ශ්‍රී ලංකාව 102/3 (අතපත්තු 64, කෙර් 2-18), නවසීලන්තය 101 (මැක්ලියොඩ් 44, මදාරා 3-14, දිල්හාරි 2-18, ප්‍රියදර්ශනී 2-25) ලෙස නවසීලන්තයට එරෙහිව පලමු T20 ජයග්‍රහණය ලබා ගනී.
නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවරදී, මාර්තු 14 වැනිදා පැවති T20 තරග මාලාවේ ප්‍රථම තරගයේදී, නවක ක්‍රීඩිකා මල්කි මදාරා තම පලමු අන්තර්ජාතික තරගයට සහභාගි වෙමින් විශිෂ්ඨ පන්දුයැවීමක නිරත වූ අතර, කවිෂා දිල්හාරි සහ ඉනෝෂි ප්‍රියදර්ශනී ඇයට සහය වෙමින් නවසීලන්ත කාන්තා ක්‍රීකට් කන්ඩායම, White Ferns ඉතා අඩු ලකුණු 101 කට සීමා කිරීමට සමත් විය. අනතුරුව, චමරි අතපත්තුගේ ප්‍රහාරයෙන් ලකුණු හඹාගිය ශ්‍රී ලංකා ක්‍රිඩිකාවෝ කඩුලු හතක් ඉතිරිව තිබියදී ඉතිහාසගත ජයග්‍රහණයක් ලබා ගන්නට සමත් විය. මෙය නවසීලන්ත බිමේදී ශ්‍රී ලංකාව ලබා ගත් පළමු T20I ජයග්‍රහණය වන අතර, නවසීලන්තයට එරෙහිව T20 ආකෘතියේදී ලැබූ දෙවැනි ජයග්‍රහණයයි.
නවසීලන්තය වෙනුවෙන් ඉහළම ලකුණු ලබාදුන් ක්‍රීඩිකාව, එමා මැක්ලියොඩ් (44) වන අතර, ඇගේ කණ්ඩායමේ තවත් ක්‍රීඩිකාවන් දෙදෙනෙකුට පමණක් ලකුණු දහයේ සීමාව පසු කර යාමට හැකි වීම අපේ ක්‍රීඩිකාවන්ගේ විශිෂ්ඨ පන්දු යැවීමට සාක්ෂි දරයි. බොහෝ නවසීලන්ත ක්‍රීඩිකාවෝ දඟපන්දු ඉදිරියේ වික්ශිප්තව සිටි බවක් දැකගන්නට ලැබිනි.
මහේෂි මදාරාගේ විශිෂ්ඨ දායකත්වය

මෙම ජයග්‍රහණය සඳහා නවක වේගපන්දු යවන්නියක් වන මහේෂි මදාරා විශාල දායකත්වයක් ලබාදුන්නාය. ප්‍රියදර්ශනී ආරම්භක නවසීලන්ත පිතිකාරිණිය, ජෝර්ජියා ප්ලිමර් දවාගත් නමුත් , නවසීලන්ත නායිකා සුසී බේට්ස් (14 පන්දු 21) හොඳ ආරම්භයක් ලබා ගනිමින් සිටියාය. එහෙත්, පස්වැනි පන්දු වාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සිව්වැනි පන්දු යවන්නිය ලෙස සටනට එක්වූ මදාරා ක්‍රියාත්මක වෙමින් නවසීලන්තයේ ප්‍රභල පිතිකාරිණියන් වන සුසී බේට්ස් (Suzie Bates) සහ එමා මැක්ලියොඩ් (Emma McLeod) පිටියෙන් ඉවත් කර දැමීමට සමත් වූවාය.
මදාරා පන්දු ඕවර 3.5ක් තුළ ලකුණු 14ක් ලබාදෙමින් කඩුළු 3ක් දවාගන්නට සමත් වූවාය. මෙය ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවක් T20හීදී වාර්තා කල දෙවන හොදම පන්දු යැවීම ලෙස සටහන් වෙයි. කවිෂා දිල්හාරි සහ ඉනෝෂි ප්‍රියදර්ශනී කඩුලු දෙක බැගින් ලබාගත් අතර නවසීලන්ත කණ්ඩායම පන්දු වාර 18.5කදී ලකුණු 101 කට අඩපණ කර, තරගය තම ග්‍රහණයට ගන්නට ක්‍රීඩිකාවන්ට හැකිවිය.
නවසීලන්තයේ අඩුම ලකුණු
මෙය නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තයේදී ශ්‍රී ලංකාවට එරෙහිව T20 තරගයකදී ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාවයි. එමෙන්ම, ක්‍රයිස්ට්චර්ච්හිදී T20 තරගයකදී නවසීලන්ත කාන්තා (White Ferns) කණ්ඩායම ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාවද මෙයයි. නවසීලන්ත කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකු මෙම තරගයට සහභාගි නොවීමද ඔවුන්ගේ ක්‍රීඩා විලාශයට බලපෑ බව පෙනී යයි. සොෆී ඩිවයින් (Sophie Devine) ජාත්‍යන්තර ක්‍රිකට් වලින් කෙටි විවේකයක් ගත් අතර ඇමීලියා කර් (Amelia Kerr) WPL තරගාවලිය සඳහා ක්‍රීඩා කරමින් සිටියාය. නවසීලන්ත කණ්ඩායම සඳහා වැඩිම ලකුණු ලබා දුන්නේ එමා මැක්ලියොඩ් (44) වන අතර, නායක සුසී බේට්ස් (21) දෙවන වැඩිම ලකුණු ලබාදුන් ක්‍රීඩිකාව විය.
චමරිගේ දැකුම්කලු ඉනිම

ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා පහසු ඉලක්කයකට ගෙන යාමට චමරි අතපත්තුගේ නායකත්වය යටතේ සමත්විය. පලමු ඕවර කිහිපයේදීම වේගවත් ආරම්භයක් ලබාගත් චමරි, තම සුපුරුදු පහරවල් ක්‍රයිස්ට්චර්ච් පිටිය පුරා දියත් කල අතර ඇයගේ පිති ප්‍රහාරයෙන් අසරණ වූ පන්දුව හතරේ සීමාව කරා යද්දී, පිටියට රැස් වූ ක්‍රයිස්ට්චර්ච් නුවර ශ්‍රී ලාංකිකයන්ගේ ඔල්වරසන් හඬ පිටිය පුරා රැව් දුන්නේය. ඇය බැක්වර්ඩ් පොයින්ට් හරහා එල්ල කල හයේ පහර මෙන්ම, මීටර අසූවක ලෝන්ග් ඕන් කලාපයෙන් එල්ල කල හයේ පහර ක්‍රයිස්ට්චර්ච් පිටියේ ක්‍රීඩා ලෝලීන් අමන්දානන්දයට පත් කරලීමට සමත්විය.
එක්දින තරගාවලියේ දක්නට නොලැබුන ඇයගේ සුපුරුදු ප්‍රවේගකාරී රිද්මය අවතිර්ණ වූ අතර, ඉනිම පුරා නොදැවී සිටිමට සමත් වූවාය. අනෙක් අන්තයේ විශ්මි ගුණරත්න (Vishmi Gunaratne) සහ හර්ෂිතා සමරවික්‍රමගේ (Harshitha Samarawickrama) කඩුළු දැවී ගියද, අතපත්තුගේ දක්ෂ ක්‍රීඩා විලාසය නිසා පසුපෙල ක්‍රීඩිකාවන්ට කිසිදු පීඩනකයට මුහුණ දීමට සිදු නොවීය. චමරි අතපත්තු ඇයගේ අර්ධ ශතකය පන්දු 43කින් ලබාගනිමින්, කාන්තා කණ්ඩායමේ ශක්තිය, ඇගේ පිත්තෙන් ගොඩනැගූ හතරේ සහ හයේ පහරින් ක්‍රයිස්ට්චර්ච් පිටිය පුරා අලුතින් ලියන්නට සමත්වූවාය.
මෙම ලිපිය ලියන මොහොත වනවිට තවත් තරගයක් ඉතිරිව තිබෙන අතර එම තරගයද ජයග්‍රහණය කරන්නට චමරි ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අවස්ථාව ලැබේවායි අපි සුබ පැතුම් එක් කරමු.
බුද්ධි මාතරආරච්චි – ඕක්ලන්ඩ්







