නවසීලන්ත සෞඛ්‍ය සේවාව ගැන ඔබගේ කෙටි ඇගයීම කුමක්ද?
නවසීලන්තය ලෝකයේ හොඳ සෞඛ්‍ය සේවාවක් ඇති රටක් ලෙස අපි සලකනවා. මෙහි වෛද්‍යවරුන්ගේ සහ අනෙකුත් සෞඛ්‍ය සේවකයන්ගේ පුහුණුව, පරීක්ෂණ පහසුකම්, ඖෂධ සහ රෝහල් ප්‍රතිකාර බොහෝවිට ඉහළ මට්ටමක පවතිනවා.
නමුත් රෝගියෙකුට අසනීපයක් වු විට වෛද්‍යවරයෙකු මුණ ගැසීමට දවස් ගණනාවක් යනවා. වෛද්‍යවරයා හමුවෙන කොට එක්කො ලෙඩා අසාධ්‍යයි, එහෙම නැත්නම් ලෙඩේ සනීපයි. මෙයට හේතුව කුමක්ද?
නවසීලන්තයේ සාමාන්‍ය වෛද්‍ය සේවාව මේ වන විට දැඩි පීඩනයකට ලක්ව තිබේ. 2026 වසරේ වෛද්‍ය සභා දත්ත අනුව, වර්තමානයේ සේවයේ නිරත සාමාන්‍ය වෛද්‍යවරුන් 4,144 දෙනෙකු සිටිනවා. 2021 සිට එම සංඛ්‍යාව 8.1%කින් වැඩි වී ඇතත්, සාමාන්‍ය වෛද්‍යවරුන්ගේ විද්‍යාලය පෙන්වා දෙන්නේ වර්තමානයේ රෝගීන්ගේ අවශ්‍යතාවයට සරිලන වෛද්‍යවරු හිඟ බවයි.
රෝගීන් වැඩිවීමට හේතු මොනවද?
ජනගහනය වැඩිවීම, වයස්ගත පුද්ගලියින්ගේ සංඛ්‍යාව ඉහළයාම, දියවැඩියාව, හෘද හා රුධිරවාහිනී සම්බන්ධ රෝග වැඩිවීම, එක් රෝගියෙකුට තිබෙන වෛද්‍ය ගැටලු ගණන වැඩිවීම ඒ අතර වේ.
ඒ ප්‍රශ්ණයට නවසීලන්ත රජය මැදිහත් විය යුතු නේද?
මෙම ප්‍රවේශ ගැටලුව කෙතරම් වැදගත්ද කියනවා නම්, 2026 ජූලි 1 සිට නවසීලන්තයට නව ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඉලක්කයක් හඳුන්වා දී තිබෙනවා. එහි ඉලක්කය වන්නේ ජනතාවගෙන් 80%කට වඩා වැඩි පිරිසකට සතියක් ඇතුළත සාමාන්‍ය වෛද්‍යවරයකුගේ හමුවීමක් ලබාගත හැකි වීමයි. එයින්ම පේනවා නේද අද ප්‍රාථමික සෞඛ්‍ය සේවාවට ප්‍රවේශය ජාතික සෞඛ්‍ය ගැටලුවක් බව.
ජී.පි. කෙනෙකු හමුවන්න බැරි වුණාම අපි මොකක්ද කරන්න ඕන?
සෑම ජී.පී. සායනයකම වගේ සීමිත ප්‍රමාණයක් පෙර වෙන්කරවා ගැනීමකින් තොරව පැමිණෙන රෝගීන් ද බලනවා. වේලාසනින් ගොස් පෝලිමේ සිටියොත් ඔබට වෛද්‍යවරයෙකු හමුවිය හැකියි. ඒ වගේම මෙරට වසන ඕනෑම කෙනෙකුට, තමාට සංචාරක හෝ ශිෂ්‍ය වීසා තිබුණත්, ජී.පී. කෙනෙකු ළඟ ලියාපදිංචි විය හැකියි. එකම වෙනස ඔවුන්ට සහනදායී සෞඛ්‍ය සේවා හිමි නොවීමයි.
ජී.පී. කෙනෙක් හමුවීමට වේලාවක් ඉක්මනින් ලබාගත නොහැකි වූ විට, සමහර රෝගීන් හදිසි ප්‍රතිකාර සායන වෙත යනවා. එවිට ඔවුන්ට වැඩිපුර මුදල් ගෙවීමට සිදුවෙනවා. සමහරු රෝහලේ හදිසි ප්‍රතිකාර අංශය වෙතත් යනවා. ඔවුන් හදිසි ප්‍රතිකාර අංශයට ගියොත්, ප්‍රාථමික සෞඛ්‍ය සේවා මට්ටමේදී කළමනාකරණය කළ හැකි සමහර රෝගීන් පවා රෝහලට ඇතුළත් කිරීමට සිදුවිය හැකි අවස්ථා තියෙනවා.
එතෙකාට හදිසි රෝගීන්ගේ අංශයට බරපතල ප්‍රශ්න ඇතිවෙනවා නේද?
ඔව්. මෙය දම්වැලක් වගේ.
ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම → හදිසි ප්‍රතිකාර සේවා වෙත වැඩි ඉල්ලුමක් ඇතිවීම → හදිසි ප්‍රතිකාර අංශවල තදබදය වැඩිවීම → බලා සිටින කාලය වැඩිවීම.
නමුත්, හදිසි ප්‍රතිකාර අංශවල තදබදය ඇතිවීමට ප්‍රාථමික වෛද්‍යවරුන්ගේ හිඟය පමණක් හේතුවක් ලෙස දැක්වීම නිවැරදි නොවේ. රෝහල් ධාරිතාව, කාර්ය මණ්ඩලය සහ තවත් බොහෝ කරුණු ඒ සඳහා බලපානවා.
ED එකට ගියාම පැය ගණනක් වාට්ටුවට ගන්නේ නැතිව රෝගියකු රස්තියදු වෙන්නෙ ඇයි?
රජයේ හදිසි ප්‍රතිකාර අංශවල රැඳී සිටින කාලය කෙටි කිරීමේ ඉලක්ක අනුව රෝගීන්ගෙන් 95%ක් පැය 6ක් ඇතුළත හදිසි ප්‍රතිකාර අංශයෙන් නිදහස් කිරීම හෝ රෝහලට ඇතුළත් කිරීම ඔවුන්ගේ අධිෂ්ඨානයයි.
නමුත් හදිසි ප්‍රතිකාර අංශය අනුගමනය කරන්නේ පළමුව පැමිණි අයට පළමුව සේවය සැපයීමේ රීතිය නොවේ. හදිසි ප්‍රතිකාර අංශයකට පැමිණි විට මුලින් මූලික රෝගී ඇගයීමක් කරනවා. රෝගියා පැමිණි වෙලාව පමණක් නොව, ඔහුගේ රෝගී තත්ත්වයේ සායනික හදිසිභාවය අනුවයි, හදිසි ප්‍රතිකාර අංශයට ඇතුළත් කර ගැනීමේ තීරණය ලැබෙන්නේ.
නවසීලන්තයේ භාවිත වන මුලික රෝගී ඇගයීම ගැන අපට දැන ගන්නට පුළුවන්ද?
1 කාණ්ඩය – ජීවිතයට ක්ෂණික තර්ජනයක් ඇති රෝගියා
2 කාණ්ඩය – මිනිත්තු 10ක් ඇතුළත
3 කාණ්ඩය– මිනිත්තු 30ක් ඇතුළත
4 කාණ්ඩය– මිනිත්තු 60ක් ඇතුළත
5 කාණ්ඩය – මිනිත්තු 120ක් ඇතුළත
ඔබ පැයක් බලා සිටියත් ඔබට පසු තදබල පපුවේ කැක්කුමක් හෝ හුස්ම ගැනීමේ අපහසුතාවයක් සහිත රෝගියෙකු පැමිණියහොත් ඔහු වහාම ඇතුළට ගෙන යන්න පුළුවන්. එය පෝලිම පැනීමක් නොවේ.
එහෙම නම් පැය 10–12ක් හෝ ඊටත් වැඩියෙන් රෝගියකු බලා සිටීම සාධාරණද?
රෝගියා ඇගයීමකට ලක් කිරීමෙන් කාණ්ඩය 4 හෝ 5 බවට පත් වුණත් ඊටවඩා වෙලාවක් බලා සිටින්න වෙන්නේ එන රෝගීන් ප්‍රමාණය බලාපොරොත්තුවන සීමාව ඉක්මවා යාම නිසා. මේදිනවල පෙනහළු ආශ්‍රිත රෝග බහුල බැවින් බොහෝදෙනා කෙලින්ම රෝහලට යන්න පුරුදුවෙලා තිබෙනවා. ඉල්ලුමට අනුව සැපයීම දෙන්න රෝහල්වලට අපහසු වෙනවා. සමහර රෝහල්වල කාණ්ඩය 4/5 රෝගීන්හට මුදල් වවුචර් දීල ළගම ඇති ජි.පි. ළඟට යවනවා.
රෝගියා ඊඩි එකට එන්නේ වෝර්ඩ් එකකට ඉක්මනින් යන්න නොවේ. ඔහු එන්නේ,
“මට මොකක්ද වෙලා තියෙන්නේ?”
“මේක බරපතල ද?”
“මට දැන් ප්‍රතිකාර අවශ්‍යද?”
යන ප්‍රශ්නවලට හැකි ඉක්මනින් වෛද්‍ය පිළිතුරක් ලබාගැනීමට.
එමනිසා පපුවේ වේදනාව, හුස්ම ගැනීමේ අපහසුතාව, සිහි නැතිවීම, ව්‍යාකූලත්වය, දැඩි හෝ වේගයෙන් වැඩිවන වේදනාව, දුර්වලතාව හෝ අංශභාගය, අධික රුධිර වහනය හෝ වෙනත් බරපතළ අලුත් රෝග ලක්ෂණයක් ඇතිවුණොත් තමන්ගේ වාරය එනතුරු නිහඬව බලා ඉන්න එපා.වහාම හෙදියට/ වෛද්‍යවරයාට දැනුම් දෙන්න. එවිට ඔවුන්ට ප්‍රමුඛස්ථානය ලැබෙනවා.
එසේ නම් නවසීලන්තයේ සෞඛ්‍ය සේවාව ගැන අපිට හරි හමං නිගමනයකට එන්න බැහැ නේද?
එහෙම සරල නිගමනයකට පැමිණීම සාධාරණ නැහැ. නවසීලන්තයේ වෛද්‍යවරු, හෙදියන්, අනිකුත් සෞඛ්‍ය සේවකයින් සහ ලබාදෙන ප්‍රතිකාරවල ප්‍රමිතිය එක ඉතාමත් ඉහළ මට්ටමක පවතීනවා .
නමුත් ගුණාත්මකභාවය සහ ප්‍රවේශය කියන්නේ වෙනස් කරුණු දෙකකි.
ලෝකයේ හොඳම වෛද්‍යවරු, හොඳම පරීක්ෂණ සහ හොඳම ප්‍රතිකාර තිබුණත් අවශ්‍ය රෝගියාට එය අවශ්‍ය වෙලාවට එම අවශ්‍ය ප්‍රතිකාර අවශ්‍ය තැනදී ලබාගත නොහැකි නම් සෞඛ්‍ය සේවයේ වැදගත් කොටසක් අසාර්ථක වෙන්න පුළුවන්.
මෙය සරලින් විස්තර කළ හැකි දෙයක් නෙවෙයි. අපි වෙන දවසක මෙම විෂය ගැන වෙනම කතා කරමු.
අවසානයේ හොඳ සෞඛ්‍ය පද්ධතියක මූලික අරමුණ විය යුත්තේ ඉතා සරල දෙයක් කියල අපට කියන්න ලේසියි.
The right care, at the right place, at the right time.
වෛද්‍ය අශෝක ඩයස් මහතා සමඟ සාකච්ඡාව දයා ප්‍රතාපසිංහ – ඕක්ලන්ඩ්







