දත්බෙහෙත් හිඟය නිසා නිවසේ පාන්දරම මහා යුද්ධයකි. පෙරදින මා සිග්නල් ටියුබ් එකක් ගෙන ආ බව දන්නා පුංචි නංගී හොරෙන්ම මගේ කාමරයට එබෙයි. මම දෑස් තද කරගෙන බොරු නින්දකට වැටෙමි. ඇඟිලි තුඩින් පැමිණෙන ඈ කඩිනමින් බුරුසුවට දත් බෙහෙත් ස්වල්පයක් තවරාගෙන අතුරුදන් වෙයි. තව මොහොතකින් ඇයගේ ඔත්තුව අනුව සෙසු පිරිස ඇඟිලි තුඩු නර්තනයෙන් සෙමින් කාමරයට එබෙති.
පසුදා වනවිට සිග්නල් ටියුබය කාමරයෙන් පිටත ජනතා අයිතියට පත්වන අතර එවිට මම ද ඔවුන් සමඟ දත් බෙහෙත් පෝලිමට එකතු වන්නෙමි. මෙසේ ආයුෂ චක්‍රය ගෙවුණු දත් බෙහෙත් ටියුබය, ලොරියකට අසු වූ ගෙඹිරිත්තෙකුගේ අවදියට ළඟා වන විට මුළු වැරම යොදා අවසාන පල්පය ද එළියට ගැනීමට පුංචි නංගීට මා උදවු කළ යුතුය.
‘හතේ කෝච්චියට තිබ්බනං හරි.’ බාල මල්ලී ඊට ඇනුම් පදයක්ද එකතු කරයි. අවසානයේ එහි පතුරුද ගලවා පශ්චාත් මරණ පරීක්ෂණ අවසන් වූ පසු හිස් බුරුසු මිටවල් ඔසවාගත් උදෑසන කරච්චලය යලිත් ඇරඹේ. එතෙකුදු සවස වැඩ ඇරී එනවිට පරිත්‍යාගශීලී සිතක් පහල වූ කිසිවකු මීළඟ දානපතියා බවට පත්වෙයි.
කිසිවෙකුට කිසිවක් උරුම නොවූ මේ ප්‍රහසනකාරී අඬදබර එකම තුවාය දෙපසට අදිමින්, එකම කණ්ණාඩියෙන් මුහුණ බලා ගැනීමට පොරකමින්, අවතැන් වූ ආම්පන්න සොයා ගෙදර පෙරලමින් කළ මහා සංග්‍රාම දැන් නිහඬ වූවා සේය.
මේ සියල්ල ක්‍රමයෙන් වෙනස් වූයේ කෙසේද?
රැකියාවේ උසස් වීමත් සමඟ මා අතිශය කාර්‍යබහුල වූ බව සැබෑවකි. ඉන් උදෑසන කුසීත චර්‍යාව හිටිවන උඩු යටිකුරු විය. රාජකාරී ඉලක්ක සපුරා ගැනීම දැන් කාලයට එරෙහි උග්‍ර සටනකි.
මාගේ ප්‍රථම ප්‍රගති සමාලෝචන රැස්වීම සඳහා අලුත් කමීසයක් සමඟ ගැළපෙන ටයි එකක් මම කල්තියා සූදානම් කරගෙන සිටියෙමි. එහෙත් එදින උදෑසන කමිසය එහි නොවීය. අප අතර ඉඳහිට ඇඳුම් හුවමාරුව සාමාන්‍ය සිදුවීමකි. එහෙත් අවසාන මොහොතේ මාගේ සැලසුම් බිඳ වැටීමෙන් මම කලබලයෙන් කෑගසුවෙමි. මා කිසිදින කෝපවනු දැක නැති පුංචි නංගී පුදුම වී බලා සිටියාය. අද උදෑසන නිම්සර මල්ලි එම කමිසයෙන් සැරසී ගිය බව ඇය මගේ කණේ තැබුවාය. මම එදිනම අල්මාරියට අලුත් ඉබි යතුරු දැමුවෙමි. කලට වේලාවට රාජකාරියේ යෙදීමට එයින් ලැබුණේ මහත් අස්වැසිල්ලකි.
ඒ අවුරුදු උදාවන සමයයි. එහෙත් අවුරුදු ළංවන තෙක්ම මට රාජකාරි ගොඩ ගැසී තිබිණ.අද දින පළමු පඩියෙන් පවුලේ අයට අවුරුදු තෑගී ගැනීමට අවසාන මොහොතේ මම නගරය පීරමින් සිටියෙමි.
‘කොහෙද බං දුවන්නේ.’ මාගේ කටකාර මිතුරා; යොහාන් ඔහුගේ සාප්පුවේ සිටම මට අඬගසයි.
‘අවුරුද්දටවත් වහන්නැද්ද මේවා?’ විහිළුවක් කරමින් මම මොහොතකට ඔහුගේ කඩයට ගොඩ වූයෙමි.
‘බලපන් කවුද ඇතුලේ ඉන්න ජෝඩුව කියලා.’
ඔහු හස්ත සංඥාවෙන් යමක් රහසින් පවසයි. මෙය කුඩා අවන්හලකි. එහි පසු පස භාගය වෙන්කොට ඇති විශාල වීදුරු බිත්තිය විනිවිද අඳුරේ සිටින නිම්සර මල්ලි සහ ඔහුගේ පෙම්වතිය දැකීමෙන් මම තිගැස්සුනෙමි. මෙහිදී නිම්සර මල්ලී සැරසී සිටි වැරහැලි පරණ කමිසය දෙස මට දෙවරක් බැලුණි.
‘කවදද මේක පටන් ගත්තේ?’
‘පටන් ගත්ත නෙවෙයි, අද ඔක්කොම ඉවර වෙන්ඩ යන්නේ.’ විදුලි වේගයෙන් යොහාන් විසින් මෙතෙක් කතාව කියවාගෙන යයි.
‘මෙතනට තමයි දෙන්න හැමදාම එන්නේ. කෙල්ල දැන් සම්බන්දෙට බෑ කියනවා.’ එකම ගෙදරක සිටියද අප ජීවත්ව ඇත්තේ වෙනත් ග්‍රහලෝකවල ජීවීන් ලෙසය.
‘බලපංකො ඒ කෙල්ල දිහා. ෆුල් හයි ෆයි. මූ නිකං සරණාගතයෙක් වගේ. කෙල්ලො හැමදාම මේවා ඉවසයිද බං?’
ප්‍රහේලිකා ජාලයකින් මම ගල් ගැසුණෙමි.
‘අවුරුද්දෙන් පස්සේ වරෙන් මම විස්තරේ කියන්නම්.’
ප්‍රශ්නාර්ථ, වරහන්, ප්‍රිය විප්‍රයෝග සහිත ඒ කෙටි දර්ශනයේ සියළු වැරදි මම මා වෙත පටවා ගතිමි. තවමත් රැකියාවක් සොයමින් සිටින නිම්සර මල්ලිගේ අග හිඟකම් ගැන නොසැලකීමෙන් ඔහුට ආදරයක් අහිමිවීම පිළිබඳ මම මාවම දඬුකදේ ගසා ගතිමි.
සවස නිවසට පැමිණි වහාම මම අල්මාරියේ ඉබි යතුරු ගලවා විසිකර දැමුවෙමි. එදින රැයේ සියලු දෙනාට අවුරුදු තෑගි බෙදමින් මා නිම්සර මල්ලිගේ කාමරයට ගියේ අවසානයටය.
‘මම අපේ මැනේජර්ට කතා කළා. අවුරුද්දෙන් පස්සේ ඔයාට ජොබ් ට්‍රේනිං එකට එන්ඩ කිව්වා…’
එහෙත් එයින් ඔහුගේ මළානික මුහුණ වෙනස් නොවෙයි. අහිංසා විසින් මට අවුරුද්දට දුන් වටිනා කමීසය මම මේ අවස්ථාවේ ඔහුට පරිත්‍යාග කළෙමි. වියදමට මුදල් ද ඇති තරම් සාක්කුවට දැමුවෙමි. එහෙත් මේ සියල්ල දැන් ඔහුට පලක් වේද?අළුත් අවුරුද්දට අහිංසා හමුවීමට උත්කර්ශයෙන් යාමට හිත හදාගත නොහැකිව, මම සායම් පිළිස්සී පොඩිවුණු පරණ කමිසයකින් සැරසුණෙමි. මල්ලීගේ විරහ වේදනා වෙනුවෙන් මෙය මා විසින්ම මට පවරාගත් දුක්ප්‍රාප්තියක් වැනිය.
අහිංසා හමුවීමට ප්‍රථම මම යාලුවාගෙ අවන්හලට ගොඩ වූයෙමි.
‘ඔන්න ජෝඩුව මේ දැන් එළියට ගියා.’
මගේ හද ගැස්ම යොහාන්ට ඇහෙන තරම්ය.
‘කුරුළු ජෝඩුවක් වගේ, බොරු රණ්ඩු.’ යොහාන් සුරංගනා කතාවක් කියාගෙන යයි. අත්තටු දහසක් මැවී මම අහසට එසවෙමි. ‘අදනං නිම්සර කුමාරයෙක් වගේ; මාර ලස්සන කමීසයක්.’
මා ඈතට යන තෙක් යොහාන් කෑ ගසනු ඇසේ.
අහිංසා මා එනතුරු සුපුරුදු කොෆී ෂෝප් එකේ බොහෝ වේලාවක් බලා හිඳින්නට ඇත. ‘මේ මොකද ?’ මා දුටු වහාම ඇය විශ්මයට පත්වූවාය. මගේ ඇඳුම ගැන මට සිහිවූයේ ද එවිටය.
‘ඔව් මං දන්නවා. පිට කවරෙ බලන අය,’මගේ හඬ හැඟීම්බර වෙයි. ‘කමක් නෑ; මට මේ දඬුවම උරුමයි.’ මම වහා පිටව යාමට නැගිට සිටියෙමි.
‘මොකක්ද උරුම ?’ ඇය කලබලයෙන් නැගිට මග හරස් කළාය.
‘ඇත්තටම ඇඳුම ලස්සනයි; සත්තකයි.’ ඈ නැවත මා පුටුවේ හිඳුවයි.
‘මොකක්ද වුණේ කියන්ඩ?’
මම නිහඬව සිටිමි.
‘මොකක්ද දඬුවම?’
මම නිහඬව සිටිමි.
‘එහෙනං ඒ දඬුවම මට ලැබුණාවේ.’නොකළ වරදක් බාර ගැනීමට ඇය සැරසෙයි.
‘හැමදාම ඔහොම එන්ඩ මාව බලන්ඩ.’ මා සන්සුන් කිරීමට ඇය වචන සොයයි.’ලස්සන දේවල් පරිපූර්ණ නැහැ.’දිග හුස්මක් හෙලමින් ඇය අතකින් කඳුළු සඟවයි.
‘මින් පස්සේ මගේ චිත්‍රවලට මං ඔය පාට අරගන්නම්.’ මෙසේ කියමින් ඇය අවුරුදු සුබ පැතීමට මා දෑතින් අල්ලා ගනියි. අපි මොහොතක් එසේම සිටියෙමු.
‘කෝ මම තෑගි දුන්නු කමීසය?’ නිකට මා උරිසේ වදින තරමට නැවීගෙන, කෙඳිරිලි හඬින් ඈ විමසයි.
‘තවත් ආදරයක් වෙනුවෙන් පරිත්‍යාග කළා.’
ඒ. එම්. එල්. අත්තනායක – ඕක්ලන්ඩ්







