දෙවියන් අබිමුව
නළලත, තිලකයක්
තිරුපති කෝවිල් යන්න
නුඹේ බරට රත්තරන් නෑනේ පුතේ
තඹ සතයක් උඩ,
කපුරු පෙත්තක් තියල,
පහනක් පත්තු කරමු පුතේ.
නුගේ දෙයියන්ගෙම පිහිටයි උඹට.
දාස්පෙතියා මාලයක් ගොතාල,
ඔබේ ගෙලේ පලදන්නම් දෙවියනේ
දෙවියන්ගේ නළලෙහි මැකී ඇති,
‘තුන්නූර්’ ඉරි තුන මත
රතුම රතුපාට තිලකයක් තැබූ ඇය,
නූලක් ගැට ගැසූ,
රතු වද මලක්ද,
දෙවියන්ගෙ ගෙලෙහි පැළඳ වූ ඈ,
මොන මොනවාදෝ මුනු මුනු ගෑවාය.
අහල ගසකින්, අතු කැබැල්ලක් කඩා,
නුග කදෙහි එල්ලූ ඈ,
‘පුල්ලෙයාර්’ට වැඳ වැටුණාය.
දෙවියන්ට අපහාස වේයයි පසු පසට ගිය,
ඇගේ විලුඹ ගලක් වැදී,
පුල්ලෙයාර් දෙවියනේ යයි කෑගැසූ ඒ,
විලුඹින් ගලා ආ,
ලේ බිඳක් ඇගිල්ලට ගෙන,
ඇගේ නළලත,
තිලකයක්
තබා ගත්තාය.
ජී. එස්. පෙරේරා – ඕක්ලන්ඩ්






