‘අනේ මගේ චූටි දුව දැන් ලොකුයි නෙව.’ සුදු සීයා ඇය දුටු වහාම තම දැතින් ඔසවා ගෙන තුරුලු කර ගත්තේය.
‘මම සුදු සීයා බලන්නමයි ආවේ.’ ඇය රහසින් සීයාගේ බෙල්ල වටා බදාගෙනම කණට කොඳුරා කීවාය.
ඇයට එම සීයාගේ උණුසුම තවමත් හොඳට මතකය. පුංචි කාලේ මුළු දවසම සෙල්ලම් කළේ ඔහු සමගය. දහවල් කාලයේ බොහෝවිට සුදු සීයාගේ ඔඩොක්කුවේ නිදා ගත් හැටි වරින්වර නයනාට මතක් වූවාය. ලංකාවෙන් පිටවන දිනයේ සීයා තනිකර දමා යන්නට ඇය කැමති නොවුවාය. කෑ ගසා හඬමින් පොළවේ පෙරලුන ද කඳුළු සලමින්ම ගුවන් තොටුපොළට ඇතුල් වීමට සිදු වූ හැටි ඇයට යාන්තමට තවමත් මතකය.
අවුරුදු හයකට පසු මව් රටට පැමිණෙන සිරිල් එදින මැදියම් රෑ එකොළහ පසුවන විට කටුනායක ගුවන් තොටුපළට පැමිණියේය. නවසීලන්තයේ ස්ථිර පදිංචිය සඳහා ඔහු ලංකාවෙන් පිටත්වන විට තම දියණිය නයනාට වයස අවුරුදු දෙක හමාරකි. එබැවින් ඇය තම මවත් පියාත් සමග සමග වටපිටාව බැලීමට මහත් ආශාවෙන් ගුවන් තොටුපල පර්යන්තයෙන් එළියට පැමිණියාය. තමන්ගේ පරණ මතකයේ දැනට ඇත්තේ තම සුදු සීයා පමණි.
හොඳටම තෙහෙට්ටු වූ සැවොම උදේ හතර වන විට මාතර මහ ගෙදරට ළඟා වූහ. ගුවන් ගමනත් නිදි මැරීමත් නිසා සියල්ලෝම හවස් වන තෙක් තද නින්දකට වැටුණෝය. හවස් වන විට ඔවුන් නින්දෙන් ඇහැරුනේ ගෙදර ජීවත් වූ දරුවන් දුව පනින හඬ නිසාය. සිරිල් තම එකම මල්ලී පදිංචි නිවසේ නැවතීමට ආශා කළේය. වරෙක එම කුඩා දරුවෝ නයනා සිටින කාමරයට එබිකම් කළෝය. මොහොතින් මොහොත ඔවුන් විපරම් කළේ ද බොහෝ කාලයකින් රට සිට පැමිණි තම නෑදෑයින් බැලීමටය.
අවසානයේ පවුල්වල සියල්ලන්ටම දහවල් කෑම ගැනීමට සිදුවූයේ සවස තුනට පමණය. ජයටම සුදානම්කර තිබු කෑම මේසයට සැවොම එක් වූවෝය. කුකුල් මස්, බිත්තර හා රසැති විවිධ ව්‍යංජනවලට අමතරව මඤ්ඤොක්කා සමග සකස් කර තිබූ පොල් සම්බෝලය රසවත් එකක් විය. සිරිල් හා තම බිරිඳ කලකින් කෑමට ලැබුණු මඤ්ඤොක්කා සහ පොල්සම්බෝලයට ලොල් වූහ. එබැවින් කුකුළු මස් හෝ බත් දෙස බලන්නටවත් දෙදෙනාටම ඉඩක් ලැබුණේ නැත. කුඩා නයනා ද පපඩම්වලට කෑදර වූ අතර මිරිස් රසැති කුකුළු මස් කෑමට ඇය ප්‍රිය නොවුවාය. නමුත් ඇය තැම්බූ බිත්තර දෙකක්ම ආහාරයට ගෙන බඩ පුරවා ගත්තාය.
‘කෝ ඉතිං හදපුවා කෑවේ නැහැනෙව. ඔහේලා මඤ්ඤොක්කාම කාලා බඩ පුරවා ගත්තාම කොහොමෙයි?’ තාත්තා බත් හැන්දක් බෙදන්නට සූදානමින් දොස් නැගුවේය.
‘අනේ තාත්තේ බඩ පිරිලා. තවත් බත් ඇටයකටවත් බඩේ ඉඩක් නෑ.’ සිරිල් හා බිරිඳ දෙදෙනාම එකවර කීවේ තාත්තාට ස්තුති කරමින්ය.
‘අනේ මන්ද? මට නම් හිතට හරි නෑ. මේ ළමයින්ට හරි හමං රහකට කන්න දෙන්න බැරි වෙච්ච එකට.’ තාත්තාගේ මුහුණ අඳුරු වුවද ඔහු ස්වොත්සාහයෙන් දෙතොලින් සිනහවක් පෙන්නුවේය.
‘නෑ තාත්තේ හරිම රස සම්බෝලෙ. ගමේ මඤ්ඤොක්කා ටිකත් පංකාදුයි. රජ බොජුන් පරාදයි. ලංකාවෙදී තමයි මෙහෙම කෑමක් ඉතිං අපිට කන්න හම්බ වෙන්නෙ. මස් මාළු නං ඒ රටවලදිත් ඕන තරං කනව නෙව.’ සිරිල් අන්තිම මඤ්ඤොක්කා කෑල්ලත් තලු මරමින්ම කීවේය.
‘හ්ම් ඒකත් ඇත්ත. අපිට වගේ නෙවෙයි උඹලට මස් වර්ග, මාළු ජාති කාලා එපා වෙලත් ඇති. ඒ රටවල ගමේ අල, බතල කොයින්ද? අනෙක උඹල හින්දම මේවා ගෙදර කොරටුවෙන් අද ගලවපුවා. ම් ම් චූටි දුවට පපඩම් තව දෙන්නද?’ කියමින් සීයා මිණිබිරිය තුරුලු කර ගත්තේය.
එදින රාත්‍රී නාදුගල පුංචි අම්මා ද රාත්‍රි ආහාරය සුදානම් කරන බව දුරකථන පණිවිඩයෙන් සිරිල් දැන ගත්තේය. හවස් වී දවල් ආහාරය ගත් බැවින් රාත්‍රී ආහාරවේලක් ඔවුන්ට ගත නොහැකිය. නමුත් පුංචි අම්මාගේ ආරාධනාව ප්‍රතික්ෂේප කිරීම ද ඔවුන්ට කළ නොහැකිය. එදින රාත්‍රී ආහාරය ඉතා ජයට සූදානම් කර තිබුණ ද කිසිවෙකුටත් කෑමට බඩගින්නක් තිබුණේ නැත. නමුත් අමාරුවෙන් වුවද සිරිල් රසට උයා තිබු පොළොස් කෑලි කීපයක් සමග රසට හදා තිබූ උම්බලකඩ ගොටුකොළ සම්බලයත් බත් හැන්දක් සමග ආහාර ගත්තේ මහත් වැයමකිණි. බත් කටකට වඩා කෑමට බිරිඳට ද බඩගින්න නොතිබුණි. නයනා ද සුපුරුදු පරිදි පපඩම් හා බත් කටකින් සෑහීමකට පත් වූවාය.
‘අනේ අම්මෝ මේ ළමයි කන්නෙම නැහැ නෙව. හරිම පුදුමයි. කෑම මේසෙ එහෙමම ඉතුරුයි. බත් කටක්වත් හරියකට කෑවෙ නෑ. කෑම රස නැතුවද මන්දා?’ පුංචිඅම්මා කණගාටුවෙන් කියවන්නට වූවාය.
‘මොනව කියනවද පුංචිඅම්මේ? එහෙම ඔක්කොම කන්නෙ කොහොමෙයි? මම නං හොඳට කෑවා. ගොටුකොළ සම්බෝලෙ නම් පංකාදුයි. මේ වගේ පොළොස් ව්‍යාංජනයක් අවුරුදු ගණනාවකින් කෑවේ අපි. අපිට මෙව්වා දිවබොජුන් වගේ.’ සිරිල් හා බිරිඳ පුංචි අම්මාට පැහැදිලි කළෝය.
‘අනේ ඉතිං පිටරටවල කොයින්ද ගමේ කෑම? මේ චුටි දුවට වුණත් ගමේ කෑම ආපසු රට යන්න ඉස්සෙල්ලා පුරුදු කෙරුවනං තමයි හරි.’ පුංචිඅම්මා චුටි දුවගේ හිස පිරිමදිමින් පිළිතුරු දුන්නාය.
ඊට පසු දින දුරකථන මගින් සිරිල් හා බිරිඳගේ ඥාතීන් දිගින් දිගටම ලංකාවෙන් ඔවුන් නැවත පිටවී යාමට පෙර තම ගෙදරට කෑම වේලකට පැමිනෙන ලෙස ආරාධනා කළෝය.
පියාගෙන් මෙන්ම පුංචිඅම්මාගෙන් බොහෝ ඥාතීන් විමසුවේ ‘සිරිල් පුතාලා දුවලා මොනවද කන්න කැමැති?’ යන්නය.
‘අනේ ඒ ළමයි බත්වලට නං ආස නෑ. ඔය ගමේ කෑමවලට තමයි වැඩියෙන් කැමති. පුතායි දුවයි හරි කැමතියි මඤ්ඤොක්කා, සම්බෝල ජාතිවලට හෙම. නයනා කෙල්ලට නං බිත්තරයක් ඕනමයි. අනේ චුටි කෙල්ල ආශාවෙ බෑ. අපේ ගෙදර දී පපඩම් ගෙඩි පහක්ම කෑවා.’ නයනාගේ සීයා මෙන්ම පුංචිඅම්මා ද අහන කාටත් දුන් පිළිතුරු එක සමානය.
‘එතකොට මස්, මාළු කන්නෙ නැතෙයි?’ ඥාතීන්ගේ ඊළඟ ප්‍රශ්නයට ද ඔවුන් පිළිතුරු දුන්නේද එකක්මය.
‘නවසීලන්තයේ මස් තියෙන රටක් නෙව. ඒ අයට මස් එපා වෙලා. කටේ තිව්වෙ නෑ. අපිට ලොකු වුණාට බටර්, හැම්, බේකන් ලාභෙට ඕන තරං ඒ රටවල තියෙනවලු. මෙහෙ තියෙන මස් මොන රහක්ද?’ ඥාතීන්ට ලැබුණු පිළිතුරුවලින් එම ඥාතීයෝ තම ගෙවල්වල ද කෑම මේසය එම උපදෙස් අනුවම සකස් කිරීමට කතිකා කර ගත්තෝය.
අවසානයේ මෙම පවුලේ අයට ලංකාවේ සිටින ළඟ ඥතීන්ගේ ගෙවල්වලට දිගින් දිගටම භෝජන සංග්‍රහවලට යාමට සිදු විය. නමුත් කෑම මේස මඤ්ඤොක්කා, අල, බතල ගම් එළවළු හා පපඩම්වලින් පිරී තිබුණි. සතිදෙක අවසාන වන දින රාත්‍රියේ චූටි නයනා දුව තම පියාගේ කණට කර ප්‍රශ්නයක් ඇසුවාය.
‘ඇයි තාත්තලාගේ නෑයො දුප්පත්?’
‘ඇයි දුව එහෙම අහන්නේ. ඒ නෑයො දුප්පත් නෑ.’ සිරිල් දුවට උත්තර දුන්නේය.
‘එහෙනං මොකද හැම ගෙදරකින්ම අපිට අල, බතල, කොස්, දෙල්, කොළ ජාති දුන්නේ? ඇයි මස්, මාළු ලංකාවේ නැද්ද?’ නයනා අහන ප්‍රශ්නයට උත්තර සිරිල් ළඟ තිබුණේ නැත.
පළමු දින රාත්‍රී කෑම මේසයේ තමන් තාත්තට කළ කතාව නිසා වෙච්ච සංහිදිය ගැන සිරිල් මෙනෙහි කළේය. තමන් අන්තිම මඤ්ඤොක්කා කෑල්ලක් තලු මරමින් කෑම මේසයේ දී තාත්තා සැනසීමට කිව්ව කතාව ගිය දුර ගැන තම දෙතොලට සිනාවක් මතු වූයේය.
‘නෑ තාත්තේ, හරිම රසයි සම්බෝලෙ. ගමේ මඤ්ඤොක්කා ටිකත් පංකාදුයි. රජ බොජුන් පරාදයි. ලංකාවෙදී තමයි මෙහෙම කෑමක් ඉතිං අපිට කන්න හම්බ වෙන්නේ. මස්, මාළු නං ඒ රටවලදිත් ඕන තරං කනවා නෙව. ‘
දයා ප්‍රතාපසිංහ – ඕක්ලන්ඩ්