බුදු තෙමඟුල සිහිපත් කිරීම හැරුණු විට තවත් කරුණු රැසක් වෙසක් පුර පොහොය දිනවල සිදුවී ඇති බව බෞද්ධ පුරාවෘත්තයේ දක්නට ඇත.
ගිහි ගෙය ගැන කලකිරුණු සතර පෙර නිමිතිවල ව්‍යාධි මහලු රූපය දැකීම බුද්ධත්වයෙන් පසු පළමු ගමනේදී තම ඥාතීන්ගේ මානය බිඳීමට යමාමහ පෙළහැර පෑම, බුදුන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද හිමියන්ගේ පිරිනිවන් පෑම, බුද්ධත්වයෙන් අවුරුදු අටකට පසු කැළණියට වැඩම කරවීම, සමනල කන්දේ සිරි පතුල පිහිටුවීම, විජය කුමරු ලංකාවට පැමිණියේ ක්‍රි.පූ 423 දීය. බුදු රජාණන්වහන්සේ පිරිනිවන් පෑ වෙසක් දිනයත් එදිනමය. රුවැන්වැලි සෑයේ වැඩ කටයුතු ගැමුණු මහරජ විසින් ආරම්භ කිරීමත් ඉන්පසු නොකඩවා අවුරැදු 20 ක් වෙසක් උත්සව ලංකාවේ ප්‍රථම වතාවට ගැමුණු රජතුමා පැවැත්වූ බවත් මහාවංශයේ සඳහන් වෙයි.
වෙසක් පොහෝ දින දාන, ශීල, භාවනා කටයුතුවල නිරත වෙමින් තම සිත් සතන්වල ඉපදෙන රාග, ද්වේශ,මෝහ අවම කරගනිමින් ඒවා නිෂේධනදනය කර තම සිත් සතන්වල කුසල් වැඩීම වෙසක් දින ගැඹුරුම අර්ථය වෙයි.
මා පුංචි කාලයේ වෙසක් දින සිදුවූ මිහිරි මතකයන් ගැන තබන කෙටි සටහනින් මෙම ලිපිය අවසන් කරමි.
මා,1960 අගභාගයේ දී ශිෂ්‍ය නිවාසයේ කොලු ගැටවුන් ලෙස වැඩිහිටි සිසුන්ගේ සම්ප්‍රදායන් ඉගෙන ගත්තේ නොඉසිලිවන්තවය. මට පාසැලේදිටත් වඩා ඉගෙන ගැනීමට වැදගත් කාරණා ලෙස හොස්ටල් සිරිත්විරිත් එමට තිබුණි. උදේ නැගිටීම සීනුවටය. ඉන් පසු කිරිතේ ලබා ගැනීම, උදේ කෑමවේල, පාසැල් යාම, දවල් කෑම සීනුවට අනුවම පුරුදු විය. ඇඳුම, ඇඳ පවා නීතියට අනුවමය. දවල් කෑමෙන් පසු සවස 5 වනතෙක් ලැබෙන කාලයේ දී පිටුපස කැලෑ කඳු ගැටයේ මාදම් ආදී විවිධ පලතුරු ගිල දැමීමටත් එසේ නැත්නම් අතහැර තිබු පන්සල් වත්තේ පලවැල භුක්ති විඳීමටත් ගත කිරීම පුරුද්දක් විය. සවස 5 ට පිට්ටනියට යායුතු අතර 7 වනවිට පාඩම් වැඩ කිරීමත් රාත්‍රී ආහාරයට පසු රාත්‍රි දහයට නින්දට යෑමත් දෛනික රාජකාරිය වෙයි.
මැයි මාසයේ වෙසක් සතියට දින හතරක් නිවාඩු බැවින් බොහෝ ළමයි සිකුරාදා ගෙවල්වලට ගියත් 25 දෙනෙකු නිවාඩුවට හොස්ටල් (නේවාසිකාගාරයේ) සිටීමට ප්‍රියවූහ. සඳුදා වෙසක් බැවින් සිකුරාදා රාත්‍රී වන විටම පාසැලේ සැරසිලිවලින් වැඩි හරියක්ම ඉවර කළේ අප 25 දෙනාය. අල්ලපු වත්ත අයිති වන්නේ බමිබලපිටිය වජිරාරාමයටය. එහි නායක හිමියන් නාරද මාහිමිපානන් වු අතර බෞද්ධ පොත්පත් රාශියකම කතෘවහන්සේ කෙනෙකු ලෙස සුප්‍රසිද්ධය. අවුරැදු පහක කාලය තුළ හාමුදුරුවන් පන්සලට පැමිණියේ දින දෙකකි. නමුත් පන්සල් වත්ත සැරසීමද හොස්ටල් ළමුන්ගේ පුරුද්දක් විය. නායක හාමුදුරුවන් වැඩ වසන දිනවලදී හොස්ටල් ළමයින් පන්සලේ හමුදුරුවන් දෙන තෑගි බෝග පලතුරු ලබාගැනීමට දැක්වූයේ දැඩි කැමැත්තකි. එබැවින්දෝ හාමුදුරුවන්ට මහත් ගරුසර දැක්වීමට අපි පුරුදු වීමු. හාමුදුරුවන් පන්සලේ පළතුරු කඩාගෙන කෑමට අපට වාචිකව අවසරදී තිබුණි. ඉදී කුණුවී යන පලතුරු කොලු කුරුට්ටන්ට දීමෙන් නායක මාහිමිපානන්ට පිනක් අත්වනවාට කිසිදු සැකයක් නැත්තේ අප පුලන්නන් නිසාය. නායක හිමි හමුවීමට පෙර පන්සල අයිති අපට යැයි මම සිතා සිටියෙමි. වැඩිහිටි ළමුන් පොල්ගස්, තැඹිලි ගස්, පලතුරු ගස් බෙදා හදා ගෙන තිබුණි.
කොහෙමටත් ගස් නැගීමට පුරුදු නැති අපිට පොල් ගස් අයිති කර ගත්තත් වැඩක් නැත.වැඩිහිටි ළමුන් කාබී අප වැනි කුරුට්ටන්ට දෙන අමතර පොල් ගෙඩියක් අපට අමෘතය මෙන් විය. සාමාන්‍යයෙන් අවුරුද්දක් දෙකක් යනවිට හැම කුරුට්ටෙකුටම ස්වයං පොල්ගස් නැගීමෙ තාක්ෂණය ගුරුවරයෙක් නැතිවම ලැබෙන හැටිනම් පුදුමය. පොල් ගෙඩිය කුඩාම අවස්ථාව කුරුම්බැට්ටිය වන අතර එය ටිකක් ලොකුවනවිට ගොපලු ලෙස හැඳින්වෙයි. එහි වතුර ලුණු රසට හුරුය. ඊළඟ අවස්ථාව හඳුන්වන්නේ වෑවර යනුවෙනි. එය ඉතා ප්‍රණීත බීමක් හා කෑමක්ය. ඊළඟ අවස්ථාව කුරුම්බා යනුවෙන්ද පොල් ගෙඩියේ ආසන්න අවස්ථාව කලටි යනුවෙන් හඳුන්වන අතර එයටද ප්‍රිය කරන අය එමටය. උස ගස්වල අයිතිය වැඩිහිටි ළමුන්ට තිබුණත් කුඩා ගස්වල බඩගා ගෙඩි කඩා ගැනීමට අපට හැකි බැවින් කුරුට්ටන් සියල්ලම කුඩා ගස් දෙකක ‘ගොපලු’ වන විටම ගෙඩි කඩා ගෙන බොන බැවින් වැඩිහිටි ළමුන්ට ඒවා අපටම භාර දීම හැර වෙන විකල්පයක් නොතිබුණි.
මිණිකැට මෙන් පිරිසිදු වතුර උතුරායන ළිං දෙකක් පන්සල් වත්තේ තිබුණු බැවින් ඉරිදා මුළු උදය කාලයම පන්සල වෙසක් උත්සවය වෙනුවෙන් සැරසූ අපට නා ගැනීමට අවශ්‍ය විය. එදින වත්ත කෙලවර වෙල්යාය ආසන්නයේ ඩොංගා ගසක ගෙඩි පිරී ඉදී තිබුණි. මම කිසිදිනක ඩොංගා රස බලා නොතිබුණි. ඇඹුල් රස නිසා ලොකු ළමයින් එයට ඇල්මක් නොදැක්වු බැවින් අප කුරුට්ටන් තිදෙනෙකු එම ගසට නැග ඇඹුල් රස ඩොංගා කෑමට පටන් ගත් අතර අනික් අය තම තමන් රිසිසේ එක් එක් ගස්වල තම ඵල භුක්ති වින්දෝය. ගතවූයේ මොහොතකි. දේහධාරී යෝධයකු පන්සල් වත්තට පැන කොල්ලන් පිටු පස එළවයි. මා ගස මුදුනේ වෙවුලූ අතර අනික් දරදඬු කොල්ලො දෙන්නා ගසෙන් රූටා පලා ගියත් හුරුපුරුදු නැති මට කළ හැකිව තිබුණෙ අතුවලට අඩි තබමින් අත්තේ උඩටම ගොස් කොළ අතු අස්සේ රැඳී බලා සිටීම පමණි. එතැන් සිට බිම බැලු විට මට දෙකොන රත්විය. එය මට දරා ගත හැකි උසක් නොවන බව වැටහුනි. සුළං වේගයට පැද්දෙන විට දී අත්ත කඩා වැටී මැරෙන බවනම් ප්‍රත්‍යක්ෂ විය. යෝධයා කොල්ලො දෙදෙනෙකු අල්ලාගෙනය.
එක් අයෙකු උස සුනිල්ය. ඔවුන් අතේ කඩා ගත් කුරුම්බා ගෙඩි හතරකි. යෝධයා එන්නේ මා සිටින දිශාවටය. හයක් හතරක් නොතේරෙන මගේ බය ඩබල් විය. කළ යුතු කිසිවක් නැත. අනෙක් කොල්ලන් බයේ පැන ගොස් හමාරය. ඇස් දෙක පියාගෙන අත්ත තදින් බදා ගෙන සිටීම හැර වෙන යමක් තනිවූ මට ඉතිරිව නැත. කොපමණ කාලයක් ගස උඩ සිටියාදැයි මට මතක නැතත් බයටම නින්ද ගොස් අවදි වුයේ අත්ත පැද්දෙනන විටය.
නින්ද අතර තුර බිමට වැටුණා නම් අද මා මෙතන නැත. යෝධයාද පෙනෙන්ට නැති බැවින් බඩත් හූරාගෙන ගසෙන් බිමට බැස ගත්තේ යෝධයාට ඇති පරාණ බය නිසාය. පාරදිගේ නොව කැළය මැදින් හොස්ටල් එකට එනවිටත් යෝධයා හොස්ටල් මාස්ටර් සමගය. යෝධයා පන්සල්වත්ත පූජා කළ හාමු කෙනෙකි. ඇත්ත වශයෙන්ම පරිත්‍යාග ශීලී ගුණගරුක මහත්මයෙකි. දකුණු පළාතේ එවකට අයෝමය ශූරයා ඔහුය. අඩි හයකට වඩා උස පැහැපත් ඔහු තවමත් මට දැනෙන්නේ යෝධයකු ලෙසය.
දැන් අප සියල්ලම හොස්ටල් මාස්ටර් ඉදිරිපිට පෙළටය. විනය නීතිරීති සහ සිල්පද ගැන දේශනාව දිගය.
හෙට වෙසක් පොහොය දිනය වෙයි. කාටත් පන්සලේ සිල් ගැනීම අනිවාර්ය විය. හාමු සියලුම දාන මාන සංග්‍රහ දෙන බවට පොරොන්දු විය. ඉරිදා උදය හයවන විට සුදු කලිසම සහ සුදු කමීසය වන පාසැල් නිල ඇඳුමෙන් සැරසුණ අප පන්සලට යන විට හාමු සුදු උතුරු සළුව බැගින් සෑම දෙනාටම බෙදා දුනි.
අල්ලපු නගරයෙන් ස්වාමීන්වහන්සේ කෙනෙකු වැඩම කළේ නායක හාමුදුරුවන්ගේ අනුදැනුමෙනි.
සියලුදෙනාම අටසිල් සමාදන්වී උදය දානයට සූදානම් වූහ. හාමුගේ වියදමින් තවත් කාන්තාවන් රැසක් විසින් සුදානම් කර තිබූ කිරිබත් උම්බලකඩ සම්බලය සහ සීනි සම්බලය අපට පිරිනැමිණ. හාමු ඇතුළු වැඩිහිටි කාන්තාවන් ගරුසරුව ඇතිව අපට වඳින විට ඊයේ සිටි රෞද්‍ර යෝධයා වෙනුවට මා දුටුවේ අහිංසක තේජවන්ත සහ සිනහව පිරි උත්තමයෙකුගේ දසුනක්ය. ඊළඟට බණට වැඩි ඇල්මෝරාවේ නිමල ධම්ම සංඝපීතෘන් වහන්සේගේ ධර්ම දේශණාවේ මාතෘකාව අදින්නාදානය වෙයි. එය දෙවන සිල් පදයයි. එහි තේරුම සොරකම් කිරීමෙන් වැළකී සිටීම වෙයි. කිසිවකු නොදුන්දෙයක් පරිහරණය කිරීම මෙම සීලයට අයත් වෙයි. පාරේ වැටුණු දෙයක් වුවද තමාට අයිති නැති බව දැන දැන පරිහරණය කිරීම නිවරැදි නොවෙයි. එබැවින් අයිතිකරු සොයාගත නොහැකි නම් ඔහුට පිං අනුමෝදන් කිරීම කළ යුතුය.
හාමුදුරුවන්ට මිනිසුන් පිරිනමන දානයද නිකන් දෙන දෙයකි. එය අයිතිකරු ධාර්මිෂ්ඨව උපයා දනක් ලෙස පිළිගැන්වුවද දානය ලබා ගත් භික්ෂුව එම දානය වෙනුවෙන් පින් දීමක් කළ යුතුය. එය ණය ගණුදෙනුවක් ලෙස බුදුන් වහන්සේ පෙන්වා දී ඇත.
තිරෝගුඩ්ඩ සූත්‍රයේ සඳහන්වන අයුරින් බුදුන්වහන්සේට බිම්බිසාර රජු දානයක් පිළි ගැන්වීමෙන් පසු පින් දීමක් සිදු නොකළේ. එය බුදුන් වහන්සේ හිතාමතා කළ බැව් පැවසේ. බිම්බිසාර රජුගෙන් පිං බලාපොරොත්තුව සිටි මියගිය ප්‍රාණකාරයින් දානයෙන් පසු පිං අනුමොදන් වීමට නොහැකි වීම නිසා රජු විවිධ උපද්‍රවවලට ලක්වූයෙන් හැකි ඉක්මනින් බුදුන්වහන්සේට එය පැමිණිලි කරන ලදී. යමකු දානයක් පූජා කළ පසු භික්ෂුවකගේ යුතුකම පිං අනුමෝදනා කිරීම බව බුදුන් වහන්සේ වදාළසේක. එම පිං තමා ලබා ගත් සැනකින්ම තමාගෙන් පිං බලාපොරොත්තුවන අයට මෙන්ම සංසාරයේ තමන් සමග ඇති ගණුදෙනු වෙනුවෙන් පියවීය යුතු සියල්ලන්ටම පිං අනුමොදන් කර කුසල් රැස් කර ගත යුතුය. කාට හෝ අයිති දෙයක් කැමැත්තක් ඇතිව යමකු ලබා ගත්තද පිං පැමිණවීමක් සිදු කළ යුත්තේ එබැවිනි. ඒ අනුව අනුන්ට අයිතිදේ හොරෙන් පැහර ගැනීම හෝ සොරකම් කිරීම විශාල වරදක් යැයි හාමුදුරුවන් දේශනා කරන විට උස සුනිල්, හාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් විචාළේය.
“හාමුදුරුවනේ නායක හාමුදුරුවෝ කැමැතතෙන් අපට පන්සල්වත්තේ අපතේ යන පලතුරු කෑමට අවසර දී ඇති බැවින් එය හොරකමක් නොවන්නේදැයි,” විචාළේය. හාමුදුරුවන් කීවේ නායක හිමිගේ අවසරයක් ඇතිව ගත්දේ හොරකම නොවන බවත් එයට පිං නොදුන්නහොත් සසරේ ණය ගණුදෙනුවකට තමන් යටත් වන බවත්ය. සියලුම ළමෝ සාදු, සාදු, සාදු කියමින් නායක හාමුදුරුවන් ඇතුලු පන්සල් වත්තේ ගහකොළ සිටුවා රැක බලාගත් සැමට පිං අනුමොදන් කර ඊයේ කාපු පලතුරුවල පිං අනුමොදන් කර තම තමන්ගේ ණය ගණුදෙනුව වෙසක් පොහෝදින සමථයට පත් කර ගන්න ලදී.
දයා ප්‍රතාපසිංහ. ඕක්ලන්ඩ්