මැග්නීසියම් දැන් හරිම විලාසිතාවක් වෙලා. හැම දෙයකටම මැග්නීසියම්. නින්ද නැත්නම්, මානසික ආතතිය නම්, කකුලේ මාංශපේශි පෙරළෙනවා නම්, Anxiety නම් මැග්නීසියම්. මේක අහලා මට හිනා යනවා…
වෛද්යවරයකුගේ උපදෙස් නැතිව නවසීලන්තයේ බෙහෙත් වර්ග හිතුමතේ මිලට ගන්න බැරි බව අපි කවුරුත් දන්න දෙයක්.
වෛද්යවරයෙකුගේ නිර්දේශය නොමැතිව ඖෂධ අලෙවි කිරීම සීමා කර ඇත්තේ ප්රධාන වශයෙන් පරිශීලකයාගේ ආරක්ෂාව, රෝග විනිශ්චය නිවැරදි වීම, ඖෂධ අවභාවිතය වැළැක්වීම ඇතැම් ඖෂධ භාවිතයේදී ශරීරයට දැඩි අහිතකර අතුරු බලපෑම් ඇතිවීම වැනි කරුණු වළක්වා ගැනීමටය.
ඒ කෙසේ වෙතත් සුළු රෝගී තත්ත්වයන් සඳහා වෛද්යවරයෙකු හමුවීමකින් තොරව ඖෂධවේදීයෙකුගේ උපදෙස් පිට සහ එසේ නොමැතිව මිලදී ගත හැකි ඖෂධ එමට ඇත.
වඩාත් ප්රහේලිකාවක් වන්නේ නවසීලන්ත කඩසාප්පුවල කිසිදු වග විභාගයක් නොමැතිව ප්රදර්ශනය කර ඇති පෝෂක අතිරේක ගැනය. ඒවා කරල්,පෙති, දියර, කුඩු හෝ ජෙලි ආකාරයෙන් ලබා ගත හැක. විටමින්, ඛනිජ ලවණ සහ ප්රෝටීන් මෙවා තුළ බහුලව අඩංගු බව පැවසෙනවා.

මේ සම්බන්ධයෙන් සමාජයේ තිබෙන විශ්වාසයන් විවිධය. එබැවින් මෙම පෝෂක අතිරේක ගැන නවසීලන්තයේ ඔටාහුහු වෛද්ය මධ්යස්ථානයේ අධ්යක්ෂක වෛද්ය අශෝක ඩයස් මහතාගෙන් මම විමසුවෙමි.
‘නවසීලන්තයේ නියාමනයක් තියෙනවා. 1985 Dietary Supplements Regulations යටතේ ඒවා නියාමනය වෙන්නෙ. මෙහිදී ඉහත පෝෂක අතිරේක මඟින් නිශ්චිත රෝග සුව කරන බවට හෝ පාලනය කරන ඖෂධ අඩංගු බවට ප්රකාශ කිරීම නීති විරෝධීයි. එනිසා ඒවා ඹෟෂධ නොවෙයි.’
‘ඒ වුණාට Energy, Memory වගේ දේවල්වලට අමතරව සම ලස්සන කරන්න විටමින් ඛනිජ ලවනවල නම් කියලා ඕන තරම් වෙළෙඳ දැන්වීම් කරනවා නේද?’
වෙළඳ දැන්වීමයි, විද්යාත්මක සාධකයි එක සමාන වෙන්නෙ නැහැ.ඔබ අහපු ප්රශ්නයට මම මෙහෙම උදාහරණයක් දෙන්නම්. මැග්නීසියම් දැන් හරිම විලාසිතාවක් වෙලා. හැම දෙයකටම මැග්නීසියම්. නින්ද නැත්නම්, මානසික ආතතිය නම්, කකුලේ මාංශපේශි පෙරළෙනවා නම්, Anxiety නම් මැග්නීසියම්.

මේක අහලා මට හිනා යනවා…මැග්නීසියම් ඌනතාවයක් තියෙන අයට නම් වෛද්ය උපදෙස් මත ගැනීම හරි. රාත්රි කාලෙට කකුල්වල මස් පිඬු පෙරලෙනවා නම් දවල් කාලේදී හොඳට වතුර බොන්න, නිදා ගන්න පෙර STRETCHING ව්යායාම කරන්න.
‘ඒ වුණාට Zinc පසුගිය කෝවිඩ් කාලේ අපි ගොඩක් බිව්වා. කෝවිඩ් කාලේ Zinc හරිම ජනප්රිය වුණා නේද?’
‘හැමදාම Zinc Capsules බොන එක නිර්දේශ කරන්න හොඳ සාධක නම් නැහැ. මස්, මාලු, කිරි සහ කිරි ආශ්රිත නිෂ්පාදන, ධාන්ය වර්ග සහ ඇට වර්ග, කන බොහෝ දෙනාට Zinc අඩුවෙන්නේ නැහැ. ඒ වගේම කැල්සියම්වලටත් මිනිස්සු පෙති කරල් හොයනවා. මුලින්ම ඒවා හොයන්න ඕන ආහාරවලින්. කිරි නිෂ්පාදන කුඩා මාළු වර්ග කොළ පැහැති එළවලුවලින් මේවා අපට ලෙහෙසියෙන්ම ලැබෙනවා.’

‘ඒ කියන්නේ පෝෂණ අතිරේක ගන්න අය කලින් රුධිර පරීක්ෂාවක් කරගන්න යුතුද?’
‘හැමෝටම අවශ්ය නැහැ. නමුත් ඔබට දිගටම වෙහෙස,බර අඩුවීම,අන්ත්ර රෝග,ඔස්ටියෝපොරෝසිස් තියෙනවා නම් හෝ වෛද්යවරයෙක් ඌනතාවයක් ගැන සැක කරනවා නම් රුධිර පරීක්ෂාවක් කරලා බලන එක තමයි හොඳම ක්රමය.’
‘යකඩ ඌනතාවය ලංකාවේ කාන්තාවන් අතර බහුලයි කියල ලිපියක මම දැක්කා. ඒ කතාවේ සත්යතාවයක් තියෙනවද?’
‘යකඩ ඌනතාවය අනිත් අයට වඩා එහෙම වැඩි වගේ මටත් පෙන්න තිබුණා. යකඩ සහ හිමොග්ලොබින් (Hemoglobin) පරීක්ෂාව වැඩිහිටි පුද්ගලයන් සඳහා ඉතා වැදගත්. Screening Test එකක්. විශේෂයෙන්ම අධික වෙහෙස, හුස්ම ගන්න අපහසුවීම, කරකැවිල්ල, දුර්වල බව, බර අඩුවීම වැනි රෝග ලක්ෂණ තිබේ නම් හෝ වකුගඩු රෝග, හෘද රෝග, දියවැඩියාව වැනි දිගුකාලීන රෝග තිබේ නම් මෙම පරීක්ෂාව කිරීම ඉතා වැදගත්. හිමොග්ලොබින් අඩු වීම වයසට යාමේ සාමාන්ය ප්රතිඵලයක් ලෙස නොසලකා හැරිය යුතු නොවේ. එය බොහෝ විට ශරීරයේ පවතින වෙනත් රෝගයක හෝ පෝෂණ ඌනතාවයක ලකුණක් විය හැකි බැවින් එයට හේතුව සොයාගෙන සුදුසු ප්රතිකාර ලබාදීම අත්යවශ්යයි.

‘නවසීලන්තයේ ඉන්න අපිට හිරු එළිය අඩුයි. ඒ නිසා ශිත කාලයේ UV Rays ගොඩක් අඩුයි. අපි ශීතල නිසා ශරීරය හොඳින් ආවරණය කරනවා. ඒ නිසා සමේ එකේ විටමින් ඩී හදන්න අවශ්ය හිරු එළිය ලැබෙන්නේ නැහැ. එනිසා විටමින් ඩී ගන්නම වෙනවා නේද?’
‘ශරීරයට කැල්සියම් අවශෝෂණයට උදව් කරන හෝමෝන වගේ ක්රියා කරන විටමින් එකක් තමයි විටමින් ඩී කියන්නෙ. ඒවා අඩු නම් ඔබ කැල්සියම් කොච්චර කෑවත් බඩ වැලෙන් කැල්සියම් උරා ගන්නේ නැහැ. නමුත් සමහර අයට පමණක් විටමින් ඩී පෝෂණ අතිරේකයක් අවශ්ය වෙන්න පුළුවන්.’
උදාහරණයක් ලෙස,
- වැඩිහිටියන්
- Rest Home වල ඉන්න අය
- ගෙදරින් එළියට අඩුවෙන් යන අය
- කළු පැහැ සමක් තියෙන අය (ලාංකික අපි කාටත් උරුමයි)
- ඔස්ටියෝපොරෝසිස් තියෙන අය
- සමහර ගැබිණි කාන්තාවන්
- මව්කිරි ලබන ළදරුවන්
මේ අය තමන්ගේ පවුලේ වෛද්යවරයා එක්ක කතා කරලා තීරණය කරන එක සුදුසුම ක්රමය.
‘ශ්රි ලංකන්ස් පාඨකයින්ට මේ සම්බන්ධයෙන් ඔබ පළපුරුදු වෛද්යවරයකු ලෙස දෙන පණිවිඩය මොකක්ද?’
‘අපි දැන් ජීවත් වෙන්නේ නවසීලන්තය වගේ සංවර්ධිත රටක. වෙළඳසලට ගියොත් ලෝකයේ තියෙන හොඳම නැවුම් පලතුරු, එළවළු, මස්, මාලු, බිත්තර, කිරි නිෂ්පාදන, ඇට වර්ග, ධාන්ය වර්ග සියල්ලම වගේ පහසු මිලකට මිලදී ගන්න පුළුවන්. ඉතින් ඒවා කන ගමන් තවත් විටමින් පෙති ගිලින එක බොහෝ වෙලාවට අවශ්ය වෙන්නේ නැහැ.’
Treat the deficiency… not the advertisement.

Dr. Asoka Dias QSM – Clinical Director at Otahuhu Health Centre,
6/507 Great South Road, Otahuhu, +64211562924. email-asokadias@gmail.com
සාකච්ඡාව කුසුම් එදිරිසිංහ – ඕක්ලන්ඩ්







