‘රතු පිඟාන මගෙ.’ නංගී මට කලින් පැන රතු පිඟාන අතට ගත්තාය. ‘ඔයාගෙ නිල්.’
‘නෑ. මම අයියා.’ මම ඇයගෙන් රතු පිඟාන උදුරා ගන්නට සැදුවෙමි.
‘අම්මේ.’ නංගී කෑ ගැසුවාය. ‘අම්-මේ, මේ- අ-යි-යා…’
‘මොකද ළමයිනේ,’ අම්මා ඉස්තෝප්පුවේ සිට අතුගාමින්ම ඇසුවාය. පොල් ඉරටු ඉලපොත ගොම පොළවේ ‘සරාස්-සරාස්’ ගෑවේය.
‘අයියා මගෙ පිඟාන ගන්න හදනවා.’
අම්මා නැවත අතු ගානවා ඇසුණේය. ‘සට-පටස්- ඩග්-’ ඇය ගල්ලැහැ පැදුර වියන විට ඉදගන්නා කොලොම්පුව සාලයේ මේසය යටට තල්ලු කළාය.
‘මම අයියා. ලොකු අඹ කෑල්ල මට.’ නැවත සටන පටන් ගත් මම කිව්වෙමි. ‘මිදුලෙත් ලොකු පැත්ත අතුගාන්නෙ මම.’
‘ඒ වුණාට ඔයා පොල්ලත්ත හිටින්න අතුගාන්න දන්නෑ.’
‘පොල්ලත්තී.’ නංගීට ඇණුම් පදයක් කී මම රතු පිඟාන උදුරා ගන්නට නැවත පැන්නෙමි.
‘අම්–ම් මේ.’ ඇය නැවත කෑ ගැසුවාය.
‘රතු පිඟානයි ඒකෙ තියන ලොකු අඹ කෑල්ලයි මගෙ. මම අයියා.’ මම කෑ ගැසුවෙමි.
‘රංඩු නොවී කන එක කාපල්ලා ළමයිනේ.’ අම්මා ඉලපතේ මුල් පැත්ත අනෙත් අත්ලේ තට්ටු කරමින් ආවාය. ‘මම දැන් දෙනවා දෙන්නටම. අංගරේ බේරනවා මිසක් මට වෙන වැඩක් නෑ. දීපන් ඔය කෑල්ල අයියට.’
‘රතු පිඟාන මගෙ.’
’දෙන්න කිව්වා නේද ඕක අයියට.’ අම්මා එළිපත්තේ නතර වුණාය. ‘ආයෙ පිඟානක අයි-තී-වා-සි-ක-මක්..’ අම්මා කුස්සිය පැත්තට ඇදුනා ය.
‘ම්ම්හ්.’ නංගී ගස්සා ගියාය. ‘අම්මටත් ලොකු එයා.’
මම ඒ අවසරයෙන් රතු පිඟානේ වූ අඹ කෑල්ල ඩැහැගත්තෙමි. ‘ඈ ඈ ඈ.’ මම නංගීට ඇද කළෙමි. ‘ඇද්ද. ඇද්ද.’
‘ඒ වුණාට රතු පිඟාන මගෙ නෙව.’
‘පිඟානක අයි-ති-වාසි-කමක්.’
‘ඈ… කවුද අද දණ ගහගෙන හිටියෙ. පංතියෙ.’ ඈ කුස්සිය දෙස හොරෙන් බලමින් රහසක් එළියට ඇද්දාය.
‘මම දණ ගැහුවෙ නෑ.’
‘නැත්තෙ. මැණිකෙ මිස්ගෙ පංතිය ඉවරවෙන කම්ම.’
‘නෑ. චූට්ටයි.’ මම වටපිට බැලුවෙමි.’ ඉවරවෙන කම්ම නෙවි.’
‘අම්මේ.’ නංගී රහස නිරාවරණය කරන්නට හැදුවාය. ‘මේ… අ…යි…යා. අ..ද…’
‘හා. එතකොට ඊයෙ බංඩාර සර්ගෙන් ගුටි කෑවෙ.’
‘මං ගුටි කෑවෙ නෑ.’
‘නැත්තෙ. අම්මෙ ඊයේ… නංගි… චක්..ක…රේ බෑ..’
‘බොරු කියනවා.’
‘බොරු නෙවෙයි.’ මම වට පිට බලා ඇය අත වූ රතු පිඟාන උදුරා ගත්තෙමි. ‘මේක අප්පච්චි මට ගෙනාවෙ.’ මම හේතු කීවෙමි. ‘ඔයාට නිල් පිඟාන.’
‘අම්මේ.….’නංගී කෑ ගසා පිඟාන ආ-පිට උදුරා ගන්නට පොර බැදුවාය. මුල්ලක වූ කනප්පුව පෙරලී ගියේය. ‘ට්රාං-ං-ං-ං’ ඒ උඩ වූ පිත්තල ඉලත්තට්ටුව බිම වැටී රෝල් වී ගියේය.
‘දෙයි හාමුදුරුවනේ.’ අම්මා කෑ ගැසුවාය. ‘ඒ ගමන. හිටපල්ල මම.’ ඇය ඉලපතෙන් ඉරට දෙකක් ඇදගෙන අප සිටින දෙසට ආවාය. ‘අංගරේ. අංගරේ…’
නංගී අම්මාගේ අත යටින් පැන ඉස්සරහ මිදුලට දිව්වාය. කමිසපට පිටුපස්සෙන් මතුකර අම්මා මගේ පිට හරහට තද ඉරටු පාරවල් දෙක, තුනක් දුන්නාය.‘ලොකු එකා වුණාම ලොකු පංගුව විතරක් හොයන ගමන් දැනගන්න ඕනැ මරාගන්නෙ නැතුව ඉන්න. හිටපං මම…’ ඇය තම චීත්තපට කොනකින් ඇද ඉනට යටකර ගත්තාය. ලැබුණ අවසරයෙන් මිදුලට පැනගත් මම නංගී සිටින දිසාවට දිව්වෙමි.
‘ගෙදර ඉන්න බැරි නං පලයල්ල කැලෑ පලජ්ජෙට. ආදෙංකො අප්පච්චි. කියඤ්ඤං පුතංඩිගෙයි දෝණියන්දැගෙයි හැටි.’
නංගී රට අඹ ගහ යට බලා සිටියාය. ‘අයියෙ අර…’ ඇය අඹ අත්තක් පෙන්නුවාය. ‘ගෙඩියක් ලේන්නු කාල. බාගයක්ම.’
මම ද හෝදිසි කළෙමි. ඇත්තය. ඉතිරි පළුව නැට්ටෙන් එල්ලෙමින් තිබුණේය. ’අර රතු ලේනා.’
‘කඩමු-’
‘ගහේ යන්න?’
‘එපා.’ නංගී වට පිට බැලුවාය. ‘අප්පච්චි එයි. ‘
‘හරි.’ මම ගල් කැට දෙක තුනක් අහුලා එල්ල කරන්නට පටන්ගත්තෙමි. නංගීද ගල් කැට අහුලා ගෙනත් දුන්නාය. මගේ පහරවල් අපතේ ගියේය.
‘අයියේ.’ නංගී යෝජනාවක් ගෙනාවාය. ‘එහෙම නෙවෙයි. අපි ඔය කෑල්ල තියමු ලේනට.’
‘ඔව්. ඌ නෙව ඉස්සෙල්ලම හොයාගත්තෙ.’ මම ද එකඟ වුණෙමි.
පා මහපටැ’ඟිල්ලෙන් වැලි පොළවේ රවුම් ටිකක් ඇඳගත් අපි හඳ පැන්නෙමු. වරෙක මම දිනුවෙමි. වරෙක නංගි දිනුවාය.ඊළඟට අපි ඔට්ටු තිව්වෙමු. හැම ඉසව්වෙන්ම නංගි පැරදුණාය. ‘නෑ අයියා මං පටන් ගන්න ඉස්සෙල්ල දිව්වා. එහෙම බෑ.’ ඈ මොකක් හෝ කොන්දේසියක් දැම්මාය.
‘ලොකූ…’ ඒ අම්මාය. ‘නංගිත් එක්ක වරෙන් කැලේ ලැග්ග ඇති. ගොම්මනුත් වුණා. දෙන්නම මූණාතපය හෝදගෙන, වෙලා ඇතිව බත් කන්නෝනැ. අප්පච්චිත් එනවෑති.’
‘හ් හාං.’
අපි මූණ අතපය සෝදා කෑම කන්නට වාඩි වුණෙමු. අම්මා වාඩි වී සිටි මගේ කමිස පට ඔසවා ඉරට පාරවල වැයිරි මත්තේ එළගි තෙල් ගාන්නට වූවාය. දෑස් දල්වා බැලූ මා දුටුවේ ඇගේ ඇහි පිය මුල බර වුණ කඳුළු බිංදුවකි. මම අම්මාට ඉඩදෙන ගමන් බත් පිඟාන් දෙක දෙස බැලුවෙමි. එවරද නංගීට ලැබී තිබුණේ රතු පිඟානය.
‘අයියෙ.’ අම්මා ඈත් මෑත්වනවා බලා සිටි නංගී කතා කළාය.
‘මොකක්ද?’
‘ආං.’ ඈ අතට ගත් ගොටු කොළ සම්බෝල පිඬක් මගේ මුවෙහි තැබුවාය.
‘ම් ම් ම්.’
‘රතු පිඟාන?’
‘එපා.’
‘අම්මගෙ ගොටුකොළ සම්බෝලවල රහ. නේද අය්යෙ.’ ඈ උත්තරයක් බලාපොරොත්තුව මා දෙස බලා සිටියාය.
‘ඔව්-ව්-ව්. ෂ්…ෂ්…ෂ්…ෂහ්!’
වරක් දෙකක් මා වටා වෙළුණ කිටී මගේ කකුලකට බර වී ලැගගෙන ‘ගුරු-ගුරු’ ගාන්නට වූවාය.
කේ. ඒ. බී. කරුණාරත්න – හැමිල්ටන්







