1997 නවසීලන්තයට සංක්‍රමණය වූ පසු වෛද්‍ය අශෝක ඩයස් මහතා මානසිකමය, සමාජමය හා අධ්‍යාත්මික යහපැවැත්ම කෙරේ අවධානය කරමින් ශ්‍රී ලාංකික ප්‍රජාවට මහත් සේවයක් කර ඇත.(නවසීලන්ත අග්‍රාමාත්‍ය හා කැබිනට් වෙඩ් අඩවිය- 2022 රැජිණ පදක්කම (QSM ) ප්‍රධානයන් සම්බන්ධව). ඕක්ලන්ඩ්වාසී ශ්‍රී ලාංකික ප්‍රජාවෙන් ඔටාහුවෛද්‍ය මධ්‍යස්ථානයේ සේවය කරන වෛද්‍ය අශෝක ඩයස් මහතා නාඳුනන කෙනෙකු නැති තරම් වන අතර මේ ඒ මහතා සමග කළ සාකච්ඡාවේ සංක්ෂිප්ත සටහනකි.
සමාජ සේවා වෙනුවෙන් රැජිණ පදක්කම (QSM ) ලැබුණු නවසීලන්ත අලුත්ම පුරවැසියා වෛද්‍ය අශෝක ඩයස් මහතා වෙයි. එය ඔහු වෙත ප්‍රධානය කිරීමට හේතු පාදක වූ කරුණු අතර කෝවිඩ් ව්‍යවසනය හා ඊට අදාළ එන්නත් කිරීම සම්බන්ධව ඔහුගේ කැපවීම ප්‍රධාන සාධකයක් වීය. නවසීලන්ත වැසියන් වෙනුවෙන් කරන ලද ප්‍රජා සේවා කටයුතු අනිකුත් කාරණා අතරට එක් වෙයි. මම අශෝක ඩයස් මහතා ඔහු නිවාඩු සුවයෙන් පසුවන ඉරිදා දිනයක හවස්වරුවක හමු වුණෙමි. සෞඛ්‍ය හා වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධයෙන් නවසීලන්ත සංක්‍රමිකයින් දැනුවත් කළ යුතු වැදගත් කරුණු ගැන ඒ මහතා සමග සාකච්ඡා කිරීම මගේ අභිප්‍රාය වූයේය.
‘නවසීලන්තයට සංක්‍රමණය වන අයට ඇති වන සෞඛ්‍යමය ගැටළු හා ඒවාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ දී ඇතිවන ප්‍රශ්න ගැන ‘ශ්‍රී ලංකන්ස්’ පුවත් පත වෙනුවෙන් කරන සාකච්ඡාවට සහභාගි වීමට කැමැත්ත දැක්වීම ගැන පළමුවෙන්ම මම ඔබ තුමන්ට ස්තුති කරනවා. මෙවගේ ලංකාවෙන් නවසීලන්තයට පැමිණෙන ඕනෑම තරාතිරමක කෙනෙකුට ඔබ මුලින්ම දෙන අවවාදය කුමක්ද? ‘ මම සාච්ඡාව ආරම්භ කළෙමි.
‘ඒක කෙටියෙන් විස්තර කරන්න අමාරුයි. ඒත් මුල්ම කාරණය තමයි තමන් ලබාගෙන වීසා එකට හිමි නවසීලන්ත රජයේ සෞඛ්‍ය පහසුකම් මොනවාද කියන එක දැන ගැනීම ප්‍රධානතම කරුණයි.’
අපගේ සාකච්ඡාවට බාධා කරමින් දුරකථන පණිවිඩයක් හදිසියේ ආවේය. ‘ටිකක් ඉන්න, මට ලෙඩෙකුගෙන් කෝල් එකක්,’ කියමින් සාකච්ඡාවෙන් ටිකකට ඉවත් වී දුරකථනය හා සම්බන්ධව, තමා ඉදිරියේ තිබු පරිගණකයේ සටහන් තබමින් වෛද්‍ය උපදෙස් ලබා දෙන්නට ඔහු පටන් ගත්තේය. රැකියා කාලයෙන් පිටත තම නිවාඩු දිනයක, තම නිවසේ විවේකීව සිටින වෛද්‍යවරයෙකුගේ වුව ඇති සමාජ වගකීම හා එය ඉටුකරන ආකාරය සියැසින් දකිමින් විනාඩි කිහිපයක් මම බලා සිටියෙමි.
ඒ කාරණය නිම වූ පසු, වෛද්‍ය මධ්‍යස්ථානයෙහිත් නොසිටිමින් තම නිවසේ සිට නිවාඩු දිනයක, වෛද්‍ය ප්‍රතිකාර කිරීමට ඉදිරිපත් වීම ගැන ඇති වූ කුතුහලයත් සමගම මම ඔහුගෙන් ඒ ගැනද විමසා සිටියෙමි.
‘අපි වෛද්‍යවරුන් විධියට නවසීලන්තයේ චාරධර්මත් නීති රීතිත් රාශියකට බැඳිලා තමයි මේ වෘත්තියේ යෙදෙන්නෙ. වෛද්‍යවරුන් සිතන්නෙත් මේ වගෙ කටයුතු කිරීම තමන්ගෙ වගකීමක් කියල. සමහර වෙලාවට නීතියත් ඔය කියූ චාරධර්මත් ගත්තම ඒ දෙකයි මනුෂ්‍යත්වයයි අතර නොගැලපෙන තැනුත් තියෙනවා.’

‘එයින් අදහයස් කරන්නෙ දැන් කළ ප්‍රතිකාරය කළේ නීතියෙන් ඔබ්බට ගිහිල්ලද?’
‘නැහැ. නවසීලන්තයේ නීතියට එරෙහි වෙන්න වෛද්‍යවරයෙකුට පුළුවන් කමක් නෑ. මම නීතියට අනුව තමයි ඒ සියල්ල කළේ. කිසිම ලෙඩෙක් කරන පැමිණිල්ලක් අපි වාචිකව අහල නොසලකා ඉන්නෙ නෑ. ඒ වගේ සාකච්ඡා වාචික තත්වයකට සීමා කිරීමක් අපේ වෘත්තියේ කෙරෙන්නෙ නැහැ. අදාළ විස්තර එවෙලේම පරිගණකයට ඇතුලත් කරනවා. ඒ සටහන් ලෙඩාගේ සාක්ෂ්‍යයන් විදිහට සැලකෙනවා. එතකොට පස්සේ දිනක මීට වෙනස් වෙන දෙයක් කිව්වාය කියා ලෙඩාට කියන්න අමාරුයි. ඒ නිසා අකුරක් නැතිව ලෙඩා කියන දේ සටහන් කිරීම අපේ වගකීමක්. ලෙඩෙක් ගැන විස්තර මේ වගේ පරිගණකයට ඇතුළත් නොකර කිසිම වෛද්‍ය උපදෙසක් දීම වෛද්‍යවරයකුට කරන්න අමාරුයි.‘සමහර වෙලාවට මම විදේශගත වුණත් පරිගණකය අරගෙන යන්නෙ. ලාංකික රෝගීන් දහස් ගණනක වෛද්‍ය තොරතුරු අවුරුදු ගණනක ඉඳලා මගේ පරිගණකයේ තියෙනවා. ඒ තියෙන දත්තයන් අනුව තමයි ලෙඩා ගැන අපිට විශ්ලේෂණය කරන්න හැකි වෙන්නෙ. මගේ ළඟට පැමිණීමෙන් මගේ රෝගියෙකුට මුල්ම සහනයක් ලැබෙතැයි මම විශ්වාස කරනවා. ඉතින් කොහොමද මම අපේ අසරණ රෝගියෙකුගෙ දුරකථන පණිවිඩයක් මග හරින්නෙ?’ අශෝක ඩයස් මහතා විස්තර කරගෙන ගියේය.
‘මේ වගෙ දුරකථන ඇමතුම් රාශියක් දිනකට එනවා නම් තමාගේ පෞද්ගලික වැඩ කර ගන්න බාධාවක් නෙවෙයිද?’
‘ඒක හොඳ ප්‍රශ්නයක්. පුළුවන් වෙලාවක තමයි මම කෝල් එකට උත්තර දෙන්නෙ. ක්ලිනික් එකේ රෝගී බලන පැය අටක් වගේම රැස්වීම් හා තවත් සෞඛ්‍ය සම්බන්ධ රාජකාරි ගැන විශේෂඥ වෘත්තිකයෝ සමග නිතරම නවසීලන්තයේ ‘පවුලේ වෛද්‍යවරුන්ට’(Family Doctors) අදහස් හුවමාරු කර ගන්න වෙනවා. ඒ නිසා එහෙම වෙලාවල්වල දී රෝගීන්ගේ පණිවිඩ මග හැරෙනවා. ඒ නිසා මම රෝගීන් සියල්ලම WhatsApp කණ්ඩායමකට ඇතුල් කළා. ඔවුන්ට උපදෙස් දීලා තියෙන්නෙ කෝල් එකකට පිළිතුරු නැත්නම් කෙටි පණිවිඩයක් එවන්න කියල. මම ලැබෙන පළමු විවේකයේදීම රෝගියාට කෝල් කරලා අවශ්‍ය උපදෙස් ලබා දෙනවා.’
‘නවසීලන්තයට පැමිණෙන සංක්‍රමිකයින්ගේ වීසා වර්ගය මත ඔවුන්ට ලැබන සෞඛ්‍ය සේවාවන් වෙනස් වෙනවා කියා මුලින්ම ඔබ පැවසුවා. ඒ ගැන විස්තරයක් දෙන්න පුළුවන්ද?’
‘නවසීලන්තයට පය තබන ඕනෑම සංක්‍රමිකයකුට, සංචාරකයකුට හදිසි අනතුරක් වුණොත් ඒ තැනැත්තාට ආරෝග්‍යශාලා පහසුකම් නොමිලේ ලැබෙනවා. නමුත් අවුරුදු දෙකකට වඩා එක දවසක් හරි අඩු, රැකියා හෝ ඉගෙනුම ලබන වීසාවක් තියෙන අයට රෝගී තත්වයන් වෙනුවෙන් වෛද්‍ය වියදම් රජය දරන්නෙ නැහැ. සමහර වයසක දෙමව්පියන් විසිටින් වීසාවලින් ඇවිත් මාස ගණනක් ඉන්නවා. බොහෝ විට එම වයසක අය සෞඛ්‍ය රක්ෂණයක් අරගෙන තමයි මෙහාට එන්නෙ. මම දන්න කීප දෙනෙක්ම හෘදාබාධ වැනිදේ නිසා රෝහල් ගත කළා. සමහර බිල් ඩොලර් ලක්ෂ ගණනක්. නමුත් ඔවුන් එහෙම රක්ෂණ ආවරණ අරන් තිබුණු නිසා බේරුණා. එහෙම නැති අය අමාරුවේ වැටෙනවා මම දැකලා තියෙනවා. ඒ නිසා තමන්ගේ වීසා එක අවුරුදු දෙකට අඩුද කියල බලන්නම ඕන.’

මේ අතරතුර තවත් රෝගියෙකුගේ දුරකථන ඇමතුමකට කෙටි පිළිතුරක් දීමට අශෝක ඩයස් වෛද්‍ය තුමාට සිදුවිය. ‘ඔය කියන ආකාරයට අවුරුදු දෙකකට වැඩිය වීසා තියෙන කෙනෙකු මුලින්ම වෛද්‍ය පහසුකම් ලබා ගැනීමට නම් කළ යුත්තේ කුමක්ද?’ ඒ ඇමතුම නිම වූ පසු මම විමසා සිටියෙමි.
‘ඒක කවුරුත් දැනගත යුතු වැදගත් දෙයක්. මුලින්ම තමන් කැමති තමන්ට පහසු කෙටියෙන් කියා හදුන්වනු ලබන වෛද්‍යවරයකු ළඟ ලියා පදිංචි විය යුතුය.’
ඒ වෛද්‍යවරු කවුද? මූලිකව කරන්නේ කුමක් ද? යන කාරණය විස්තර කරන මෙන් මම ඉල්ලා සිටියෙමි. එය ඔහු ඉංග්‍රීසි බසින් වඩාත් සරලව විස්තර කර සිටියේය.
‘A GP is your family doctor. They assess, diagnose and treat people in the community. They work with people of all ages and have a broad range of medical knowledge on different health conditions. Your GP is your first point of contact when you have a new illness or injury. They also look after your ongoing health issues and concerns if you have a long-term condition, eg, diabetes or high blood pressure. A GP works in a GP clinic or medical centre ‘
‘ඉන් අදහස් වන්නේ GP කෙනෙකු නැතිව නවසීලන්තයේ වෛද්‍ය ප්‍රතිකාර ගැනීම අපහසුයි කියන එකද?’
‘හදිසි රෝගී තත්වයක් දී ඕනැම රෝහලකට යන්න පුළුවන්. තත්වය බරපතල නම් අවශ්‍ය කටයුතු සිදු වෙනවා. නමුත් පවුලේ වෛද්‍යවරයකු ළඟ ලෙඩාගේ සියලුම වෛද්‍ය වාර්තා පවතී නම් ලෙඩාගේ අවදානම් තත්වයට ඉක්මන් පියවරවල් ගැනීම පහසු වෙනවා. නවසීලන්තයේ පවුලේ වෛද්‍යවරයකු ළඟ ලියාපදිංචි වූ වහාම NHI (National Health Index) අංකයක් ලබා දෙනවා. ඒ යටතේ පුද්ගලයාගේ වෛද්‍ය ප්‍රතිකාරවලට අදාළ තොරතුරු ලේඛනගත වෙනවා. හදිසි අවස්ථාවක රෝගියා අසිහියෙන් සිටිය ද වෛද්‍ය ප්‍රතිකාර ඉක්මනින් ලබා දීමට අවශ්‍ය තොරතුරු සොයා ගැනීම ඉන් පහසු වෙනවා.’ ඔහු විස්තර කළේය.
‘දිග නම් සහිතව ලංකාව, රුසියාව වගේ රටවලින් පැමිණෙන අයට අංකයක් පාවිච්චි කිරීමත් ලෙහෙසියි නේද?’
‘ඔව්. ඒ වගේම සෑම රට වැසියෙක්ම තමන්ගේ NHI අංකය දැනගත යුතුයි. අපේ නම් දිග වැඩි නිසාත් වෙනත් ජාතිකයින්ට අපේ උච්චාරණය අපැහැදිලි නිසාත් රෝහලකින්, ෆාමසියකින්, ලැබ් ටෙස්ට් එකකින් වැඩක් කරගන්න ගියාම එම අංකය ඉදිරිපත් කිරීමෙන් කාර්යය පහසු වෙනවා. තමාගේ උපන් දිනය වගේම තමාගේ NHI නොම්මරය සිතේ රඳවා ගැනීම ඉතා වැදගත්. තමන්ගේ නම මොකක්ද කියලා ඇහුවාම තෙන්නකොන් මුදියන්සේලාගේ වික්‍රමසිංහ තෙන්නකෝන් වැනි පිළිතුරක් දුන්නොත්…?’
‘මේ අනුව අංකයක් වගේම පවුලේ වෛද්‍ය වරයකු සිටීම අත්‍යවශ්‍ය කරුණක් නේද?’
‘ඔව්. නවසීලන්තය වගේම ලෝකයේ සෞඛ්‍ය සේවා තත්වය දියුණු රටවල්වල මෙවැනි ක්‍රමයක් තමයි තියෙන්නේ. නවසීලන්තයෙත් වෛද්‍ය පහසුකම් සඳහා විශාල ධනයක් වෙන් කරනවා. පෞද්ගලික හා රජයේ රෝහල් අතර ශක්තිමත් බැඳීමක් තියෙනවා. හදිසි රෝගී තත්වයක් නොවේ නම් පවුලේ වෛද්‍යවරයාගේ නිර්දේශය අවශ්‍යයි. රජයේ රෝහල් කටයුතු කරන්නේ එම සම්බන්ධීකරණ උපදෙස් හුවමාරුව සමගයි.
විශේෂයෙන්ම පවුලේ වෛද්‍යවරුන්ට පැය 24 පුරාවට උපදෙස් ලබා ගත හැකි විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් සෑම රජයේ රෝහලකම ඉන්නවා. සමහර විටක පවුලේ වෛද්‍යවරයා තීරණය ගන්නේ රෝහල් උපදෙස් ද ලබාගෙන. මෙම ක්‍රමය තුළ රෝහල් තදබදය අඩු වෙලා අත්‍යවශ්‍ය ලෙඩාට කඩිනම් ප්‍රතිකාර ඉක්මන් වෙනවා.’ ඔහු නවසීලන්තයේ වෛද්‍ය උපදෙස් සම්බන්ධීකරණය වන ආකාරය පැහැදිලි කළේ ය.
තවත් තොරතරු ඊළග කලාපයෙන්
සාකච්ඡාව කළේ දයා ප්‍රතාපසිංහ – ඕක්ලන්ඩ්







