මෙම වසරේ පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට ලාංකික උරුමයක් ඇති ක්‍රීඩකයන් දෙදෙනෙකුට අවස්ථාවක් ලැබී තිබේ.
මෙම අවස්ථාව හිමි වී ඇත්තේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය (New South Wales Metro) නියෝජනය කරන නිතේෂ් සැමුවෙල් සහ එම ප්‍රාන්තයම නියොජනය කරන නාදන් කුරේ යන ක්‍රීඩකයන් දෙදෙනාටයි.
නිතේෂ් – විශිෂ්ඨ ඉදිරි පෙළ ක්‍රීඩකයෙක්

2006 සැප්තැම්බර් මාසයේ, Westmead, New South Wales උපත ලද නිතේෂ් ලංකාවේ දක්ෂ පළමු පෙළ බැඩමින්ටන් ක්‍රීඩකයකු වන ලාල් සැමුවෙල් මහතාගේ පුතණුවන් වන අතර මෙම වසරේ සිඩ්නි නුවර පාසල් අධ්‍යාපනය නිම කිරීමට බලාපොරොත්තු වෙයි. අධ්‍යාපනයට මෙන්ම ක්‍රීඩාවටත් එකසේ දස්කම් පාන නිතේෂ් මෙම වසරේ වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් වීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වෙයි. දක්ෂ ඉදිරි පෙළ පිතිකරුවකු වන නිතේෂ්ගේ ක්‍රීඩා කුසලතාවයන් ඔහුට මෙම අවස්ථාව ලබා දීමට සමත් විය.
පර්ත් නගරයේ පැවැති දින 8ක තරඟාවලියේදී නිතේෂ් සැමුවෙල් ලකුණු 364ක් රැස් කරමින් සාමාන්‍ය ලකුණු 91ක් ලබාගැනීම, “Player of the Tournament” සම්මානයත්, නිල කණ්ඩායමට නම් වීමත් සමඟ නිතේෂ් දැන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් අනාගතයේ වැදගත් කොටසක් බවට පත්වීමට පෙර සලකුණු පෙන්වීමට සමත් වී තිබේ.
නාදන් කුරේ – දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති නාදන් කුරේ දක්ෂ තුන් ඉරියව් (All rounder) ක්‍රීඩකයෙකි. දකුණතින් පන්දුවට පහරදෙන (right handed batsman) සහ පාදඟ පන්දු (Leg-break bowler) යවන නාදන් 2024 දී පාසල් අධ්‍යාපනය නිමා කරන ලද අතර ජාතික කණ්ඩායමට සුදුසුකම් ලැබීමට පෙර NSW Metro කණ්ඩායම නියොජනය කරමින් දක්ෂතා පෙන්වීමට සමත් විය.
නාදන් කුරේ ද තරඟාවලියේ නිල කණ්ඩායමට ඇතුළත් වීමෙන් ඔහුගේ වටිනාකම තහවුරු කළේය. ශ්‍රී ලාංකීය ක්‍රිකට් සංස්කෘතියෙන් උරුම වූ තාක්ෂණික ශක්තිය (Technical Competency) සහ සටන්කාමීත්වය (Competitiveness) ඔහුගේ ක්‍රීඩාවේදී පැහැදිලිව දක්නට ලැබේ.
මෙම තරඟාවලියේ නායකත්වය ඔලිවර් පීක්ට (Oliver Peake)
මෙවර තරඟාවලියේ නායකත්වය වික්ටෝරියා ප්‍රාන්තය නියොජනය කරන ඔලිවර් පීක්හට (Oliver Peake) ලැබී තිබේ. 2024 දී දකුණු අප්‍රිකාවේ ලෝක කුසලානය දිනාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ කුඩාම සාමාජිකයා ලෙස ක්‍රීඩා කළ ඔහු මෙවර නායකත්වය දරයි. ශෙෆීල්ඩ් ශීල්ඩ් ( Sheffield Shield) තරඟාවලිය හරහා වයස් සීමා ඉක්මවා ක්‍රීඩා කරන පීක් මේ ලෝක කුසලානයේදීත් ඕස්ට්‍රේලියානු නායකත්වය දෙයි.
අප්‍රිකා මහාද්වීපයේ ලෝක කුසලාන අභියෝගය
2026 ජනවාරි 15 සිට පෙබරවාරි 6 දක්වා නාමීබියාව සහ සිම්බාබ්වේ සත්කාරකත්වය දරණ මෙම තරඟාවලියේ දී ඕස්ට්‍රේලියාව, අයර්ලන්තය, ජපානය සහ ශ්‍රී ලංකාව තරඟ කිරීමට සූදානම් වෙයි.
ශ්‍රී ලංකා U19 කණ්ඩායමට එරෙහිව නිතේෂ් සහ නාදන් ක්‍රීඩා කරන දසුන විරල තරඟ අත්දැකීමක් ලබා දෙන්නට සමත් විය හැකිය.
නූතන ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්ත කණ්ඩායමක් වන ඕස්ට්‍රේලියානු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට (Australia Under 19 National Team) ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ක්‍රීඩකයන් දෙදෙනෙකු සුදුසුකම් ලැබීම විරල මෙන්ම ලංකාවෙන් එපිට රටවල ජීවත් වන සියලු ශ්‍රී ලාංකිකයන්ට ඉමහත් අභිමානයක් ලබා දෙයි. අපි ඔවුන්ට දක්ෂ ලෙස ක්‍රීඩා කරන්නට ලැබේවායි සුබ පැතුම් එක් කරමු.
බුද්ධි මාතරආරච්චි – ඕක්ලන්ඩ්







