකව ගවේෂණය කරන්න . ‘මේ දුක ඇතිවන්නේ කාටද?’; එහෙම නැත්නම් ‘මේ දුක විදින්නෙ කවුද’ කියල තමන්ගෙන්ම ප්‍රශ්න කරනවා. එතකොට ඒකට ක්ෂණිකවම ලැබෙන පිළිතුර තමයි ‘මට’ හෝ ‘මම’. මොකද, මෙතෙක් කල් සිතට එන හැම සිතුවිල්ලක්ම, හැම දුකක්ම මගේ වශයෙන් පිළිගන්න පුරුදුවෙලා හිටියෙ. දැන් ඔබ ගවේෂණය කරනවා ‘මම කියන්නෙ කවුද?’ කියල. මේ ගවේෂණය අභියෝගාත්මකයි. මොකද, ‘ව්‍යාජ මම’ එයාගෙ ව්‍යාජත්වය එළිදක්වන්න ඉඩදෙන්නෙ නැහැ. නමුත් කෙසේ හෝ ඔබ ගැඹුරට ගවේෂණය කරගෙන ගියොත් ඔබට අවසානයේදී පෙනීයනවා ‘මම’ කියල ඔබ මෙතෙක් කල් විශ්වාස කළ දෙය ව්‍යාජ බව. ‘ව්‍යාජ මගේ’ ව්‍යාජත්වය ඔබ දකිනවා ඔබ තුළින්ම. එය දකින්නෙ සංකල්පයක් හෝ න්‍යායක් වශයෙන් නෙවි ඔබේම අත්දැකීමක් විදියට. එය තමා තුළින් ප්‍රත්‍යයක්ෂ වීමක්.
මේ ප්‍රත්‍යයක්ෂ වීමේ ක්‍රියාදාමය මෙම ලිපිය ලියන රචකයා ගේ පෞද්ගලික අත්දැකීම් අනුව මේ විදියට විස්තර කරන්න පුළුවන්.
- මේ දුක විදින ‘මම’ කවුද කියන ප්‍රශ්නට පිළිතුරු සොයමින් තමා තුළට ගවේෂණය කරගෙන යනවිට ඔබට ඒ දුක ටික ටික අඩුවේගෙන යන බව පෙනේවි.
- ඒ සමගම එම ‘දුක’ සහ එය ගවේෂණය කරමින් සිටින ‘තමා’ අතර සියුම් පරතරයක් පවතින බව ඔබට දැනේවි. ඔබ තවත් ගැඹුරට ගවේෂණය කරගෙන ගියොත් ඔබට දකින්න පුළුවන් වේවි ඔබේ අවධානය යොමුවී තිබුණ ඒ ‘දුක’ ක්‍රමයෙන් නැතිවී යන බවත්, එහෙත් එය නිරීක්ෂණය කරමින් සිටින ‘මම’ තවමත් සිටින බව.
- මේ පිළිබඳව විචාරාත්මකව ගවේෂණය කළහොත් ඔබට පෙනීයාවි ඒ දුක ‘මම’ වත් ‘මගේ’ වත් නොවන බවත් ඇත්තටම ‘මම’ යනු මේ ගවේෂකයා බව. එහෙම නැත්නම් මේ ගවේෂණයේ යෙදී සිටින තමා බව.
- ඔබ තවත් ගැඹුරට ගවේෂණය අරගෙන ගියහොත් ඔබට වැටහේවි ගවේෂණයේ යෙදී සිටින ‘මම’ද ඇතිවෙමින්, නැතිවෙමින් යන සිතුවිලි මිස ‘මම’ වශයෙන් හදුනාගත හැකි කිසිම ස්ථාවර ව්‍යුහයක් එහි නැති බව.
- මේ අවස්ථාව වෙනවිට ඔබ ‘ව්‍යාජ මගේ’ ග්‍රහණයෙන් මිදී, ඔබ පෙර කිසි විටක අත්දැක නොතිබුන පරිදි ‘අව්‍යාජ මම’ තුළ ගිලී එහි සැනසුම් සුවය විඳිමින් ඉදීවි. සැබෑ ‘මම’ සොයා ගත්තා යයි ඔබට හිතේවි.
සැබෑ ආදරය:
එහෙත් ගවේෂණය අවසන්ව නැවත ‘මෙලොවට’ පැමිණි වහාම නැවතත් ඔබ පුරුදු පරිදි ‘ව්‍යාජ මගේ’ග්‍රහණයට අසුවේවි. නමුත් දැන් ඔබ අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂ කරගෙන ඉන්නවා ‘ව්‍යාජ මම’ තමා නොවන බව. ඒ නිසා ග්‍රහණය වෙනදාට වඩා තරමක් ලිහිල් වේවි. ඔබ මෙම ගවේෂණය දිගටම, දිනපතා කරගෙන ගියොත් මේ ග්‍රහණය තවදුරටත් ලිහිල් වේවි. ඒ සමගම ඔබ නොදැනුවත්වම ‘ව්‍යාජ මගේ’ ග්‍රහණය නිසා ඔබ තුළින් මතුවුණ ආත්මාර්ථකාමිත්වය ටිකෙන් ටික ඔබටත් නොදැනීම අඩුවේවි. ඒ වෙනස ඔබේ එදිනෙදා ජීවිතයේ ඔබ කරන කියන දේවලින් ඔබටත් ඔබ වටා සිටින අයටත් දැනේවි. ඇතුළාන්තයෙන් දැනෙන සැනසුම් සුවය නිසා වෙනදා මෙන් බාහිර ලෝකයෙන් සතුට සොයා යාම අඩුවේවි. දැන් ඔබ, ඔබට කරන ආදරය අව්‍යාජයි. ඉන් ඔබටත් ඔබ වටා සිටින අන් අයටත් පරිපූර්ණ සතුටත් සැනසුම් සුවයත් ලැබෙනවා. එය ඔබ සැබෑවටම ඔබට ආදරය කිරීමයි.
ආචාර්ය රෝහණ උල්ලුවිස්හේවා – පාමස්ටන් නෝර්ත්







