ජිනදාස කෝටිපති ව්‍යාපාරිකයකු වූයේ වාසනාවකට නොවේ. දොළොස් වියේදීම පාසැලෙන් කට්ටි පැන්න කොලුවා නැවතුනේ මැනිං මාකට් එකේය. එළවලු බක්කිවලට අත් උදව් දුන් ජිනදාසට තේකක් බනිස් ගෙඩියක් දීමට සමහර මුදලාලිලා කාරුණික විය. සිල්වාගේ එළවළු බක්කිය තමන් පංගුවට භාර ගත්ත දිනය ඔහුට තවමත් මතකය. දිනක වෙළඳාමෙන් අඩක් සිල්වාට දීමට සිදු වුණ ද එය ජිනදාසගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය බව දැනගන්නට තවත් දශකයක් ගත විය.
අද මැනිං මාර්කට් එක තුළ ජිනදාසගේ බල පරාක්‍රමය ප්‍රබලය. ඔහුට අයත් කඩ කාමර දොළහක් බදු දී ඇත්තේ හවස ලැබෙන පංගු කොටස වෙනුවෙනි. හතර වැනි හරස් වීදියේ තොග සීනි වෙළඳාම ඔහු අතට පත් වී වසර දහසයක් පමණය. තවමත් ඔහුට පනස් විය ඉක්ම වු බවක් නොපෙනෙයි. රත්නපුරය පැත්තේ නම්බුකාර පවුලකින් ලද විවාහයෙන් ලැබුණු එකම දැරියට තවම වයස දහ අටකි. තමන්ට ඉගෙනුමක් ලබා ගැනීමට නොහැකි වුව ද තමාට බැරි වූ එය තම දියණියගෙන් ඉටු කර ගැනීම ඔහුගේ එකම පැතුම විය. ඒ සඳහා ජිනදාස නොකළ දෙයක් නැත. ලංකාවේ ඉගෙනුමට ප්‍රසිද්ධම ගැහැනු පාසැලකට තම දියණිය ඇතුල් කළේ ඔහු උගත් දරුවකු පැතූ හෙයිනි.
තම තරුණ දියණිය පරිස්සම් කර ගැනීමට ද ජිනදාස නොකළ දෙයක් නැත. ඇයට කිසිම තරුණ පිරිමි ළමයෙකු ඇහ ගැටෙන්නටවත් ඉඩ නොදීමට අවශ්‍ය හැම පියවරක්ම ඔහු විසින් ගෙන තිබිණ. අඩුම ගණනේ ජංගම දුරකතනයක්වත් ඇයට පාවිච්චි කිරීමට ඉඩ තිබුණේ නැත. කිසිම උත්සවයකට මව නොමැතිව ඇය සහභාගි කළේ ද නැත. පාසැලට පවා දිනපතා ඇය රැගෙන යාමට වෙනම දමිළ රියදුරෙක් පත් කර තිබිණ.
ඇයට පිරිමි නළුවන්ගේ සඟරාවක්වත් ළඟ තබා ගැනීමට ජිනදාසගෙන් අවසර නැත. නමුත් ඇයගේ ඉගනුම වෙනුවෙන් හෝ සුව සැප වෙනුවෙන් ලක්ෂ ගණනින් නොමසුරුව වැය කළේ තම එකම ආදර වස්තුව ඇය නිසාය. ඇය ගෙදර අම්මා තාත්තාගේ එකම සුරතලිය වූවාය.
බිරිඳ දුරකතනයෙන් කතා කරන්නේ ජිනදාසටය.
‘ මහත්තයා! තවම දුව ගෙදර ආවේ නෑ… දැන්නම් හොඳටම පරක්කුයි.’
‘මොනවා කවදාවත් නැතිව… කරදරයක්වත් ද?’ ජිනදාස චකිතයෙනි.
‘ රාසමානික්කම්ට කතා කළා… ඒත් ඒකගේ මොබිටෙල් එක වැඩ කරන්නෑ… හැමදාම මම කියනවා ඒක ළඟ තියා ගන්න කියලා… කොහෙද ඒකා කාර් එකේ නිදි ඇති.’ ඇය දිගටම කියවයි.
‘ මම ඕකා අස් කරලා දානවා. වැඩිපුරත් ගෙවන්නෙ මගෙ මැණික බලා ගන්න ඕන නිසා…
වරෙන්කො අද ගෙදර.’ ජිනදාසට ඉවසුමක් නැත.
ජිනදාස මුදලාලි තම කාර්යාලයෙන් එළියට බැස්සේ පාසැලට යාමටය.
‘ හරි සර් නගින්න.’ රියදුරු අළුතින් ගෙනා ජගුවර් කාරයේ දොර හැරියේ ප්‍රවේසමෙනි.
‘යමං ඉක්මනට මැණිකෙගෙ ඉස්කෝලෙට.’
‘හරි හරි සර්’ රියදුරා කඩිමුඩියේ ගමන ඇරඹීය.
කොළඹ ප්‍රධාන බාලිකා පාසැල ඉදිරිපිට කාරය නවත් වන විටම ගේට්ටුවේ මුරකරු මුදලාලිට ගරු සරු කරමින් ඔහු වෙතට ළඟා විය.
‘ඇයි සර් කවදාවත් නැතිව අවේලාවෙ?’
මුදලාලි ළඟ එකල සිටිය ගෝලයකු වන මුරකරු ඇසුවේ යටහත් පහත්වය.
‘අපේ මැණික ඉස්කෝලේ ඇරිලා ගියේ නැද්ද?’
මුදලාලිගේ මුහුණේ ඇත්තේ අසරණ පෙනුමකි.
‘නෑ සර් දැන් පැය දෙකකට වැඩියි. මැණිකෙ මෙතනින් යනකොට මටත් හිනා වෙලා ගියේ.’
එවෙලේම මුදලාලිට රාසමානික්කම්ගෙන් දුරකතන ඇමතුමකි.
‘කොහෙද බා…න් උඹ…කරදරයක් ද?’ මුදලාලි වෙව්ලයි.
‘ නෑ තාත්තේ … මට සමාවෙන්න… මම රාසමානික්කම් හෙට ම්ම්… බ..බඳිනවා…මම මගේ තාත්තටයි අම්මටයි… ද්‍රෝහි වුණා තමයි… ඒත් මට මෙයා නැතුව බෑ.’
ඉකිගසන මැණිකේ අසීරුවෙන් වචන පෙළගස්සන විට මුදලාලිට සිහි නැති විය.
*** *** ***
By Daya Pratapsingha