අවසාන හමුවීම – 4
අවසාන හමුවීම ……….. භද්‍ර යෞවනයෙකුගේ ශෝකාලාපය (තවත් කොටසක්…)

මා ඔබට පැවසිය යුතු තවෙකක් ඇත. ඒ ඇය මියෙන තුරුම ඇය මටවත් මා ඇයටවත් ‘ආදරෙයි’ නොකියූ වගයි. එහෙත් එවක අපි සැබවින්ම ප්‍රේමවන්තයින් වී සිටියෙමු. “වචනයෙන් නොකියූ ආදරය තරම් අපූර්ව සුන්දර දෙයක් ලොව නැතැයි” කොහේදෝ දුටු වග මට මතකය. එය සැබෑවක්මය. තෙමසක් පුරා මම ඒ සුන්දරත්වය වින්දෙමි. එහෙත් ඇය මියගිය වග මගේ සවණත වැකුණු මොහොතේ සිට අද දක්වා තවමත් මා පසුතැවෙන්නේ එසේ පැවසීමට නොහැකි වීම පිළිබඳවයි.
සුදු මලින් ඔබ වැසී යන සඳ,
සැඟවුනේ පෙම කඳුලකයි,
ඊයේ පැවසිය නොහැකි වූ මුත්,
ආදරෙයි! මං ආදරෙයි!!
සියළු දෙනා නික්ම ගිය පසු විකල් වූ සිතින් මා ඇය වැසූ පස් කන්ද පාමුල ඉටිපන්දම් දෙකක් දැල්වූ බව මට මතකය.
සොහොන් බිම කෙළවරේ විසල් ගස් මුදුන් වල,
ගයන්නේ ‘මරණයේ ගීතයයි’ රෑහි පෙළ,
ඔබ වැසූ පස් කන්ද මත දෙදණ රුවා ගෙන,
පුදන්නෙමි ‘අහිංසක ආදරයෙ’ කඳුළු මල.
නම් නොදන්නා විසල් ගස් සහ වැළපෙන විලෝ ගස් අතරේ ඇය තනිකර දමා මා හැරුනේ කෙසේදැයි මට අමතකය.
මළවුන්ගේ නගරයේ විලෝ ගස් වැළපෙන්න,
රෑ අඳුරේ තනිරකින රැහයියනි නද දෙන්න,
නිබඳ මා හදවතේ අරක් ගත දෙව් දුවට,
හුදකලා පාළුවේ වේදනා නොමදෙන්න.
ඉනික්බිති එළැඹුණු දින කිහිපය තරම් අසීරු සමයක් මගේ ජීවිතයේ තිබී නැත. ඉර නැගෙන බසින බව හැරෙන්නට වෙනයම් දෙයක් දැනුනදැයි මට මතක නැත.
තාරුකා නැත දිලෙන්නේ,
අඳුරු රැය නැත ගෙවෙන්නේ,
ඊයේ මියගිය රෝස කැකුළිය,
ඔබ නිසයි හද තැවෙන්නේ.
ජීවිතයට තනිව මුහුණ දීමට සිදුව ඇත. පහු ගිය කෙටි කාලයේ එක්ව මැවූ සිහින බිඳුණු අයුරු අතිශයින්ම රුදුරුය. මේ වේදනාව දරා ගන්නට තරම් හිත මෝරා නැත. ඉතිරිව ඇත්තේ එක විකල්පයකි. මේ විඳින වේදනාවේ නිමාව එය වියහැකිය.
පරව ගිය මල් විසිරි ගිම්හාන සුසානේ,
කුරුසියට මුවාවී මන්ද ඔබ සැඟවුනේ,
ඔබෙන් හිස් ලෝකයේ අඩුව පුරවනු බැරිව,
මළවුන්ගේ ලෝකයට පියමනිමි හෙට දිනේ.
(තවත් කොටසක් මතුවට…..)
ක්‍රිෂාන්ත වෑවිට, වෙලිංටන් නුවර
Chrishantha Wevita – Wellington