නිදිවරමින් ගත වු මැදියම් රැයක පළගැටි, කණාමැදිරි හඬ පරයා උතුරට යන දුම්රියේ නළා හඬ ඇසුනු මොහොතක…
මැදියම් රැය ගෙවී දෙපැයක් ගෙවෙන විට
කොටුවෙන් ඇදෙන දුම්රිය උතුරේ අගනගරයට
වැල්ලව නැවතුමෙන් හඬවන නලා හඬ
මිහිරෙන් මත් කරයි මගේ දෙසවන්වලට
නැතිවද පාළු මිනිසෙක් නැති මගතොටදී
කවුරුද මකන්නේ පාලුව මගතොටදී
නැවතුමකින් මිසක මිනිසෙක් හමුනොවන
ඔබේ මිතුරන්ද සැම නැවතුම්වල ඉන්න
දිලිසෙන කොත් කැරලි දුටුවම අනුරපුර
ගමනේ විඩා නිවෙනවා බුදු සිසිල විඳ
පොල්වතු සාර කෙත්වතු ඔබ නෙත ගැටුන
නෑ දැන් දකින්නේ මගතොට කටු පඳුරු මිස
අලිමංකඩට ළං වනවිට අලුයමට
තල් ගස් මැදින් ලාහිරු රැස් දකින විට
දවස මෙන්ම ගමනත් දැන් නිමා කර
ගමනේ නිමාවයි දැන් උතුරේ අගනුවර
තැඹිලි දොඩං කජු නාරං වෙනුවට දැන්
කොට්ටකිලන් තල් හකුරුයි සද්ද කරන්
සිහල නොවේ දැන් ඇසෙන්නේ දමිළ හඩින්
නළලේ පොට්ටු වේට්ටිය ඇදී අපේ එවුන්
By V.M. Dissanayake – Kurunegala